Saturday, November 16, 2019

ආතර්ට ආතල් හා හතුරුට හතුරුවී පිංපඩි

දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා දෙසැම්බර් මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පළමු පෙළ තරග 110 කට සහභාගි වී ඇති 51 හැවිරිදි මිකී ආතර් පාකිස්තානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළා.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩොමට් මහතා පත්කර තිබෙනවා. පාකිස්තානයේදී ලබන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ සිට මිකී ආතර් සහ ෂේන් මැක්ඩොමට් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි චන්දික හතුරුසිංහගේ සේවය පසුගිය අගෝස්තු මස අත්හිටුවීමෙන් පසුව ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාර කීපයකට සහභාගි වුණා.
එංගලන්තයේදී පසුගිය ජූලි මස අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයේ ගිවිසුම් කාලය අවසන් වූ අතර සියලුම පුහුණුකරුවන් ඉවත්කිරීමට ක්‍රිකට් බලධාරිහූ පියවර ගත්තා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ දේශීය අංශයේ ප්‍රධානී තනතුරට ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන ටිම් මැකැස්කිල් මහතා පත්කිරීමට ද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස අංසක ගුරුසිංහ මහතා මීට පෙර කටයුතු කළා. ඒ මහතාගේ සේවා ගිවිසුම ද මීට මාස තුනකට පමණ පෙර අවසන් වුණා. මේ අනුව ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර අංශ ප්‍රධානී ලෙස ජෙරම් ජයරත්න මේ වන විට කටයුතු කරනවා.
හිටපු ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සමග ඇති ගිවිසුමට අනුව මසකට තවමත් රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් මාසිකව වැටුප් ලෙස ක්‍රිකට් ආයතනය ගෙවනු ලබනවා. එවන් වටපිටාවකයි මෙලෙස නව පුහුණුකරුවෙක් බදවා ගැනීමට පියවර ගෙන ඇත්තේ. හතුරු නැතත් ඔහුට නියමිත පරිදි ලබන වසර පුරාද වැටුප් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සිදුවනවා. ක්‍රිකට් ආයතනයට බල්ලන්ට ගැසීමටත් ගගේ මුහුදේ දැම්මාක් මෙන් නාස්ති කිරීමට මුදල් තිබීම හා කිසිදු උගත්කමක් නැති අකාර්යක්ෂම හා දූෂිතයන් අතට පරිපාලනය පත්ව තිබීම මෙවන් තත්වයක් ඇතිවීමට හේතුව බව අමුතුවෙන් කිවයුතු නෑ.

No comments:

Post a Comment