• Breaking News

    ඇමති හරීන් ක්‍රිකට් සල්ලි ගහ හොලවයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 30 දෙනකු ගිවිසුම්ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ බලපෑම් හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. මෙම ක්‍රීඩකයෝ කාණ්ඩ කීපයක් යටතේ ඇමරිකානු ඩොලර් 10,000 ක සහ 5,000 ක වාර්ෂික දීමනාවකට හිමිකම් කියන බවයි ඔහු කියා සිටියේ.
    මෙම ක්‍රීඩකයන් 30 දෙනා තෝරාගැනීමේදී පසුගිය වසරේ දස්කම් සහ වයස ප්‍රධාන සාධකය බවට පත්වූ බව ක්‍රිකට් සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවා. කෙසේ වෙතත් සැබෑ ලෙසම සිදුව ඇත්තේ මෙයයි.   
    වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම නොලැබුණු, එහෙත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 40 කට වැඩි පිරිසක් ක්‍රීඩා අමාත්‍යංශයේදී  (07) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවූණා. එහිදී ක්‍රීඩකයෝ දේශීය තරග සඳහා ගෙවන මුදල වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.
    “අපි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා දේශීය තරගවලට දැනට ගෙවන මුදල වැඩි කරන්න කියලා. ඇමතිතුමා අපේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා”
    “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලේ මුදල් වියදම් කරලා තියෙන ආකාරය අපිත් දැක්කනේ. ඇතැම් නිලධාරීන් විදේශ සංචාර යන ආකාරය දැක්කම පුදුමයි. මේ සියලුම ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යම් දෙයක් කරපු අය. අපේ ගෙවීම් වැඩි කරන්න කියලයි අපි ඉල්ලුවේ” යැයි එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු ක්‍රීඩකයෙක් අපවෙත අදහස් දක්වමින් කියා සිටියා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ක්‍රීඩකයන් 34 දෙනකුට පමණක් කොන්ත්‍රාත්තුව ලබාදීම අසාධාරණ බවත් මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩකයෝ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ පවසා තිබෙනවා. ක්‍රිකට් ආයතනය මෙලෙස ගිවිසුම් ගත ක්‍රීඩකයන් ගණන අඩු කිරීමට තීරණය කර තිබුනේ එමගින් තරගකාරීත්වයක් ඇති කිරීමටයි. එවිට ප්‍රධාන ක්‍රීඩකයන් අතරට පිවිසීමට ක්‍රීඩකයන්ට වැඩි වෙහෙසක් හා උනන්දුවක් ඇතිවනු ඇතැයි අපේක්ෂාව වී තිබුණා.
    මිලින්ද සිරිවර්ධන, සචිත්‍ර සේනානායක, සීකුගේ ප්‍රසන්න, චාමර සිල්වා, මහේල උඩවත්ත සහ කිත්රුවන් විතානගේ ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
    ක්‍රිකට් ආයතනයේ තීරණයන්ට අමාත්‍යවරයා මැදිහත්වූ පළමු අවස්තාව මෙය නොවේ. කිරි හින්ද අහක දාන්නත් බෑ යැයි ශම්මි අමාත්‍යවරයාගේ මෙම මැදිහත්වීම පිලිබද කියා සිටියේ සිනහ වෙමිනුයි. 

    No comments