• Breaking News

    ලසිත් මාලිංගට නවක මුහුණු තුනක් - වෙනස්කම් අටක්


    දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. තරග 05 කින් යුත් දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 03 වැනිදා ආරම්භවීමට නියමිතයි. ඊට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය අද නම්කළා. එහි උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි. නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 08 දෙනෙකුට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. පන්දුව දමා ගැසීමේ චෝදනාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාවකාලික තරග තහනමට ලක්ව සිටි අකිල ධනංජය මෙවර කණ්ඩායමට එක්ව සිටිනවා. ඒ ඔහු පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි කරගෙන ඇති බව ඉන්දීය පරීක්ෂණාගාරයකදී තහවුරු වී තිබීම හේතුවෙන්.
    මේ අතර නවක ක්‍රීඩකයින් 03 දෙනෙකු සංචිතයට කැදවා තිබීම කැපී පෙනෙනවා. පිට පිට ද්විත්ව ශතක දෙකක් පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේදී ලබා ගත් ප්‍රියමාල් පෙරේරා / කමිදු මෙන්ඩිස් හා දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු ඒ අතර වනවා. වසර දෙකකට පසු ඇන්ජලෝ පෙරේරාද සංචිතයට ඇතුලත්. අවිශ්ක ප්‍රනාන්දු / උපුල් තරංග / ඉසුරු උදාන හා විශ්ව ප්‍රනාන්දු / කුසල් ජනිත් පෙරේරා / කුසල් මෙන්ඩිස් / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා / කසුන් රජිත හා ලක්ෂාන් සදකැන් සංචිනයට එක්ව ඇති සෙසු ක්‍රීඩකයින් වනවා.
    සංචිතයේ ස්ථානය අහිමි වී ඇත්තේ ධනුෂ්ක ගුණතිලක / හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් / අසේල ගුණරත්න / දසුන් ශානක / සීකුගේ ප්‍රසන්න / දුෂ්මන්ත චමීර / නුවන් ප්‍රදීප් හා ලහිරු කුමාරටයි.


    No comments