Sunday, June 11, 2017

තිසරත් ආබාධයකට ලක්වෙලා

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කාඩිෆ්හි පුහුණුවීම් අතර තිසරගේ හිසට පන්දුව වැදී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ඉන් විශාල තුවාලයක් හිසට සිදුවි නැති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඊයේ පුහුණුවීම් අතර මෙම සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාව ශූයන්ගේ කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයකට පාකිස්ථානය සමග හෙට පැවැත්වෙනවා. මෙම තරගයට තිසරට ක්‍රීඩා කල හැකි වෙතැයි ක්‍රිකට් ආයතනය විශ්වාස කරනවා. තිසර පන්දුව හිසේ වැදුනු ස්ථානයේ වේදනාවක් ඇති බව මෙතෙක් ප්‍රකාශ කර නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම  තිසරගේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය අතර තුර ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා / චාමර කපගෙදර සහ නායක ඇන්ජලෝ මැතිව්ස් නොසිතූ මෙහොතවල් වල ආබාධයන්ට ලක්වූණා. ක්‍රිකට් කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීමටත් ක්‍රිකට් ආයතනයට ඉන් සිදුවූණා. තරගාවලිය අතරතුර ක්‍රීඩකයින් ආබාධයන්ට වැඩිපුරම ලක්වූ කණ්ඩායම ලෙසයි ශ්‍රී ලංකා කණ්ඩායම සැලකෙන්නේ. පන්දුව හිසේ වැදුනු තිසරට තරගාවලිය අහිමිව යන්නේ නැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. කෙසේ වෙතත් අද පුහුණුවීම් සදහා ඔහුගේ සහභාගීත්වය බලාපෙරොත්තු නොවන බවත් ක්‍රිකට් ආයතනය පවසනවා.  

No comments:

Post a Comment