Tuesday, March 12, 2019

පෙරේරා වෙනුවට එක්දින වරම් දිනන පෙරේරා


දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් Lanka Sports News වෙබ් අඩවිය සමග කියා සිටියා. ඔහු පැවසුවේ තරගාවලිය පරාජයට පත්වීම හේතුවෙන් ඉතිරි තරග දෙක ක්‍රීඩකයින් හදුනා ගැනීම සදහා භාවිත කරන බවයි. මේ අනුව මෙතෙක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවූ පියුමාල් පෙරේරා හා ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට එක්වනු ඇති.
දෙරට අතර පැවති තුන්වන එක්දින තරගයේදී කුසල් ජනිත් පෙරේරා පාදයේ ආබාධයකට ලක්වුණා. මේ අනුව හතරවන එක්දින තරගයේදී පියුමාල් පෙරේරා කණ්ඩායමට කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින තරගයේදී නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා.
2016 වසරින් පසු එක්දින තරග ක්‍රීඩා කර නැති ඇන්ජලෝ පෙරේරා තවමත් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 04 ක් පමණයි. ඔහු පුහුණු එක්දින තරගයේදී එක් කඩුල්ලක් දවා ගත්තා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔහු දේශීය තරග බිමේ දක්ෂතා දක්වා තිබෙනවා.
දෙරට අතර හතරවන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පෝට් එලිසබත් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් මෙම තරගය ආරම්භවන්නේ සවස 04 යි 30 ටයි. මෙම ක්‍රීඩා පිටියේ දෙරට අතර එක්දින තරග 04 ක් පවත්වා ඇති අතර ඉන් එක් තරගයක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ. තරගයට සකස්කර ඇති තණතීරුව පිතිකරුවන්ට වඩා යෝග්‍ය වනු ඇති බව විචාරක මතය වී තිබෙනවා. පළමුව ක්‍රීඩා කරන කණ්ඩායමට ලකුණු 290 ක් ලබාගත හැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

No comments:

Post a Comment