• Breaking News

    හොරාගේ අම්මගෙන් ඇමති හරීන් ‍පේන අහයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනගයක් සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළා. එය සති දෙකකින් අවසන් කරන බවයි ඔහු කියා සිටියේ. එම කාලය අවසන්ව ඇත්තේ මාසයකටත් ආසන්න කාලයකටත් ලං වෙමිනුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් විගණනය කර විගණකාධිපති දෙපාර්තමේන්තුව ගිණුම් නිවැරදි බව දැනුම් දුන් ගිණුම් මෙලෙස යලි විගණනය කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
    මෙම ප්‍රකාශයට අනුව කටයුතු සිදුව පරීක්ෂණ සිදුකරන්නට කටයුතු කළේ නම් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිවැරදි බව තහවුරු කළ ගිණුම් යලි පරීක්ෂා කිරීමක් බවට එය පත්වනවා. වෝහාරික විගණනයකදී සිදුවන්නේ විදෙස් ආයතනයක් හරහා ගිණුම් යලි පරීක්ෂා කිරීමයි. එවිට අඩුපාඩු ඇත්නම් එවා හෙලිවීම සිදුවනවා.
    කෙසේ වෙතත් ඇමති හරීන් ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකර ඇත්තේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි ක්‍රියාවක් බව කණගාටුවෙන් යුතුව කිව යුතුයි. මෙහිදී සැබෑ ලෙසම සිදුව ඇත්තේ වෝහාරික විගණනයක් නොව විගණකාධිපති දෙපාර්තමේන්තුව යලිත් වරක් වෙනත් වටයකින් ගිණුම් පරීක්ෂා කිරීමයි. ඒ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා තහවුරු කරනවා.
    සිදුකරමින් යන මෙම පරීක්ෂණයෙන් කිසිදු වරදක් හසු නොවනු ඇති. ඒ ඔවුන් විසින්ම පසුගිය වසරේදී සිදුකළ විගණනය වැරදි බව කීමට ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් බව තේරුම් ගැනීමට ඕනෑම අයෙකුට හැකිය. මෙරට රාජ්‍ය ආයතන මෙන්ම ක්‍රීඩා සංගම් විගණනය කිරීමද සිදුවන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහායි.
    ක්‍රිකට් ආයතනයේ ගිණුම් වැරදි බව ඔවුන් පැවසුවහොත් මෙරට සමස්ථ රාජ්‍ය සේවයේ පමණක් නොව ක්‍රීඩා සංගම් ගිණුම් වාර්තා පිලිබදවද සැක ඇතිවීම වැලැක්විය නොහැකියි. මේ අනුව ඔවුන් තම දෙපාර්තමේන්තුවේ වැරදි වසා ගැනීමට පියවර ගනු ඇති. එසේ නොවුනහොත් එකක් කඩතොලු වසා ගන්නට ගොස් ඉදුරියේ ආචාරියාට සිදුවූ දේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට සිදුවනු නොඅනුමානය.
    තත්වය මෙය බව තේරුම් ගැනීමට හැකි වටපිටාවක මෙලෙස හොරාගේ අම්මගෙන් පේන ඇසීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කිරීම කණගාටුවට කරුණක්. ඇතැම් විට එය සිය පාර්ලිමේන්තු සගයකු වන තිලංග සුමතිපාල මහතා බේරා ගැනීමේ මෙහෙයුමක්ද විය හැකියි. තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස සිටි පාලන කාලයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට චෝදනාවක් පවතිනවා. එලෙස අපකීර්තියට පත්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධයක තිලංග බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    මෙවන් වටපිටාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් වෝහාරික විගණනයක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කරන්නට ඇත්තේ තිලංගගේ නම නිවැරදි කිරීමට විය හැකියි. සැබවින්ම වෝහාරික විගණනයක් සිදුකළ පසු ඇතිවන තත්වය හරහා ඔවුන්ගේ බලාපොරොත්තු බිද වැටිය හැකියි. මේ හේතුවෙන් රජයේ විගණකාධිපති නිවැරදි ගිණුම් බව තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය ගිණුම් යලි ඔවුන්ටම විගණනය කිරීමට බාරදුන්නා විය හැකියි.
    හොරාගේ අම්මාගෙන් පේන අසන්නට කටයුතු නොකර සැබවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් පිලිබද විගණනයක් සිදුකිරීමට කටින් බතල හිටවන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කරනු ඇත්දැයි මෙරට ජනතාව විමසිල්ලෙන් යුතුව සිටින බව Lanka Sports News මතක් කළ යුතුයි. ක්‍රිකට් ආයතනයේ සභාපති හා ලේකම් ලෙස පත්ව ඇත්තේ තිලංග සුමතිපාල මහතාගේ ලගම සිටි තපස්සු බල්ලුක වෙලද දබෑයන් දෙදෙනෙකි. ඔවුන්ට පෙර ගිණුම් නිවැරදි බව කීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති. ක්‍රීඩා ඇමතිගේ වෝහාරික විගණනයට අනිච්චා වත සංඛාරා.

    No comments