Thursday, February 6, 2020

ජනාධිපති ගෝඨාභයට හිටපු ඇමති අර්ජුනගෙන් අභියෝගයක්

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික විගණනය පසුගිය ආණ්ඩු කාලයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ විශේෂ වාර්තාවක් ලෙසයි. එලෙස ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික වාර්තාව විශේෂ වාර්තාවක් ලෙසට වෙනස් වීම පිටුපස හොරුන් දූෂිතයින් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට සැකයක් මතුව තිබෙනවා.

මේ වාර්තාවෙන් ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන හෙළි වන තැන් කිහිපයකුත් තිබෙනවා. කැම්පස් එකක් හදන්න කියලා කළ චෙක් ගනුදෙනු ගැන මේ වාර්තාවේ සදහන්.
හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයට බඳවා ගෙන තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදියට බවත් මේ වාර්තාවෙන් හෙළි වෙනවා. නියමිත ක්‍රමවේදයන් බඳවා ගැනීමට අනුගමනය කරලා නැහැ.
හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්‍ත්‍රී අර්ජුන රණතුංග මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දින හයක සි. සි. ටී. වි දර්ශන අභිරහස් ලෙසට මැකී ඇති බවයි.

''ක්‍රිකට් ආයතනයේ සි. සි. ටී. වී. 32ක් තියෙනවා. පුදුම කියන්නේ දවස් හයක දර්ශන මේ සි. සි. ටී. වි. වලින් මැකිලා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් පවා කර තියෙනවා. 
නමුත් දැන් සභාපතිතුමා කියනවා බටන් එකක් ටච් වීමෙන් දර්ශන මැකිලා, ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න එපා කියලා. ඒක පුදුම හේතු දැක්වීමක්. මේ දවස් හයේ දර්ශන මැකුණේ ඇයි ? ක්‍රිකට් ආයතනයෙන් ෆයිල් උස්සන් යනවා මේ දර්ශනවල තිබුණද ? මොකද මේ දර්ශන මැකිලා තියෙනවා කියන්නේ ජනාධිපතිවරණය පැවැති කාලේදී....''

ක්‍රිකට් තරග පාවාදීම් ගැන තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඇති බවත් එම හඬපට ප්‍රසිද්ධ කරන ලෙසට තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියා.

මෙහිදී ඔහු ක්‍රිකට් ආයතනයට හැකිනම් කඩා පනින ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බවත් කියා සිටියා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශයෙන් විනාශයට පත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේදී බවද ඔහු මෙහිදී අවධාරණය කළා.
''අපේ කාලයේදී සූදුකාරයෝ රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. රාජ්‍ය නායකයෝ හොරු අල්ලන්න කලින් හොරු සූදුකාරයෝ ගිහිල්ලා රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. ඒ නිසා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හොරුන්ගෙන්, සූදුකාරයින්ගෙන්, දූෂිතයින්ගෙන් බේරා ගන්න බැරිවුණා.

විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිධුරයට ගේන්න මූලික වුණු කෙනෙක් මම. නමුත් කොච්චර සාකච්ඡා කළත් කොච්චර කරුණු පෙන්නුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගේන්න බැරි වුණා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශම වුණු කාලය වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයෝ එතුමා තමන්ගේ ළඟට ගත්තා.

ඒ පවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මම අදත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගරු කරනවා. අපි සෑහෙන්න වැඩ කොටසක් කළා. නමුත් ක්‍රීඩාව පැත්තෙන් බැලපුවාම ක්‍රීඩාවට ගොඩාක් ප්‍රශ්න ආවා. චූදිතන්ව ආරක්ෂා කළා. 
ක්‍රිකට් ආයතනය විනාශ කළ සූදු කාරයෝ, බුකිකාරයෝ සිටියේ හිටපු ජනාධිපතිතුමාගේ රැකවරණය යටතේ. මම දන්න විදියට අද ක්‍රිකට් බෝර්ඩ් එකට නඩු හතලිකයට වඩා තියෙනවා. අපේ අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයේදී දහවැනි ස්ථානයට දක්වා පහු බැස්සා. එදා අපිට වඩා පහළින් සිටි බංග්ලාදේශ සහ ඇෆ්ගනීස්ථාන කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා.

පහුගිය කාලේ ජනාධිපතිතුමා පැන්නා එක එක ආයතනවලට. ආර්. එම්. වී. එකට පැන්නා. තව ආයතන කිහිපයකට පැන්නා. නමුත් ජනාධිපතිතුමා ක්‍රිකට් බෝර්ඩ් එක අමතක කරලා. එතැන තමයි විශාලම හොරු ගොඩ ඉන්නේ. මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්...''

මෙලෙස අර්ජුන රණතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ආවේගශීලි කතාවක් සිදුකළා.
කෙසේ වෙතත් අපට කිව හැක්කේ හොරු අල්ලන්න ආපු අයව හොරු එක්ව ඇල්ලූ ලෙස ක්‍රිකට් හොරු ඇල්ලීමටද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එයම වනු ඇති බවයි.





No comments:

Post a Comment