• Breaking News

    මෙහෙම ගියොත් ලෝක කුසලානය දිනනවා බොරු - ඇමති අර්ජුන

    ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය ඉදිරියටත් අඛණ්ඩව පැවතුණහොත් 2019 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දිනා ගැනීම ඉතා අසීරු කරුණක් වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (01) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීයි. “ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ එන ඉන්දීය තරගාවලිය ජයග්‍රහණය කරාවි යැයි සිතන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අයි. සී. සීය තමන්ගේ ප්‍රවෘත්ති වාර්තාවකදී කිව්වා ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවේ තමන්ගේ දක්ෂතාව නිසා නෙමෙයි වාසනාව මත කියලා. එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයටවත් සුදුසුකම් ලබා ගන්න පුළුවන් වේවිද යැයි මාධ්‍යවේදියකු මෙහිදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එංගලන්තයේදී ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම්ම පහසු නොවනු ඇති බවයි.
     “මට ක්‍රීඩකයෝ ගැන නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය තියෙනවා. නමුත් ක්‍රීඩකයින් නියම පරිදි පරිපාලනය කරන්න බැරි කණ්ඩාමයක් අද ක්‍රිකට් පරිපාලනයේ ඉන්නේ. මම මීට පෙර ක්‍රිකට් ගැන කියූ අනාවැකි වැරදිලා නෑ. මම අද කියන්නේ, මේ යන විදියට ගියොත් ලෝක කුසලානයේදී අපි කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ. අමතක කරන්න එපා මෙවර ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ එංගලන්තයේ. එතරම් ලේසි තැනක් නෙමෙයි අපිට ක්‍රීඩා කරන්න. අපි 1999 වෙලේ එහි ගිය වෙලේ සෑහෙන්න හොඳ කණ්ඩායමක් හිටියත් අපිට දෙවැනි වටයටවත් එන්න බැරි වුණා. එතැනදි ගහන කාල සීමාව, හුඟාක් වෙලාවට ඔවුන් තරගාවලි පවත්වන්නේ එංගලන්තයට හොඳම වන කාලේ. මේ වන විට අපිට තියෙන හොඳම වාසිය, ධනාත්මක බව, හොඳ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් අපිට ඉන්නවා, පහුගිය කාලේ හදපු. ඉතිං ඒ අයටවත් එංගලන්තයේදී ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන කියා දිය හැකි දැනුමක් තියෙන අය අද ක්‍රිකට් පරිපාලනයේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඒ වගේම ක්‍රීඩකයින්ගේ විනය. එය හදන්නවත් මේ අයට බැහැ. ඒවා ක්‍රිකට් පරිපාලනයට තේරෙන්නෙත් නැහැ. අශ්ව රේස් දුවන කෙනාට තේරනවා එංගලන්තේ දුවන විදිය. ලංකාවේ දුවන එක. නමුත් ඔහුට තේරෙන්නේ නැහැ එංගලන්තෙයි ලංකාවෙයි ක්‍රිකට් ගහන එක ගැන. එතන තමයි වෙනස තියෙන්නේ.
     අද දැක්මක් නැතිව අන්ධයෝ වගේ දුවන දිවිල්ලක් දුවන්නේ. අත ගගා දුවනවා. අද පුහුණු කයුතුවල යෙදී සිටියත් පරිපාලනයේ ටෙස්ට් ක්‍රිකට් ගහපු එක්කෙනෙක්වත් නැහැ. මුදලාලි කෙනෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ගියාම සහ ක්‍රීඩකයෙක් ක්‍රිකට් පරිපාලනයට ගියාම එහි පැහැදිලි වෙනසක් තියෙනවා. ඔය මුදලාලිලා කළේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිහිල්ලා තමන්ගේ නම හදා ගත්ත එක විතරයි. ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලය පවා මේ ගැන අවධානයෙන් ඉන්නේ. මොකද අද හැම දෙනාම දන්නා අපේ රටේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්නේ සූදු ව්‍යාපාරිකයින් කියලා. නමුත් ඒක නැහැයි කියන්නේ අපේ ක්‍රීඩා ඇමැතිවරයා විතරයි. අනිත් හැමෝම ඒබව දන්නවා. අපි දැක්කා කළුතර පානදුර තරගයේදී තරග පාවදීමේ සිද්ධියේදී ඊට විරුද්ධව වෙලා තරගයට හිටියේ නැති ක්‍රීඩකයාට වසර දෙකක තහනමක් පැනවූවා. නමුත් තරග පාවා දෙන්න කියලා කියපු නිලධාරින් අදත් ක්‍රිකට් පරිපාලනයේ ඉන්නවා. 
     දැන් බලන්න පිටරටින් ගෙන්නපු පුහුණුකරුවා ඩුබායි යනවා එහි තිබුණු තරග දෙකට. නමුත් පකිස්ථාන තරගයට ඔහු යන්නේ නැහැ. බැහැයි කියනවා. නමුත් අපේ ක්‍රීඩකයෝ ?? පකිස්ථාන තරගය යන්නේ නැහැයි කිව්වාම ඩුබායි තරගයෙනුත් අයින් කළා. එතොකොට පුහුණුකරුවන්ට එක විදියක්. ක්‍රීඩකයින්ට එක විදියක්. ඇත්තටම අපේ ආණ්ඩුව සහ ක්‍රීඩා ඇමැතිවරයා ඉතිහාස ගතවෙනවා, මොකද මේවගේ විනාශයක් වෙනකම් ඇස් දෙක පියා ගෙන ඉඳීම ගැන. රටේ ක්‍රිකට් පහතට වැටුණු බව මම විතරක් නෙමෙයි ලෝකේ හැමෝම කියන දෙයක්. මම ඇත්තටම කණගාටු වෙනවා රජයක් ලෙස මේවට තීරණ ගන්න බැරි වීම ගැන.
     අපි සන්තෝෂ වෙන්න ඕන අපි අඩුම ගානේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළා. ඒක තමයි මම කියන්නේ අපිට ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩකයින්ගේ මනස හදලා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වටිනාකම කියා දුන්නොත් අපිට තරග ජයග්‍රහණය කිරීම අපහසු වෙන්නේ නැහැ. නමුත් අද ඉන්නේ ජනප්‍රිය තීරණ ගන්න ක්‍රිකට් පාලක මණ්ඩලයක්. ඔවුන් පසුගිය අවුරුදු දෙකේ ක්‍රිකට් විනාශ කළා. සභාපතිතුමා පමණක් නෙමෙයි සියලුම නිලධාරී මණ්ඩලය ඊට වගකිව යුතුයි. නිලධාරී මණ්ඩලය පමණක් නෙමෙයි පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ඔවුන්ට ඡන්ද දුන්න ක්‍රීඩා සංගම් නියෝජිතයනුත් එයට වගකිව යුතු  යුතුයි. ඔවුන් සියලු දෙනාම ක්‍රිකට්  විනාශ කිරීමේ පව්කාරයෝ. ඒ බව මම ක්‍රීඩා ඇමැතිතුමාටයි අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි දැනුවත් කරලා තියෙනවා. නමුත් තවමත් සතුටුදායක පිළිතුරක් නැහැ. මම කියන්නේ මේ ආණ්ඩුව තමයි ක්‍රිකට් විනාශය වන තෙක් බලන් ඉන්න ආණ්ඩුව. ඒකෙන් ආණ්ඩුවට ගහන එකක් නෙමයි මම කරන්නේ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ආගමක් වගේ දෙයක්. ඒක විනාශ වෙනවනම් අපේ කාලේ, විශේෂයෙන්ම මම වගේ කෙනෙක් ඇමැති වෙලා ඉන්න කාලේ, මිනිස්සු අපිටයි ඇඟිල්ල දිග් කරන්නේ.....” අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.



    No comments