Tuesday, November 19, 2019

ක්‍රීඩා ඇමතිකමට පොරයක් - මෙන්න නම්

ක්‍රීඩා , විදුලි සහ විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩූ වූ ක්‍රීඩා අමාත්‍ය ධූරයට කවුරුන්ද පත් කර ගන්නේද යන්න මේ වන විට කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එලෙස පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධූරය වෙනුවෙන් නව අමාත්‍යවරයෙක් පත් කරන තෙක් වැඩබලන අමාත්‍යවරයෙක් පත් කරන්නේද , එසේත් නැත්තනම් නව අමාත්‍යවරයෙක් විෂය භාර ගන්නා තුරු එකී ධූරය අමාත්‍යාංශ ලේකම්වරයාගේ බලතල යටතේ පවතින්නේද යන්න පිලිබද ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනිමට නියමිතයි. බොහෝ අමාත්‍යාංශ අමාත්‍යධූර පුරප්පාඩු වී තිබීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවූ නව කැබිනට්ටුව පත්කිරීමට ප්‍රමාද වෙමින් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සිය මතය තවමත් නිල වශයෙන් ප්‍රකාශ නොකිරීම හේතුවෙන්. මේ අනුව නව ආන්ඩුවක් පිහිටුවීම සදහා මේ වනවිට මන්ත්‍රීවරුන් බිලීබෑම ආරම්භ වී ඇතැයි සදහන්.

යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා විෂය භාර වගකීම් දැරූ දයාසිරි ජයසේකර, ෆයසිර් මුස්තාෆා වැනි මන්ත්‍රීවරුන්ගේ නම් දැනටමත් නව රජයේ ක්‍රීඩා අමාත්‍යධූරට සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ අතර දයාසිරි පෙරමුණේ පසුවනවා. ඒ ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සහය දුන් ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වීම හේතුවෙන්. එමෙන්ම ඔහුගේ කාලයේ ඉතිහාසයේ වැඩිම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පදක්කම් දිනාගත් බවත් ඔබට මතක ඇති.

නව රජය යටතේ පත්වන අලුත් කැබිනෙට්ටුව තුළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ක්‍රීඩා අමාත්‍ය ධූරය හිමිවනු ඇති බව තවත් පිරිසකගේ අදහසයි. ඒ මහින්ද රාජපක්ෂ රජයේ අවසන් ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුවීම හේතුවෙන්. එමෙන්ම ඔහුගේ ක්‍රීඩා අමාත්‍යධූර කාලයේ සිදුවූ බව කී කැරම් බෝඩ් නඩුව යහපාලන රජය මහින්දානන්දට වැඩි ප්‍රසිද්ධියක් ගෙනදුන් බව ඔබට මතක ඇති. කෙසේ වෙතත් ඔහුගේ කාලයේදී ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය හා තහනම් උත්තේජක නිවාරණ පනත නිර්මාණය කර පාර්ලිමේන්තුවේ සම්මත නීතියක් බවට පත්කළ බව ස්තූතිපූර්වකව සිහිපත් කළ යුතුයි. හරීන් ගෙනඑමින් පනතක් බවට පත්කර ලකුණු දා ගත් මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත නිර්මාණය කරනු ලැබුවේද මහින්දානන්ද ක්‍රීඩා අමාත්‍ය වකවානුවේයි. ඒවා සියල්ල කුණු කූඩයට දමා රාජ්‍ය පාලනය කරමින් මෙරට ක්‍රීඩාව වලට ඇද දැමුවේ පසුගිය යහපාලන කාලයයි.

කෙසේ වෙතත් මේ පිලිබදව තිලංග සුමතිපාල මහතා ද දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වනවා. ඒ සුදු සම්බන්දයෙන් හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් පනත සංශෝධනය කර ගැනිම සුමතිපාල මහතාගේ අරමුණ වීම හේතුවෙන්. ඊට ඔහු ඇති තරම් මුදල් වීසිකරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීකට් කන්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන මීකී ආතර් ලබන මස හතරවනදා වැඩභාර ගැනිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසා සිටිනවා. ක්‍රීඩා අමාත්‍යධූරය හිස්ව පවතින කාලයකදී ඔහු වැඩභාර ගැනිමද විශේෂත්වයක්. මෙවන් වටපිටාවක එය සිදුව මිකි ආතර් අසාර්ථක වුවත් කලින් ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයාට චෝදනා කරමින් එයින් ඇගබේරා ගැනීමට දේශපාලඥයින් සහ නිළධාරින් කටයුතු කරනු ඇති.

ජනාධිපති ගෝඨාභය මහතා දූෂණයෙන් තොරව ක්‍රීඩා ගොඩනැංවීමට කටයුතු කිරීමට ගන්නා පියවර පිලිබදව අප බලා සිටිමු.

- ඔශාන් සිරිවර්ධන -

1 comment:

  1. If you want to grow your know-how just keep visiting this web site and be
    updated with the hottest news posted here.

    ReplyDelete