2019 ක්‍රිකට් ලෝක කුසලානය ආවරණය කරමින් ITN නාලිකාවේ
ප්‍රවෘත්ති අංශ ක්‍රීඩා ප්‍රධානියා වන දෙයාලගේ දොන් හසිත අකලංක දෙයාලගේ දේශපාලන
පලිගැනීමට ලක්ව තිබෙනවා. ඇත්ත කථාකිරීමේ වරදට මෙලෙස ඔහුව ඉවතට ඇද දමා තිබෙනවා. එකග
නොවීමට එකගවීමේ න්‍යාය අනුව යමින් කැබිනට් මාධ්‍ය හමුව පවා උණුසුම් කරන හසිත ක්‍රීඩා
මාධ්‍යවේදියෙකු ලෙස ආන්දෝලනාත්මක පුවත් වාර්තා කිරීමේ ප්‍රමුඛයෙක්.
එංගලන්තයේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලියේදී සම්මුඛ සාකච්ජා ලබා ගැනීම ඔහු විසින් අවස්ථා ගණනාවක සිදුකරනු ලැබුවත්
එහි පැමිණි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සම්මුඛ සාකච්ජා ලබාදීම ප්‍රතික්ෂේප
කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ඔහු ලබා දුන් ප්‍රශ්න ඇසීම හසිත ප්‍රතික්ෂේප
කිරීමයි. මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා හඩපටයක් පමණක් ලබා දී තිබෙනවා.
තරගාවලිය අවසන් කර ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ
ඇත්තේ පසුගිය 17 වැනිදායි. 18 වැනිදා නිවාඩුවක් ලබාගෙන ඇති අතර 19 වැනිදා සේවය
සදහා වාර්තා කර තිබෙනවා. එවිට ඔහුවෙත ලිපියක් ලබාදෙමින් නියෝජ්‍ය සාමාණ්‍යාධිකාරීවරයා
පවසා ඇත්තේ ඊට අදාලව කටයුතු කරන ලෙසයි. එම ලිපියේ දැක්වෙන්නේ ආයතනයේ කීර්තිනාමයට
හානිවන ලෙස සමාජ මාධ්‍යයේ පලකර ඇතැයි වාර්තාවන තොරතුරක් හේතුවෙන් දෙයාලගේ දොන්
හසිත අකලංක දෙයාලගේ සහය නිෂ්පාදකවරයාගේ කොන්ත්‍රාත් සේවය පසුගිය 18 වැනිදා සිට
අවසන් කර ඇති බවයි.
මෙහිදී මුලික යුක්ති මුලධර්මයන් පවා උල්ලංඝනය
කරමින් නීති විරෝධී ලෙස පාලනාධිකාරය මෙම තීරණය ගෙන ඇත්තේ කලක සිට ඔහුවෙත පැවති දේශපාලන
පීඩනය උඩුදිවීමක් ලෙසයි. අයිටීඑන් හසිතට මෙම ඉරණම අත්වීමට බලපෑවේ මහින්ද රාජපක්ෂගේ
සීඑස්එන් ක්‍රීඩා නාලිකාවේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානියා ලෙස සේවය කිරීමට අදාලව රජය
සිදුකළ පරීක්ෂණයන්ට බොරු සාක්ෂි ලබාදීම ප්‍රකික්ෂේප කිරීමයි.
මේ අතර කම්කරු නීතියේ ඇති සේවකයකු සේවයෙන්
පහකිරීම සදහා සිදුකළ යුතු අපක්ෂපාතී විනය පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කිරීම
මෙහිදී සිදුකර නැහැ. සමාජ මාධ්‍යයේ ආයතනයට
එරහිව මතපලකල බව පවසමින් සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ කිසිවකුගේ කීමකට අනුව
බව සාමන්‍යාධිකාරීවරයා ලබා දී ඇති සේවය අවසන් කිරීමේ ලිපියේ පැහැදිලිව දැක්වෙයි.
ඔහු දැක නැති එම තොරතුර වාර්තාවන බව දක්වමින් මෙලෙස කටයුතු කිරීම සාධාරණ හා
යුක්ති සහගත නොවන ක්‍රියාවකි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ආවරණය
කිරීමේ කටයුත්ත ඉටුකළ අයිටීඑන් හසිතතේ ප්‍රශ්නයක් පෞද්ගලික නාලිකාවන්නේ සෑම
සතියකදීම විකාශය වනවා. ඒ ආන්ඩුවට කඩේ නොගොස් සැබෑ මහජන ප්‍රශ්න අමාත්‍ය රාජිත
සේනාරත්න මහතාගෙන් විමසීම හේතුවෙන්. මේ හේතුවෙන් අවස්ථා ගණනාවකදී දැඩි අවවාද
කිරීම් අයිටීඑන් පාලනාධිකාරයෙන් හසිතට සිදුකර තිබුණා. මෙම මාධ්‍ය හමුව ආවරණය කිරීමට
වෙනත් කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් අයිටීඑන් නාලිකාවට හසිතව නතර කිරීමට
නොහැකිවූ බව දන්නෝ දන්නා නොරහසක්. හසිතට හිමිවීමට තිබූ ප්‍රවෘත්ති නිවේදක තනතුර
ලබාදීම මේ හේතුවෙන්ම දිනෙන් දින මග හැර ලබානොදීමට පාලනාධිකාරය කටයුතු කරනවා. 2016
වසරේ උදෑසන 06.00 ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ප්‍රධාන නිවේදකයා වෙමින්
කැපී පෙනෙන නැගී එන ප්‍රවෘත්ති නිවේදක හසිතට රූපවාහිනී තීරයේ මුහුණු පෙන්විය
නොහැකි වන ලෙස අයිටීඑන් නාලිකා ප්‍රධානීන් කටයුතු කරන්නේ නාහෙට නාහන සැබෑ මාධ්‍යවේදියකුගෙන්
දේශපාලන පලිගැනීමක් ලෙසයි.
මෙලෙස දේශපාලන පලිගැනීමට හසිත ලක්වූ පළමු අවස්ථාව
මෙය නොවෙයි. 2017 වසරේ පෙබරවාරි 17 වැනිදා රාජකාරී ගමනක නිරතව සිටියදී ගල්කිස්ස ප්‍රදේශයේදී
දුම්රිය අනතුරකට හසිත ලක්වනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කෝමා තත්වයෙන්
මාසයක් ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව රෝහලේ ප්‍රකිකාර සිදුකළ යුතු රෝගියකු වූ
හසිත කෙලින්ම නිවසට යන ලෙස දන්වමින් ටිකට් කපනවා. එම අනතුරෙන් ඔහුගේ වම් අත අදටත්
නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකිව සිටින අතර ඇවිදීමේදී සමබරතාව නොමැති
ආකාරයකුත් පෙනී යනවා. රාජකාරී වේලාව තුල සිදුවූ මෙම අනතුර හා ඔහුගේ සෞඛ්‍ය තත්වය නොසලකා
අයිටීඑන් නාලිකාව හසිතව දොට්ට දැමීම අනුමත කළ නොහැකි මුග්ධ ක්‍රියාවකි.
2007 වසරේ වී FM නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත්
කරන්නකු ලෙස ආරම්භ කළ ගමන එම වසරේ සිටම ක්‍රීඩා මාධ්‍යවේදියකු බවටත් ඔහු පත්වනවා.
අනතුරුව 2010 වසරේදී නෙත් ස්පෝට්ස්මන් වැඩසටහනේ නිවේදක හා නිෂ්පාදකවරයෙක් වෙමින්
ක්‍රීඩාවේ වංචා හා දූෂණ අනාවරණය කිරීමේ ප්‍රමුඛයෙක් බවට පත්වනවා. අනතුරුව 2013
වසරේදී සීඑස්එන් නාලිකාවේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙස වැඩ ආරම්භ කරන්නේ ප්‍රවෘත්ති
අංශ ප්‍රධානියා වෙමින්. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම හේතුවෙන් CSN නාලිකාව 2015 වසරේ වසා දමන විට අයිටීඑන් නාලිකාවට ඔහු එක්වනවා.
No comments:
Post a Comment