• Breaking News

    කැලේ මාරුවුනත් කොටියාගේ පුල්ලි එහෙම්මයි


     
    නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු සංචාරක ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කරනු ලැබුවා. එහිදී එංගලන්ත කණ්ඩායම සමග මීට මාසයකට පෙර පැවති ටෙස්ට් තරගාවලියට නම්කළ ක්‍රීඩකයින් 04 දෙනෙකුට සිය ස්ථානය අහිමිව ගොස් තිබුණා. ඉන් එක් ක්‍රීඩකයෙක් වන්නේ ක්‍රිකට් පිටියෙන් සමුගත් රංගන හේරත්. අනෙක් ක්‍රීඩකයින් වන්නේ කෞෂාල් සිල්වා / මාලින්ද පුෂ්පකුමාර හා අකිල ධනංජයයි. මෙලෙස ස්ථාන අහිමි වූ ක්‍රීඩකයින් වෙනුවට ක්‍රීඩකයින් 05 දෙනෙකු සංචිතයට කැදවා තිබෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක / ලහිරු තිරිමාන්න / සදීර සමරවික්‍රම / නුවන් ප්‍රදීප් හා දුෂ්මන්ත චමීරයි.
    එංගලන්ත තරගාවලියට ක්‍රීඩා කළ ස්ථානය රැකගත් ක්‍රීඩකයින් 12 දෙනෙකු සිටිනවා. මේ අතර එංගලන්ත තරගාවලියට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න මෙවර තරගාවලියේ උප නායකයා ලෙස නම් කර තිබෙනවා. ඒ එම තරගාවලියේදී නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීමෙන් පසු කණ්ඩායමට නායකත්වය ලබාදුන් සුරංග ලක්මාල් සංචිතයේ සිටියදී වීම කැපී පෙනෙනවා. කුසල් මෙන්ඩිස් / ඇන්ජලෝ මැතිව්ස් / ධනංජය ද සිල්වා / රොෂේන් සිල්වා / දිල්රුවන් පෙරේරා / කසුන් රජිත / ලහිරු කුමාර / ලක්ෂාන් සදකැන් හා නිරෝෂන් දික්වැල්ල සංචිතයේ ස්ථාන රැකගත් සෙසු ක්‍රීඩකයින් වනවා.
    ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ සෑම තරගාවලියකදීම ක්‍රීඩකයින් 05 දෙනෙකුට වැඩි පිරිසක් ඉවත්කරන බවයි. ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථාවරවීමට අවස්ථාව ලබානොදීම ගැටුළුවක් බව හිටපු ක්‍රීඩකයින් ඇතුලු බොහෝ දෙනෙකුගේ මතයයි. නව තේරීම් කමිටුව එය නිමාවූ තරගාවලියේ ක්‍රීඩකයින් පිරිසකට ස්ථාන අහිමිකර නව ක්‍රීඩකයින් 05 දෙනෙකු කැදවීමට පියවර ගෙන තිබෙනවා. එංගලන්ත තරගාවලිය පැවැත්වුනේ දග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු ඇති ශ්‍රී ලංකාවේදීයි. එහෙත් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වේග පන්දු යවන්නන්ට යෝග්‍ය නවසීලන්තයේයි. කණ්ඩායමේ සිදුවූ වෙනස්කම් එය මත සිදුවූ බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී හෝ ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථාවරවීමට අවස්ථාව හිමිවේදැයි පේක්ෂකයින් සමඟ Lanka Sports News විමසිල්ලෙන්.

    No comments