• Breaking News

    ක්‍රීඩා නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග

    නිමාවට පත් 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල හා සමාප්ති උළෙලවල් හි සිදුකළ වර්ජන පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ කරුණු පැහැදිලි කිරීම මේ අයුරිනි. සමාරම්භක උළෙල පැවැති පසුගිය සැප්තැම්බර් 22 වනදා දකුණු පළාත් කණ්ඩායමේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආචාර පෙලපාලිය සඳහා සහභාගීවී නොතිබිණි. මේ පිළිබඳ කළ විමසීම්වලදී දන්වා ඇත්තේ හිටපු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පා එම ක්‍රියාමාර්ගය ගත් බවයි. 
    ඊයේ නිමාවට පත්වූ සමාප්ති උළෙලේදී පළාත් ක්‍රීඩා නිලධාරීන් ආචාර පෙළපාලියට සහභාගී නොවි කොටවිල ක්‍රීඩාංගනයේ පසෙකට වී සිටිනු දැකගත හැකිවිය. එම විරෝධයට මුල් වූ හේතුව වන්නේ මෙරට සිටින කෙටිදුර ධාවන ක්‍රීඩිකාවක් වන දකුණු ආසියානු සහ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභි රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාවට මීටර 100 අවසන් තරගය සඳහා අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබීමයි. 
    රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාව මෙරට අනාගත ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන අතර 2020 වසරේ ජපානයේ ටෝකියෝ අගනගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් මේවන විට ඇය ජපානයේ වසිඩා විශ්වවිද්‍යාලයේ පුහුණුවීම් සිදුකරයි. මෙවර ජාතික මහා ක්‍රීඩා  උළෙල සඳහා සහභාගීවීමට සැප්තැම්බර් 22ට පෙර ඇය ලංකාවට ගෙන්වාගැනීමට නියමිතව තිබුණ ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අතපසුවීමක් මත එය සිදුවී නොතිබිණි. මේනිසා ජාතික මහා ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඇයට මවුබිමට පැමිණිමට හැකිවූයේ සැප්තැම්බර් 23 වන දිනයි. මෙසේ පැමිණීමෙන් පසු රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාව සහ සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා විසින් ඇයට තරග කිරීමට අවස්ථාවක් දෙන මෙන් කළ ඉල්ලීමත් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව එය විශේෂ කමිටුවක් වෙත ඉදිරිපත් කෙරිණි. එම කමිටුව සැකසී තිබුණේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරී පාලිත ජයතිලක, ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ උප සභාපති සහ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරී ලාල් චන්ද්‍ර කුමාර සහ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ තාක්ෂණික අධ්‍යක්ෂක ඒ. අයි. නුගගොඩ යන මහත්වරුන්ගෙනි. එම කමිටුවේ අනුමැතිය පරිදි රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාවට ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර 100 අවසන් තරගය සඳහා ධාවන මං තීරු 9 යටතේ ඉදිරිපත්වීමට අවසරය හිමි වූ අතර එම තරග ඉසවුවේ රන් පදක්කම  දිනාගැනීමට ඇයට හැකිවිය. මෙම තිරණය පිළිබද දැඩි විරෝධයක සිටී ඌව සහ මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් විසින් සමාප්ති උළෙල අවස්ථාවේදී මෙම වර්ජනය සංවිධානය කර තිබිණි.  ජාතික මට්ටමේ ඇති සුවිශේෂිත්වය නොසලකා තම පළාතේ රන් පදක්කම ගැන පමණක් සිතමින් මෙකී ක්‍රීඩා නිලධාරීන් සිදුකළ විරෝධය ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට පැමිණි මධ්‍යවේදීන්ගේ මෙන්ම සෙසු ජනතාවගේ ද පිළිකුළට භාජනය විය. 
    එමෙන්ම එම අවසන් ආචාර පෙළාපාලියට සහ ජයසංකේත ප්‍රධානයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යම් පිරිසක් ද සහභාගීවී නොතිබූ අතර එයට මුල්වී ඇත්තේ ඔවුන් හා එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර ඇති මතභේදයකි.
    මෙම ගැටළු නිරාකරණය කිරීමට ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දායාසිරි ජයසේකර මැතිතුමන් විසින් ක්‍රීඩා උළෙලට පෙර දිනයේ ද සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එදින සන්ධ්‍යාවේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සමාප්ති උළෙල වර්ජනය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටයුතු යොදා තිබිණි. ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබියදීත් මේවැනි හැසිරීම්  මුළුමනින්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් ලෙස සැලකිය හැකි අතර මේ පිළිබඳව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණයක් පවත්වන ලෙසට ගරු ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ. 
    එමෙන්ම මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් පිරිසක් තුළ ඇති මතභේද සියල්ල විසදා සාධාරණ විසඳුම් ලබාදීමටත් ක්‍රීඩාවේ වැඩි දියුණුව පිණිස ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ ඉදිරියේදී දැඩි තීරණ කිපයක් ගැනීමටත් ගරු ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් කටයුතු කරනු ඇත.

    No comments