• Breaking News

    හිටපු සභාපති තිලංග මුදලට තරග පාවාදුන්නා ? පරීක්ෂණ - ලේකම් මොහාන් ද සිල්වා ( Video )

    ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල අතරින් ලොව දූෂිතම රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය වසරේදී නිවේදනය කළා. ඒ මෙරට ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිළධාරීන්ද මුදලට තරග පාවාදීමට තහනම් පැනවීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් හිමි තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති වීමෙන් පසුව මේ සියල්ල සිදුවුණා. යහපාලනය රටට ශාපයක් වූවා සේම ක්‍රිකට් බිංදුවෙනුත් පහලට ඇද දැමුවා. එහි ප්‍රථිපල පහසුවෙන් පෙන්විය හැකියි. 2014 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකාව ඊට වසර 04 ක් ගතවන විට ලොව 09 වැනි තැනට ඇද වැටීමෙන්ම පැහැදිලි වනවා.

    2014 වසරේ සකස්කර අවසන් වූ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූයේ පසුගිය වසරේ (2019) දී වීම කැපී පෙනෙනවා. මේ අතර යහපාලන අවසන් කාලයේ ක්‍රීඩා අමාත්‍ය වූ හරීන් ප්‍රනාන්දු තවත් පනතක් හරහා තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයට පැමිණීමට නොහැකිවන ලෙස නව නීති සැකසුවා. කෙසේ වෙතත් මේ සියල්ල සිදුවූයේ අස්සයා පැනගියවිට ඉස්තාලය වැසුවාක් ලෙසයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල පාරම්බෑවේ තමන්ට එරහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව පවසමින්. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය පිලිබද දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී ලේකම් මොහාන් ද සිල්වාට ඇත්ත කියවුණා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති මාධ්‍ය හමුවක්.


    මෙහිදී ඔහු කියා සිටියේ හිටපු සභාපති තිලංග සුමතිපාල මුදලට තරග පාවාදීම් සිදුකලාදැයි ඉදිරියේදී අනාවරණය වනු ඇති බවයි. ඒ පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු කියා සිටියා. එම මාධ්‍ය හමුවේදී ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා කියා සිටියේ තවම එම පරීක්ෂණ අවසන් නැති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිලංග සුමතිපාලට පරීක්ෂණ අවසන් වූ විට චෝදනා පත්‍රයක් ගොනුකරනවා. මෙතෙක් එවැන්නක් සිදුකළ බව තමන්ට දැනුම්දී නැති බවත් ඔහු කියා සිටියා. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාක් මෙන් සිදුවීම් වූ අපූරු මාධ්‍ය හමුවක් බවට එය පත්වුණා.

    එම වීඩියෝව


    මේ අතර දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කළා.

    1.) දිමුත් කරුණාරත්න - නායක Dimuth Karunaratne – Captain
    2.) අවිශ්ක ප්‍රනාන්දු  Avishka Fernando
    3.) කුසල් ජනිත් පෙරේරා  Kusal Janith Perera
    4.) ශෙහාන් ජයසූරිය  Shehan Jayasuriya
    5.) නිරෝෂන් දික්වැල්ල   Niroshan Dickwella
    6.) කුසල් මෙන්ඩිස්   Kusal Mendis
    7.) ඇන්ජලෝ මැතිව්ස් Angelo Mathews
    8.)  ධනංජය ද සිල්වා  Dhananjaya De Silva
    9.)  තිසර පෙරේරා  Thisara Perera
    10.) දසුන් ශානක Dasun Shanaka
    11.) වනිදු හසරංග  Wanindu Hasaranga
    12.) ලක්ෂාන් සදකැන් Lakshan Sandakan
    13.) ඉසුරු උදාන Isuru Udana
    14.) නුවන් ප්‍රදීප්   Nuwan Pradeep
    15.) ලහිරු කුමාර  Lahiru Kumara

    දෙරට අතර පැවති පළමු පුහුණු තරගයේදී ශතකයක් ලබාගත් නායක ලෙස ඊට ක්‍රීඩා කළ උපුල් තරංගට සංචිතයේ ස්ථානය අහිමි වී තිබීම කැපී පෙනෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්ව ආරම්භක පිතිකරු ස්ථානය පුරප්පාඩුවී තිබියදී වීම වඩා විශේෂයි. මේ අනුව ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට එක්ව ඇත්තේ ශෙහාන් ජයසූරියයි.

    මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන එක්දින තරගයෙන් පසු නම්කරන බව ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

    ක්‍රිකට් ආයතනය මෙලෙස හතර ගාතේ ඇද වැටුණු මාධ්‍ය හමුවේ කැපී පෙනෙන විශේෂත්වයක් දැකගත හැකිවුණා. තිලංග මුදලට තරග පාවාදීමට සම්බන්ධ දැයි විමසුවේ දේශපාලන පුවත් වාර්තා කරන මාධ්‍යවේදීයෙක්. මෙවර තරගාවලියේදී මෙතෙක් කළක් ක්‍රීඩා මාධ්‍යවේදීන්ට පමණක් ලබාදුන් තරගාවලි වාර්තා කිරීමේ නිල හැදුනුම්පත දේශපාලන පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන්ටත් ලබාදී තිබෙනවා. ඒ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් කපා හරිමින්. ඊට හේතු වී ඇත්තේ ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වැටුප් ලබන එහෙත් තිලංග සුමතිපාලගේ දේශපාලන ඒකකයේ සේවය කරන නිලධාරීන් කිහිපදෙනෙක් හේතුවෙන්.

    ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් මෙම කටයුත්ත සිදුව තිබෙනවා. වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය නමට පමණක් ක්‍රියාත්මක වීම එය පහසු කළ බව ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් lankasportsnews වෙත කියා සිටියා. වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරක් ඇති හා එහි විධායක කමිටුව නියෝජනය කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක්ද මෙලෙස කපා දැමුනු වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් අතර බවයි ඔහු වැඩිදුරටත් අපවෙත කියා සිටියේ.


    No comments