Sunday, March 24, 2019

ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු අතුරුදන්වෙලා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ අසාර්ථකවීම හේතුවෙන් පන්දු යවන්නන් පිතිකරුවන් බවට පත්වන ආකාරයක් පසුගිය තරග කිහිපයේදීම දක්නට ලැබුනා. පිතිකරුවන්ගේ වගකීම ඉටුනොවීම හේතුවෙන් පන්දු යවන්නන්ට එය සිදුකිරීමට වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන් රැසකට මුහුණ දුන්නා. ඊට හොදම උදාහරණය ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 යි 20 තරගය දැක්විය හැකියි. එහිදී හනුමා දර පලන ලෙස ඉසුරු උදාන දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වාර්තා පිට වාර්තා පිහිටුවමින් ජය ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින හා පන්දුවාර 20 තරගාවලි අන්ත පරාජයක් ලැබුවා. වෙනස පිතිකරුවන් සාර්ථක වීම හා අසාර්ථක වීමයි. පන්දු යවන්නකු ලෙස මුලින් පිටියට පිවිසි සනත් ජයසූරිය පසුව අතිසාර්ථක ආරම්භක පිතිකරුවෙක් වුණා. එලෙසම මේ වන විට ඉසුරු උදාන එම දක්ෂතාව පෙන්වමින් සිටිනවා. කෙසේ වෙතත් ඉසුරු උදාන ආරම්භක පිතිකරුවෙක් ලෙස ද අවශ්‍ය නම් අත්හදා බැලීමට දෙරට අතර පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර 20 තරගයේදී අවස්ථාව තේරීම් කමිටුවට පවතිනවා.
Lanka Sports News මතය වන්නේ පන්දුව පරණවීමත් සමග ඉසුරු උදානට ක්‍රියාත්මක විය හැකි ආකාරයක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් ඔහු අංක හතර පිතිකරු බවට පත්කිරීම වඩා සාර්ථකවිය හැකි බවයි අපගේ විශ්වාසය. කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවෙක් ලෙස නව පන්දුවට ක්‍රීඩා කළ හැකිදැයි අත්හදා බැලීම සිදුකළ යුතු වනවා. ක්‍රිකට් තේරීම් කමිටුව පවසන්නේ දෙරට අතර පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර 20 තරගය අත්හදාබැලීමේ තරගයක් බවයි.
කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන්ගේ කැපීපෙනෙන අසාර්ථකවීමට හේතුව අප සොයා බැලුවා. ලොව ක්‍රිකට් කණ්ඩායම් වල මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේද පිතිකරණ පුහුණුකරුවකු පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා. එහෙත් හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු වූ පසු එම තනතුරට පැමිනෙන සියල්ලන් එලවා දැමුවා. මේ අනුව කිසිදු පුහුණුකරුවකු මේ වන විට ඇත්තේ නැහැ.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති එක්දින හා පන්දුවාර 20 තරගාවලියේදී මෙරට පිතිකරුවන් පිතිකරණ මූල දර්ම හෝ අනුගමනය නොකිරීම හේතුවෙන් දැවී යනවා. පන්දුව වැටෙන තැනට කකුල ගෙනවිත් පහරදීම උගන්වන්නේ පාසල් අවධියේදීයි. පිත්ත කඩුල්ලට පිටතින් යන පන්දුවට රුවා දැක්වීම සිදුකරන්න එපා යනුවෙන් ඉගැන්වීම පාසල් පුහුණුකරුවන් ඉගැන්වීම සිදුකරනවා. පිතිකරුවන් ඉදිරිපාදයේ ක්‍රීඩා කිරීම හා පසුපස පාදයේ ක්‍රීඩා කළ යුතු ආකාරය කියා දෙන්නේ පොතේ න්‍යායන් ද දක්වමින්. පන්දුවක් මේස් එකකට දමා එහි කෙලවර ලණුවකින් විවිධ උසින් ගැටගසා එය ආධාරයෙන් පිතිකරුවන්ට මූලධර්ම උගන්වනවා.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකා එක්දින හා පන්දුවාර 20 තරගාවලියේදී පිතිකරුවන් දැවී යන්නේ මෙම මුලධර්ම අනුගමනය නොකිරීම හේතුවෙන්. පිට ඉන්නට පිටතින් පැමිනෙන පන්දුවට පත්ත රුවා දැක්වීම හේතුවෙන් උඩ පන්දු ලබාදෙමින් දැවී යනවා. කඩුල්ල පූජා කිරීමට ඔවුන් භාවත කරන්නේ මෙම මූලධර්ම අනුගමනය නොකිරීම හා අපරික්ෂාකාරීත්වයයි. කල්යල් බැලීම හා ස්ථාන ගත කිරීමේ අඩුපාඩු රැසක් දැකිය හැකි බව නොරහසක්.
මෙවැනි තත්වයක් තුල ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරු පුහුණුකරුවෙක්ගේ සේවය ලබා නොගැනීම කණගාටුවට කරුණක්. මාසිකව රුපියල් ලක්ෂ 75 ක් ගෙවනු ලබන ප්‍රධාන පුහුණුකරු මූලධර්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අමතකවීමට ඉඩහැරීම අනුමත කළ හැකිද ?
අපේ වාර්තා කිරීම. ඔබේ විනිශ්චය !

No comments:

Post a Comment