• Breaking News

    දක්ෂතම මලල ක්‍රීඩකයාව ඇමති හරීන් බලෙන් සමුගන්වයි

    තවත් සාග් පදක්කමක් දිනා දෙමින් ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට නොහැකිවීම පිළිබඳව තමා කණගාටුවන බව තරග බිමෙන් ඊයේ  (30) නිල වශයෙන් සමුගත් උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකර පවසනවා.
    කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 37 හැවිරිදි මංජුල කුමාර විජේසේකර පැවසුවේ සිය අවසන් දේශීය තරගාවලිය ලෙස බදුල්ලේ දී නිමාවට පත්වූ 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල සඳහා තමන් සහභාගිවීමට ගත් උත්සාහය ඇතැමුන් විසින් එහි සුපිරි තෑග්ග වන මෝටර් රථයක් තෑගි ලෙස ලබාගැනීමට දැරූ අවස්ථාවක් ලෙස හැඳින්වීමට ගත් උත්සාහය ගැන ද තමා තුළ තරග බිමෙන් සමුගන්නා අවස්ථාවේ දී කලකිරීමක් ඇති කළ බවයි.
    ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටිහෙයින් එළඹෙන සාග් ක්‍රීඩා උළෙලට හා බදුල්ලේ දී පැවති 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට තේරීම් තරගවලින් තොරව සහභාගිවීමට මංජුල කුමාර විජේසේකර අවසර ඉල්ලා තිබිණා. එහෙත් ඔහුගේ ඉල්ලීම් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලැබුවා. ක්‍රීඩා අමාත්‍යා හරීන් ප්‍රනාන්දු ඔහුට මෙලෙස ක්‍රීඩාව එපාකල පුද්ගලයා වනවා. මීට පෙර අප මෙම සිදුවීම පිලිබද වාර්තා කළා.
    වසර 2004 පැවති ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී සිය ක්‍රීඩා දිවියේ මීටර 2.27 ක් වන උපරිම දක්‍ෂතාවය පළ කරමින් එම වසරේ ඇතැන්ස් නුවර දී පැවති ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබමින් මංජුල කුමාර ශ්‍රී ලංකාවේම අවධානය මුල්වරට දිනා ගත්තා. එම උපරිම දස්කම ඔහු වසර 2005 දී දකුණු කොරියාවේ ඉංචියොන් නුවර දී පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ද ප්‍රදර්ශනය කරමින් උස පැනීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
    මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණ හා ශාරීරික අධ්‍යාපන කළමනාකරණ පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටින ඔහු මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබමින් එහි පදිංචිවීමට තමාට කිසිදු ආසාවක් නැති බවත් ආසාව ඇත්තේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට සේවය කිරීම බවයි.
    ඒ සඳහා පුහුණුකරුවෙකුවීම වඩාත් ප්‍රයෝජනවත් බවත් මලල ක්‍රීඩා පරිපාලනයට පිවිසීමේ අදහසක් මේ මොහොතේ තමා තුළ නොමැති බවත් මංජුල පැවසුවා.
    මොරවක කොයිනිල්ගොඩ කනිෂ්ඨ විදුහලේ ඉගෙනුම ලබන අතර ක්‍රීඩා දක්‍ෂතා හේතුවෙන් දික්වැල්ල විජිත මධ්‍ය මහ විදුහලට ශිෂ්‍යත්වයක් ලැබ පැමිණි මංජුල කුමාර විජේසේකරගේ උස පැනීමේ දක්‍ෂතා ප්‍රවර්ධනයේ ආරම්භය වුණා. 1994 පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී මීටර 1.27 කට රිදී පදක්කමක් දිනා ගැනීම ඔහුගේ පාසල් තරග බිමේ පළමු ජයග්‍රහණය වනවා.
    “මගේ ගෙදර පිහිටලා තිබ්බේ කන්දක් උඩ. මේ කන්ද නගින එකයි බහින එකයි තමයි මගේ උස පැනීමේ හැකියාවන් ඇති කළේ කියලා මා විශ්වාස කරනවා. මොකද මම මොරවක කොයිනිල්ගොඩ විදුහලේ ඉගෙන ගන්න කාලයේ දී දක්‍ෂතා දැක්වූයේ වොලිබෝල් ක්‍රීඩාවටයි. මට වොලිබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා රන් පදක්කමකුත් තිබෙනවා. මට එතනදී මඟපෙන්වූයේ ජයකොඩි ගුරුතුමියයි.” මංජුල කුමාර මාධ්‍ය හමුවේදී පැවසුවා .
    වසර 2003 දී ඇමෙරිකාවේ පුහුණුවක් සඳහා මුල්වරට ඔහු කැලිෆෝනියාව බලා පිටත්ව ගියා. එහිදී විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වූ ඔහු  මීටර 2.17 ක දක්‍ෂතාවයක් පෙන්වමින් උස පැනීම (පිරිමි) රන් පදක්කම දිනාගත්තා.
    මංජුලගේ මුල් පුහුණුකරු වන්නේ කේ.එච්. කීර්තිකුමාර මහතායි. ඔහු මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ මොරවක ප්‍රදේශයේ ඉතා දුප්පත් පවුලක දරුවෙකු ලෙස ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි මංජුල කුමාර විජේසේකරගේ කැපවීම තුළින් ඔහු සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් සපයා දුන් බවයි.
    1972 ආරම්භ වූ ජාතික ක්‍රීඩා උළෙලේ උස පැනීම (පිරිමි) ඉසව්වේ මෙතෙක් හොඳම දක්‍ෂතාව (මීටර 2.23 - තරග වාර්තාව) සතුවන්නේද මංජුල කුමාරටයි. ඒ අතර වසර 2010 සිට 2018 දක්වා අඛණ්ඩව එහි රන් පදක්කම දිනා ඇති මංජුල කුමාර වසර 2001-02 යන වසරවලදීත් එම දක්‍ෂතාවය දක්වා තිබෙනවා.
    ඔහු එම ක්‍රීඩා උළෙලේදී වසර 2010 සිට 2016 දක්වා අඛණ්ඩවම දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගනිමින් වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා. ඒ අතර වසර 2018 ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි ශූරතා සම්මානය දිනා ඇත්තේද මංජුල කුමාරයි.
    ඔලිම්පික් උළෙල, ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු විසින් දිනා ඇති ජාත්‍යන්තර පදක්කම් ගණන 25 ක්.
    සිය දක්‍ෂතා දැනගැනීමට ලැබීමෙන් පසුව ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික හිටපු සුපිරි උස පැනීමේ ක්‍රීඩක නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ බලධාරීන් හරහා තමා හඳුනාගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසු කාලයේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා පැමිණි තමාට ඇතැම් අවස්ථාවලදී ඔහුගේ කැලිෆෝනියාවේ නිවසේ තබා ගනිමින් උස පැනීමේ පුහුණුවීම් සඳහා නිරතුරුවම උපකාර කළ බවත් මාධ්‍ය හමුවේදී කෘතගුණපූර්වකව මංජුල කුමාර සිහිපත් කළා.
    මෙම මාධ්‍ය හමුවේදී ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් හා ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල්, ශ්‍රී ලංකාවේ දැන් සේවය කරන කියුබානු මලල ක්‍රීඩා පුහුණුකරු ලුවිස් මිරින්ඩා, මලල ක්‍රීඩා පුහුණුකරු කර්නල් මංජුල පෙරේරා යන මහත්වරුද අදහස් දැක්වූවා. මංජුල සිය 25 වසරකට ආසන්න කාලයක් තරග බිමේ ගෙවූ කාලය තුළදී උදව් උපකාර කළ සියලුම පාර්ශව වෙත කෘතඥතාවය පළ කරමින් අදහස් දැක්වූවා.

    මංජුල කුමාර විජේසේකරගේ උස පැනීමේ ජාත්‍යන්තර ප්‍රමුඛතම තරග දක්‍ෂතා
    ■    2003 - කැලිෆෝනියා විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම
    ■    2004 - ඇතැන්ස් ඔලිම්පික් උළෙල නියෝජනය
    ■    2004 - ආසියානු ගෝන්ෆ්‍රි හා දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම්
    ■    2005 - ආසියානු ශූරතා රන් පදක්කම
    ■    2006 - දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම
    ■    2009 - ආසියානු ශූරතා රන් පදක්කම
    ■    2010 - ආසියානු ක්‍රීඩා උළෙලේ නියෝජනය
    ■    2013 - ආසියානු ගෝන් ෆ්‍රි ශූරතා රන් පදක්කම
    ■    2017 - ආසියානු ගෘහස්ථ ක්‍රීඩා ලෝකඩ පදක්කම
    ■    2009 - ආසියානු ශූරතා රන් පදක්කම
    ■    2016 - දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම
    ■    2010 - ආසියානු විශිෂ්ටයන්ගේ ශූරතා රන් දක්කම
    ■    2012 - ආසියානු ගෝන් ප්‍රී රන් පදක්කම
    ■    2013 - ආසියානු ගෝන් ප්‍රී රන් පදක්කම

    පෙර ලිපිය 

    ජාතික මහා ක්‍රීඩා උළලේදී ඇමති හරීන්ගේ කතුරට දක්ෂතම ක්‍රීඩකයාගේ බෙල්ල කැපේ

    No comments