• Breaking News

    එංගලන්ත ක්‍රිකට් සංචාරයේ මහා ප්‍රවේශ පත්‍ර වංචාවක් - ශම්මිගේ මඩිය තරවේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මහා ප්‍රවේශ පත්‍ර වංචාවක් සිදුවීමට නියමිතයි. දූෂණ අක්‍රමිකතාවන්ට එරහි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාරම්බෑම ක්‍රියාවෙන් ඔප්පු කිරීමට මෙය කදිම අවස්ථාවක්. වංචාව සිදුවීමට පෙර අප මෙම අනාවරණය කරන්නේ රජයට එය නැවැත්වීමට හැකි ප්‍රමාණවත් කාලයක් තිබියදීයි. අස්සයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැති බවත් Lanka Sports News රජයට මුලදීම මතක්කර දීමට කැමතියි.

    දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඓතිහාසික ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන මාර්තු මස 19 වනදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටිය හෙවත් SSC පිටියේදී මාර්තු 27 වැනිදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    මෙම තරග දෙකේ විශේෂ පුද්ගලයන් සදහා සියලු පහසුකම් සහිතව නිකුත් කරන VIP Hospitality ප්‍රවේශ පත්‍ර වංචාවක් සිදුවීමට නියමිතයි. මෙම තරගයක එක් දිනක් වෙනුවෙන් මෙම ප්‍රවේශ පත්‍රයක් ඇමරිකා ඩොලර් 150 ක් හෙවත් රුපියල් 27 200 ක් වනවා. එවැනි ප්‍රවේශ පත්‍ර දිනකට 500 ක් නිකුත් කිරීමේ පහසුකම් පවතිනවා. මේ අනුව තරග පැවැත්වෙන එක් දිනක ආදායම ඇමරිකා ඩොලර් 75 000 ක් හෙවත් රුපියල් 13,600,000 වනවා. එනම් ලක්ෂ 136 ක් හෙවත් එක්කෝටි 36 ලක්ෂයක්.


    මෙම සංඛ්‍යාවම එක් දිනකදී උපයා ගත නොහැකි උනත් ගාල්ල තරගය නිමාවන විටදී හෝ මෙවැනි ගණනක් උපයා ගත හැකියි. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තරග නැරඹීමට විදේශිකයන් වැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම ප්‍රවේශ පත්‍ර අලෙවිය ක්‍රිකට් ආයතනය ලබාදී ඇත්තේ වත්මන් සභාපති ශම්මි සිල්වාගේ සමීපතම ගජ මිතුරෙක් වන චන්දන අමරදාසගේ සංචාරක ආයතනය වන අයිලන්ඩ් ලෙෂර් ට්‍රැවල් ඒජන්සියටයි. ඒ කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නොමැතිවයි. ඉන් ක්‍රිකට් ආයතනයට හිමිවීමට ගිවිසුම් ගතව ඇත්තේ රුපියල් කෝටියක මුදලකටයි. එම මුදල ලාභයක්ද ඇතුව තරග පැවැත්වෙන එක් දිනකින් උපයා ගැනීමට හැකියාව පවතින බව ඔබට ඉහත අපගේ ගණනය කිරීමෙන් පැහැදිලි වනු ඇති.


    ක්‍රිකට් ආයතනයට රිංගීමට සියල්ලන් දත කන්නේ අපට හා රටේ ක්‍රිකට් වලට ඇති ආදරේටද නැත්නම් මෙවැනි ගණුදෙනු හරහා පහසුවෙන් කෝටිපතියන් වීමටදැයි ඔබට පැහැදිලි වනු ඇති. මෙහි ඇති අනෙක් කණගාටුවට කරුණ වන්නේ එවැනි ප්‍රවේශ පත්‍රයක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ලබාගත නොහැකි වීමයි. ඒ මෙවැනි මුදලක් වැයකර එක්දිනක් ක්‍රිකට් තරග නැරඹීමට හැකි පුද්ගලයන් නොවීම හේතුවෙන්.


    විශේෂ පුද්ගලයන් සදහා සියලු පහසුකම් සහිතව නිකුත් කරන VIP Hospitality ප්‍රවේශ පත්‍රයකට ආහාර පාන හා බියර්ද ලබාගත හැකියි.

    No comments