Friday, March 6, 2020

එක් වෙනසක් එක්ක ඇවිත් මාලිංග එකට එක කරයි ?

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් තරගය කෙරෙහි බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙන තීරණාත්මක තරගයක් බවට එය පත්ව තිබීම හේතුවෙන්. මෙම තරගය ලෝක කුසලාන තරගාවලියට ලසිත් මාලිංගගේ නායකත්වයට තහවුරු කරන තරගයක් ලෙසත් ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා. මෙම තරගය අද දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතයි.


2018 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයට යටතේ පන්දුවාර විස්සයි විස්ස තරග 13 කට ක්‍රීඩාකර ජයගෙන ඇත්තේ එකක් පමණයි. කොදෙව්වන් සමග ක්‍රීඩා කර ඇති අවසන් පන්දුවාර විස්සයි විස්ස තරග තුනම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වී තිබෙනවා. මෙම තරගාවලියේ එක්දින තරගාවලියේ පූර්ණ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එහෙත් පසුගියදා පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව ලකුණු 25 කින් පරාජය වුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයට එක් වෙනස්කමක් සමග පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලසිත් මාලිංගගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඊයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී පන්දුයවන අංශය ශක්තිමත් කිරීමට අවධානය යොමුව තිබෙනවා. මේ අනුව කණ්ඩායමට මැදපෙළ අවශ්‍ය විටක ශක්තිමත් කළ හැකි තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්කිරීමට සාකච්ජා වී ඇතැයි සදහන්. මේ අනුව කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට නියමිතව ඇත්තේ පළමු තරගයේදී මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවීගිය ශෙහාන් ජයසූරියටයි. එහෙත් ක්‍රීඩකයන්ට විශ්වාසය ගොඩනැංවීමට කිසිදු වෙනසකින් තොරව ක්‍රීඩා කළ යුතු බවයි ඇතමුන්ගේ මතය වී ඇත්තේ. එමෙන්ම කඩුලු රකින්නා ලෙස හා මැදපෙල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැදවීමට තේරීම් කමිටුව යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත් තරගයට පෙර යලි තණතීරුව පරීක්ෂා කර සංයුතිය තීරණය කිරීමට අවසානයේ සියල්ලන් එකග වී තිබෙනවා.


දෙපිලටම තීරණාත්මක මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගැනීමට වැඩි ඉඩක් නිර්මාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හදවතින්ම සුභපතමු !

No comments:

Post a Comment