හොර කරලා ඉන්දියාව ලංකාවෙන් පදක්කමක් ඩැහැගනී
22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ මීටර් 200 කාන්තා ඉසව්ව නියෝජනය කළ රුමේෂිකා රත්නායක තත්පර 23.43කින් තම ඉසව්ව නිමකරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූණා. රුමේෂිකාගේ මෙම ජයග්‍රහණය 2007 වසරෙන් පසුව ශ්‍රී ලංකාව කෙටිදුර ධාවන ඉසව්වක් වෙනුවෙන් ලැබූ පළමු පදක්කම ලෙස වාර්තා වන අතර මීටර් 800 කාන්තා ඉසව්වෙන් තරග වැදුණු ගයන්තිකා අබේරත්න හා හිමාලි ලියනාරච්චි පිළිවෙළින් ලෝකඩ පදක්කම හා රිදී පදක්කම දිනාගත්තා.
මෙවර තරගාවලියේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ තුන් පිම්ම කාන්තා ඉසව්වට සහභාගි වූ විදුෂා ලක්ෂානි තම හොඳම දුර ප්‍රමාණය වාර්තා කොට මීටර් 13.50ක් සටහන් කරමින් ලෝකඩ පදක්කම සඳහා සුදුසුකම් ලැබුවද ඉන්දියානු නිලධාරීන්ගේ වැරැදි තීන්දු නිසා එම පදක්කම ඇයට අහිමි වුණා.
එම කාන්තා තුන්පිම්ම තරගයේදී විදුෂාගේ 4 වැනි හා අවසන් උත්සාහය ලෙස මීටර් 13.50 වාර්තා කළද එම පිම්ම නීති විරෝධී පිම්මක් බවට ඉන්දියානු තාක්ෂණික නිලධාරියා තීරණය කිරීම විදුෂාගේ ජයග්‍රහණයට බාධාවක් වුණා. විදුෂාගේ එම පිම්ම නීතිවිරෝධී නම් ඒ සඳහා දිවගොස් පාදය තබන ස්ථානයෙන් ඉපිලෙන මොහොතේ රතු කොඩිය ඔසවා සංඥා කළ යුතු වුවද එම පිම්ම සම්පූර්ණ කළ පසුව ඉන්දීය තීරකයා විසින් රතු කොඩිය එසවීම කාගෙත් මවිතයට හේතු වුණා. තවද එම පිම්ම කොතෙක්දැයි මැන බැලීමටවත් ඔවුන් කටයුතු නොකළ අතර පෙනුණ ආකාරයට එම දුර මීටර් 13.50ක් හෝ ඊට වැඩියි.
කෙසේ වෙතත් මේ පිළිබඳව විදුෂා අදාළ නිලධාරීන්ගෙන් විමසූ විට දිව ගොස් නැවත ඉපිලෙන ස්ථානයේදී සීමාව ඉක්මවා පාදය තබා ඇති ආකාරය ඇයට පෙන්වා තිබෙනවා. නමුත් එම සලකුණු විදුෂාගේ නොවන බවත් තමන් පාදය තැබුවේ ලෑල්ලෙහි අනෙක් කෙළවරේ බවත් තර්ක කළද ඊළඟ තරගකරුවාගේ තුන් පිම්මට ඉඩ දෙමින් විදුෂාගේ විරෝධතාව නොසලකා හැර ඇතැයි සදහන්. ඉන් පසුව තම විරෝධතාව විදුෂා විසින් ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියාට ඉදිරිපත් කරනු ලැබුවා. ඔහුගේ තීරණය දීමට පැය භාගයක පමණ කාලයක් ගතවූ අතර ඉන් පසුව විදුෂාට තවත් පිම්මකට අවස්ථාවක් දුන්නද ඒ වන විට ඇයගේ ශරීරය තරගකාරී රිද්මයෙන් බැහැරව තිබීම නිසා ඇයට වාර්තා කළ හැකි වූයේ මීටර් 13.33ක් පමණයි. එහිදී තවත් සිදුවීමක් වූයේ විදුෂා ඉහළම දුර (මීටර් 13.50) වාර්තා කිරීමෙන් පසුව එය නීතිවිරෝධී යැයි සංඥා කිරීමත් සමඟම පාද පතිත කළ අවසන් ස්ථානයද අතුගා මකා දැමීමයි. කෙසේ වෙතත් මීටර් 13.42ක දුරක් වාර්තා කළ ඉන්දියානු ක්‍රීඩිකාවට ලෝකඩ පදක්කම හිමිවූණා.
No comments