• Breaking News

    වැඩක් නැති ක්‍රිකට් පුහුණුකරුවන්ට මාසිකව ලක්ෂ 150 ක්


    ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ආබාධයන්ට ලක්වුණා. ඒ පන්දුව හිසේ වැදීමෙන්. මෙම පිතිකරුවන් දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නමගිය පිතිකරුවන් දෙදෙනෙකු වීම කැපී පෙනෙනවා. තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී පළමුව ආබාදයට ලක්වුනේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නයි. බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් පසු ඔහු පිටියෙන් ඉවත්වුණා. රෝහල් ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්වය බරපතල නොවන බවයි. අනතුරුව පසුදින යලි පිටියට පිවිස ක්‍රීඩා කිරමින් අර් ධ ශතකය වාර්තා කිරීමට ඔහු සමත්වුණා. 
    එම සිදුවීමෙන් පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හොදින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණා. ඔහු ලකුණු 29 ක් ලබා සිටියදී පන්දුව හිසේ වැදුණා. දිමුත් මෙන්ම බවුන්සර් පන්දුවක් හිසේ වැදුනද කුසල්ට ඉන් හානියක් වූයේ නැහැ. එම පන්දුවාරයේදීම දෙවන බවුන්සර් පන්දුවත් හිසේ වැදීමෙන් අනතුරුව කුසල් පිටියෙන් ඉවත්ව ගියා. වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම හේතුවෙන් පළමු ඉනිමේ යලි පිටයට පිවිසීමට ඔහුට හැකිවූයේ නැහැ. එහෙත් කිසිදු හානියක් සිදුව නැති බව වෛද්‍යවරුන් තහවුරු කිරීමෙන් පසු කුසල් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියා. තමන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම එහිදී කුසල් දැවී ගියා.
    පසුගිය තරග කිහිපයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් දිගින් දිගටම අසාර් ථක වුණා. මෙම තරගයේදී මෙරට පිතිකරුවන් මූලික පිතිකරණ පුහුණුව නොමැති බව ලොවටම ප්‍රදර් ශනය කළා. ඒ බවුන්සර් පන්දුවට මුහුණදීමට නොහැකි කණ්ඩායමක් බවට පත්වෙමින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස ජොන් ලුවිස් මහතාගේ සේවය පසුගියදා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලබා ගත්තා. ඒ හොදම පිතිකරු පුහුණුකරුගේ සේවය ලබාගැනීමට කටයුතු කළ බව පෙන්වමින්. ඔහුගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසි ප්‍රධාන හා පළමු ටෙස්ට් තරගයේදී ඉනිමකින් හා ලකුණු 40 කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හැරගියේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සමගින් සිදුවූ බහින් බස් වීමකින් පසුව බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන අනතුරුව පිතිකරු පුහුණුකරු බවට පත්වුණා.අනතුරුව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 366 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.
    රුපියල් ලක්ෂ 75 ක මාසික වැටුපක් ලබන ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ යටතේ පුහුණුකරුවන් රැසක් සිටිනවා. ඔවුන්ට මාසිකව රුපියල් ලක්ෂ 150 කට අධික මුදලක් ගෙවනු ලබනවා. එවැනි තත්වයක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දක්වන දක්ෂතා පිලිබද සෑහීමකට පත්විය හැකිද ? මෙම තත්වය වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වහ වහා කටයුතු කළ යුතු නොවේද ? අමාත්‍යදූරය භාර ගත් දින සිටම ක්‍රිකට් ඇමති බවට පත්වූ ඔහු මේ වන විට සිටින්නේ ඕස්ට්‍රේලියාවට ගොස් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන්ට මුහුණදෙන ආකාරය නරඹමින්. කණ්ඩායම සමගින් සංචාර යාම ක්‍රීඩා අමාත්‍යදූරයේ වගකීමදැයි ප්‍රේක්ෂකයින් අසන බව අප අමුතුවෙන් කිව යුතු නැහැ. ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තිලංග සුමතිපාල මහතා කටයුතු කළ සමයේ සිදුකළේ මෙවැනි වැඩකට නැති පුහුණුකරුවන් රොතු පිටින් ක්‍රිකට් ආයතනයට බදවාගෙන වැටුප් ගෙවීම පමණක් යයැ ඇතමුන් පවසනවා. ක්‍රිකට් පරාජයන් රැල්ල නිර්මාණය කළ පද්ගලයා ලෙස හිටපු සභාපතිවරයාගේ නම ඉතිහාසයේ ලියවී තිබෙනවා.

    No comments