හයේ පහර සංදර්ශනයකින් පල්ලෙකැළේ ක්රීඩාංගණය පිරී ඉතිරී ගිය ක්රිකට් ලෝලීන් අමන්දානන්දයට පත්කළ කොදෙව්වෝ ශ්රී ලංකාවට එරෙහිව (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයත් කඩුලු 7 කින් ජය ගත්තා. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත් කොදෙව්වෝ එක දිගට පැවැති විස්සයි-20 තරග 8 කදී හත්වැනි පරාජයත් ශ්රී ලංකා පිලට උරුම කර දුන්නා.
මෙම තරගයේදී ශ්රී ලංකා පිලට බලාපොරොත්තුවක් පැවැතියේ නම් ඒ ෂෙහාන් ජයසූරිය ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි සිට අති විශිෂ්ට උඩපන්දුවක් රැකගත් මොහොතේදී පමණයි. දසුන් ශානකගේ කෙටි පන්දුවකට විදුලි වේගයෙන් පුල් පහරක් ගැසූ රෝමන් පවෙල් පන්දුව නරඹන්නන් අතරට යන තෙක් බලා සිටියද ඒ වෙත දිවගිය ෂෙහාන් ජයසූරිය ඇදහිය නොහැකි ලීලාවෙන් උඩපන්දුව රැකගත්තා. තමන් හතරේ සීමාව වෙත ඇද වැටෙන්නට යන බව දුටු ජයසූරිය වහාම පන්දුව ගුවනට වීසිකර, ඒ ඇසිල්ලෙන් හතරේ සීමාවෙන් ඇතුළට ඇවිදින් උඩපන්දුව සම්පූර්ණ කළා. මෙම තරගාවලිය පුරාම කණ්ඩායමේ සිය ස්ථානය වෙනුවෙන් ඔහු ඉටුකළ ඉහලම යුතුකම මෙලෙස කළ බවයි දැක්විය හැකි වන්නේ.
අනතුරුව පිටියට පිවිසි ඔන්ඩ්රි රසල් මුහුණ දුන් පන්දු 4 ක් පමණක් නිදැල්ලේ යවමින් පන්දු 10 කින් ලකුණු 40 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරමින්. තරගය අවසන් කිරීමට රසල් ගැසූ පහරින් ඉගිළුණු පන්දුව මිඩ් විකට් කලාපයට ඉහළින් ඇදී ගොස් නරඹන්නන් අතර සැඟව ගියා.
ඉතාම පහසු ඉලක්කයක් වූ ලකුණු 155 හඹා යාම සෙල්ලමකට ගත් කොදෙව්වෝ පන්දු 18 ක් ඉතිරිව තිබියදී සිය අරමුණ ඉටුකර ගත්තා. ඒ වෙනුවෙන් මුහුණ දුන් පන්දු 102 න් 8 ක් හයේ පහර වූ අතර තවත් 11 ක් හතරේ පහර ලෙසින් සටහන් වුණා.
ඉතාම පැහැදිළිව දැකගත හැකිවූයේ ශ්රී ලංකා පිතිකරුවන්ට විශාල පහර කරා යාමට තිබූ නොහැකියාවයි. ශ්රී ලංකා ඉනිමේ පන්දු 120 න් පන්දු 45 කට ලකුණු ලබාගත නොහැකි වූ අතර ඉතිරි පන්දු 75 ටම ඇතුළත් වූයේ හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් පමණයි.
බොහෝ අවස්ථාවලදී පිත්තටම ලැබුණු පන්දු වලටද වැරෙන් පහරක් ගසාගැනීමට පිතිකරුවන්ට නොහැකි වූ අතර කුසල් මෙන්ඩිස් දැවී ගියේ පිත්තටම ලැබුණු පන්දුවකට ගැසූ පහරකින් ගිය උඩපන්දුවකින්.
පළමු තරගයේදී කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා වූ ඔෂේන් තෝමස් අදත් සිය පළමු ඕවරයේදීම අවිශ්ක ප්රනාන්දු දවාගනිමින් ශ්රී ලංකා පිලට පළමු මරු පහර එල්ල කළා. එහෙත් කුසල් ජනිත් පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය දෙදෙනා එක්ව පන්දු 24 කදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් එකතු කළ නමුත් පළමු ඕවර 6 නිමාවේදී අපේක්ෂා කළ ඉලක්කයට ළඟාවීමට ශ්රී ලංකා පිලට හැකිවූයේ නෑ.
ඕවර 15 නිමා වන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 104 ක් පමණි. ලකුණු 150 ක් කරා යාමත් අභියෝගයක්ව පැවැති අවස්ථාවක එක්වූ දසුන් ශානක සහ තිසර පෙරේරා අවසන් පන්දුවාර තුනේදී ලකුණු 39 ක් එකතු කරමින් ශ්රී ලංකා පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියා.
වර්තමානයේදී විස්සයි-20 තරගයක් ජයගැනීමට ලකුණු 155 ක් කිසිසේත්ම ප්රමාණවත් නෑ. ඇරත් කොදෙව් පිල වැනි පාංශූ දේහධාරී, ප්රචණ්ඩකාරී, හිත් පිත් නැති පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමක් හමුවේ විස්සයි-20 විශේෂඥයා වූ මාලිංගගේ පන්දු 4 ක්ම නරඹන්නන් අතර පතිත වීම කැපී පෙනුණා.
ඉන්දීය පිල හමුවේ පැවැති එක තරගයක් වර්ෂාවට සේදී ගිය අතර පිට පිටම විස්සයි-20 තරගාවලි තුනක් ඕස්ටේ්රලියාව (0-3), ඉන්දියාව (0-2) සහ කොදෙව් පිල හමුවේ (0-2) මේ වන විට ශ්රී ලංකා පිල පරාජය වී තිබෙනවා.
දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයේදී පන්දුයවන්නන් කැදවීම ඉතා කණගාටුදායක මට්ටමක පැවතියා. මාලිංගට ද එහිදී කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වීමට හැකිවූයේ නෑ. ඒ පන්දු යවන්නන් කැදවීමේ තිබූ දුර්වලතාව හේතුවෙන්. තුන් ඉරියව් ක්රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක්ව සිටින ධනුෂ්ක ගුණතිලක එකදු පන්දුවාරයක් හෝ යැවීමට කැදවූයේ නෑ. ඒ සිය නායකත්වයට අභියෝග කළ හැකි ක්රීඩකයා ඔහු වීම හේතුවෙන්.
මෙම තරගාවලියට පුරාම පිතිකරුවන් අසාර්ථක වීම හා පන්දු යවන්නන් නිසි පරිදි යොදා නොගැනීම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පරාජයන්ට සෘජුව වගකිවයුතු වනවා. ඒ මාලිංග නායකත්වය බේරා ගැනීමේ සටනක නිරත්වීම හේතුවෙන්. එමෙන්ම තරගයට ක්රීඩා කරන අවසන් කණ්ඩායම තේරීමේදී හා සැලසුම් සකස්කිරීමේදී මෙන්ම ඒවා ක්රියාත්මක කිරීමේදීද මාලිංග අසාර්ථක බව තහවුරු කළ තරගාවලියක් ලෙස දැක්විය හැකියි.
දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයට ක්රීඩා කළ ඉසුරු උදාන වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට එක්ව සිටියා.
මෙම තරගාවලිය පුරාම ලසිත් මාලිංග නායකයකු ලෙස අසාර්ථක බව යලි යලිත් තහවුරු කරනු ලැබුවා. එළැඹෙන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමේ නායකත්වය තහවුරු කර ගැනීම සදහා මාලිංග අසාර්ථක සටනක නිරත වූ ආකාරය දක්නට ලැබුණා. ඒ සිය නායකත්වයට අභියෝග කළ හැකි ධනුෂ්ක ගුණතිලකට දක්ෂතා දැක්වීමට අවස්තාව ලබානොදෙමින්.
දෙවන තරගයේදීද දසුන්ට ලබාදුන්නේ එක් පන්දුවාරයක් පමණයි. එහිදී එක් කඩුල්ලක් දවාගැනීමට ඔහු සමත්වුණා. එමෙන්ම පිත්තෙන්ද කැපී පෙනෙන සේවයක් ඉටු කිරීමට ඔහුට හැකිවුණා. ඒ නොදැවී වේගවත් ලකුණු 31 ක් ලබාගනිමින්.
පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායම් නායකත්වය දසුන්ට ලබාදිය නොහැක්කේ කණ්ඩායමේ ක්රීඩා කළ හැක්කේ ඔහුට හෝ තිසර පෙරේරාට පමණක් වීම හේතුවෙන් බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියා. එහෙත් මෙම තරගය ඔහුගේ එම තර්කය බිද වැටෙන ප්රධාන සාධකයක් වනවා. ඒ ඔවුන් දෙදෙනාම ක්රීඩා කර දක්ෂතා දැක්වීම හේතුවෙන්. මේ අනුව පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදිය යුතු බව තහවුරු කළ තරගාවලියක් ලෙසත් මෙම තරගාවලිය හදුන්වාදිය හැකියි.

No comments:
Post a Comment