• Breaking News

    පරීක්ෂණ අවසන් නෑ - වර්ණවීරට බෑ - ICC

    මුදලට තරග පාවාදීම් පරීක්ෂණ සදහා සහය නොදීමේ වරදට වසර තුනක් ක්‍රිකට් පරිපාලන තහනමට ලක්ව සිටින ජයනන්ද වර්ණවීරගේ පරීක්ෂණ තවම අවසන් නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්දුන්නා. ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිළවරණයට ඉදිරිපත් වීමට තමන් බලාපොරොත්තු වන බව වර්ණවීර පසුගියදා ජාතික පුවත්පතකට පවසා තිබුණා. ඒ ලේකම් තනතුර සදහායි. මේ වන විට දඩුවම් වසර තුන ගතව අවසන් වීම හේතුවෙන් තමන් යලි පරිපාලනයට එක්වන බවයි එහිදී ඔහු කියා සිටියේ.

    වර්ණවීර මුට්ටිය දැම්මේ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ උවමනාවට බව අප අනාවරණය කළා. එතනින් නතර නොවී අප මේ පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසීමටද පියවර ගත්තා. ඊට පිලිතුරු දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය lankasportsnews වෙත කියා සිටියේ ජයනන්ද වර්ණවීරට කිසිදු තනතුරක් සදහා ඉදිරිපත් විය නොහැකි බවයි. ඒ ඔහුට එරෙහිව ආරම්භ කළ පරීක්ෂණ මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් බවත් වැඩිදුරටත් කියා සිටියා. ඔහු ඉදිරිපත් වී ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එරහිව තමන් පියවර ගන්නා බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කළා.

    ශ්‍රී ලංකාව සම්භන්දයෙන් සිදුකරන මුදලට තරග පාවාදීම් පරීක්ෂණ කිසිවක් අවසන් නැතැයි වැඩිදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළා. මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා පරිපාලකයන් දඩුවම් කාලය අවසන් වීම යනු නිදහස් වීම නොවන බවත් එහිදී ඔවුන් කියා සිටියා. එලෙස කිසියම් දඩුවම් ලැබූවකු නිදහස් වන්නට නම් තමන් නිල නිවේදනයක් හරහා එය දැනුම් දෙන බවයි කියා සිටියේ. එසේ නොමැති අවස්ථාවක දඩුවම් ලැබූවෙක්ට යලිත් පරිපාලනයට පැමිණීමට ඉඩ ලබාදීමට එම රටේ ක්‍රිකට් ආයතනය වගකිවයුතු බවයි පෙන්වා දුන්නේ. එවන් අවස්ථාවක් ඇතිවුවහොත් එම රටේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය අත්හිටුවීමට හේතු වන බවත් මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දුන්නා.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එලෙස දැනුම්දෙන විට අප ජාතික ක්‍රීඩා නීතියද සොයා බැලුවා. මෙරට නීතියේද එවැන්නෙක් යලිත් පරිපාලනය සදහා පිවිසිය යුතු ආකාරය පැහැදිලිව දක්වා තිබෙනවා. මේ අනුව ජයනන්ද වර්ණවීරට හා ඔහුගේ පානෙන් එලිය බැලීමට සිටි කිසිවෙක්ට යලි පරිපාලනයට පැමිණීමට නොහැකි වනවා.


    පෙර ලිපිය

    ජයසූරියගේ කොන්ත්‍රාත්තුවට ගාල්ලේ වර්ණවීර දාපු මුට්ටිය


    No comments