• Breaking News

    දැල් පන්දු දැලේ හිලක්


    ජාත්‍යන්තර යැයි කියා ගන්නා ජයග්‍රහණ ඉහළින් සමරන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කිරීම මහා ඉහළ දෙයකි. ජාත්‍යන්තර ලේබලය ඇලවූ පමණින් ඇත්තෙන්ම එය එවැන්නක්දැයි සොයාබැලීම සිදුනොවේ. එලෙස පසුගිය වසරේ මැයි 26 වැනිදා සිට 29 වනදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති ශ්‍රී ලංකා ආරාධිත ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලිය පිලිබදවත් ඇත්තේ සැකයකි. මෙම තරගාවලියට සිංගප්පූරු ජාතික නෙට්බෝල් සංචිත නමින් කණ්ඩායමක් හා එංගලන්ත ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් නෙට්බෝල් කණ්ඩායමක් එක්ව සිටියා. ජාතික සංචිත කණ්ඩායම හා සංවර් ධන සංචිත කණ්ඩායම ලෙස තරගාවලිය සංවිධාය කළ ශ්‍රී ලංකාව කණ්ඩායම් දෙකක් එක්කර තිබුනේ ආසියානු නෙට්බෝල් තරගාවලිය සදහා ක්‍රීඩිකාවන්ට පෙරහුරුවක් ලබා ගැනීමට බව පවසමිනුයි. මෙම තරගාවලියට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 08 ක් වැයකර තිබුණා.
    එහෙත් ඇත්තෙන්ම මෙම තරගාවලිය ජාත්‍යන්තර තරගාවලියක්ද යන්න සොයා බැලිය යුතු බව තරග නැරඹු සියල්ලන්ම පැවසුවේ ආරාධිත කණ්ඩායම් දැක්වූ දුර් වල ක්‍රීඩා විලාසයත් සමගයි. ශ්‍රී ලංකා ජාතික සංචිත කණ්ඩායම හා සිංගප්පූරු ජාතික සංචිත කණ්ඩායම අතර පැවති මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු 65 ක් ලබා ගනිද්දී සංගප්පූරුවට ලබාගත හැකිවුනේ ලකුණු 45 ක් පමණයි. සිංගප්පූරුව යනු ආසියාවේ සිටින ප්‍රබලම හා අංක එකේ නෙට්බෝල් කණ්ඩායමයි. ශ්‍රී ලංකාව අවස්ථා දෙකක ආසියා නෙට්බෝල් ශූරතාව දිනා තිබුණද අවසන් වරට ජයගෙන ඇත්තේ 2004 වසරේදීයි. මේ අනුව බැලූ විට ආසියානු ශූරයින් පසු බසිද්දී ශ්‍රී ලංකාව දක්ෂතා වර් ධනය කර ගෙන තිබෙයි.
    කෙසේ වෙතත් නෙට්බෝල් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 07 දෙනෙකු ඇතුලත් වුවද මෙම සිංගප්පූරු කණ්ඩායමට එරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් 03 දෙනෙකු පමණයි ඇතුලත්ව සිටියේ. තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ශූරතාවත් අනුශූරතාව සිංගප්පූරුවත් දිනා ගත්තා.
    වඩා කැපී පෙනෙන දුර් වල ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණු තරගාවලියට එක්වූ එංගලන්ත කණ්ඩායම මෙරට දෙවන පෙළ කණ්ඩායම වූ සංවර් ධන සංචිත කණ්ඩායම හමුවේ පරාජය වූයේ ලකුණු 71 ට 22 ක් ලෙසයි. මෙවැනි පරතරයක් සහිතව අන්ත පරාජයක් ලැබූ මෙම කන්ඩායම තරගාවලියේ හතරවන මෙන්ම අවසන් තැන හිමිකර ගත්තා. මෙම එංගලන්ත කණ්ඩායම එරට වීදියක ක්‍රියාත්මක කණ්ඩායමක් බවයි තතුදත් උදවිය චෝදනා කරන්නේ. 2004 වසරේදී මෙරටින් පුහුණුවකට ගොස් එංගලන්තයේ ගල් වූ මෙරට පුහුණුකාරියක් ( රදිකලා ආනන්ද වඩිවේල්) මෙම ක්‍රීඩා සමාජය බිහිකර ඇතැයි ඔවුන් පවසයි. අනුරාධපුරයේ හෝ පොලොන්නරුවේ හිටන් කෙනෙකු පුහුණුව ලබා දෙන කණ්ඩායමක් පැමිණියේ නම් මෙම කණ්ඩායමට වඩා හොදින් ක්‍රීඩා කරනු ඇති බවට සැක නැති බවත් ඔවුන් පෙන්වා දෙයි. ජාතික සංගමයේ ඇතැම් නිලධාරීන් සිය තනතුර රැක ගැනීමට හා බඩ වඩා ගැනීමට සංවිධානය කළ තරගාවලියක් ලෙසයි මෙය හැදින්වෙන්නේ.
    ජාතික නෙට්බෝල් සංගමය නිලවරණය මෙම වසරේ පැවැත්විය යුතු වුවත් පත්වී වසරක් ගතවන විට ගිණුම් ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය. එය පසුගිය වසරේ මැයි 31 ට පෙර සිදුකළ යුතු වුණා. එහෙත් ඊට දින 40 කට පෙර විගණනය කළ ගිණුම් ක්‍රීඩා සමාජ සදහා ලබාදීමයි පිලිවෙත. මෙතෙක් එවැන්නක් සිදුනොවීම හරහා ජාතික නෙට්බෝල් සංගමයට එල්ලවන ප්‍රධානම චෝදනාවක් වී ඇත්තේ මූල්‍යමය අක්‍රමිකතායි. සංගමය සතු රුපියල් 353,636.54 ක මුදලක් අස්තාන ගත වී ඇති අතර ඊට වගකිව යුතු ලෙස පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජනවාරි 13 වැනිදා හෘදයාබාධයකින් හදිසියේ මිය ගිය හිටපු භාණ්ඩාගාරික විශ්මිනී කරුණාරත්න මහත්මියයි. කෙසේ වෙතත් මෙම මුදල අත ඇති මුදලක් ලෙස පෙන්වා පවත්වාගෙන ගොස් එය භාණ්ඩාගාරික මිය ගිය පසු අස්තාන ගත වූ ලෙස පෙන්වීම වත්මන් නිලධාරී මණ්ඩලයේ කූට ක්‍රියාවක් ලෙසත් පෙනී යයි. එය තහවුරු කිරීම සදහා හුවමාරු වූ ලිපි කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව පවතියි.
    කෙසේ වෙතත් ජාතික සංගමය පවසන්නේ පසුගිය නිලධාරීන් අත ඇති මුදල තමන්ට භාර නොදුන් බවයි. මෙම මුදල සොයා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් හැකිවනු ඇති. එහෙත් මෙම ගැටළුව දැන දැනත් එවැනි පරීක්ෂණයක් සිදු නොකිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ නොහැකියාව හා නොසැලකිල්ල පෙන්වා දෙයි. ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්ට එවැනි පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියදීත් මෙතෙක් වත්මන්  නිලධාරීන්ව හෝ හිටපු නිලධාරීන්ව නිවරදි කිරීම සදහා එය සිදු නොකරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයත් මෙම මුදල් හුවමාරුවේ කොනක සිටින නිසාද යන්න ඇත්තේ ප්‍රශ්නයක්ය. මේ පිලිබද මූලික පරීක්ෂණයක් පසුගිය වසරේ ජුනි මස 11 වැනිදා ක්‍රීඩා අමාත්‍යාශ නිලධාරී ආර් බී වික්‍රමසිංහ මහතා පවත්වා ඇති අතර ඊට හිටපු නෙට්බෝල් සංගමයේ නිලධාරීන් සියල්ලන් පැමිණ ඇති නමුත් වත්මන් සංගමයෙන් පැමිණ ඇත්තේ සභාපතිවරිය පමණයි. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් මෙතෙක් නිකුත් වී නැහැ.
     මේ අතර විශේෂඥ පුහුණුකාරියක ලෙස ජාත්‍යන්තර නෙට්බෝල් සංගමයේ පුහුණුකාරියන් කමිටුවේ ප්‍රධානී ඕස්ට්‍රේලියානු ජාතික ජිල් මැකින්ටෝෂ් මහත්මිය පසුගිය වසරේ මැයි 11 වැනිදා සිට මෙරට පැවැත්වූ පුහුණුකාරිණියන් පුහුණුකිරීමේ වැඩසටන් සදහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් 972,590 ක මුදලක් ලබා දී තිබෙයි.  එහිදී පැවැත්වීමට යෝජනා කර අයවැය ඉදිරිපත් කළ රත්නපුර / යාපනය / මාතර වැඩසටන් පවත්වා නැත. එමෙන්ම මෙම වැඩසටහන් සදහා අමතර වියදම් ලෙස දක්වා ඇති රුපියල් 67,000 ක මුදල වැයවූ ආකාරයක්ද නැත. මේ අතර සංහිදියාවේ සතිය යටතේ පසුගිය වසරේ කිලිනොච්චිය / වව්නියාව / මුලතිව් දිස්ත්‍රික්ක සදහා සැලසුම් කළ නෙට්බෝල් වැඩසටහන පැවැත්වීමට නොහැකිවූයේ සංගමයේ සභාපතිවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව ක්‍රීඩා අමාත්‍යාංශ හිටපු නෙට්බෝල් ව්‍යාපෘති නිලධාරිනි ටී එම් පී කුමාරිහාමි මහත්මිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙයි. එම ලිපියෙන් ඇය පෙන්වා දී ඇත්තේ සංගමයේ වත්මන් නිලධාරීනියන්ගෙන් ක්‍රීඩාව සංවර් ධනයට කිසිදු කටයුත්තක් සිදු නොවන බවයි. මේ අනුව බැලූ විට පසුගිය වසරේ ජුනි 18 වැනිදා පත්වූ ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික නෙට්බෝල් සංගමය බහිරවයෙක් බවට පත්ව ඇතැයි චෝදනාවක් පවතියි. එය සනාථ කරමින් ඔවුන් පසුගිය ගිණුම් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇත්තේ විවිධ හේතූන් ඉදිරිපත්කරමින්ය.

    No comments