Saturday, May 16, 2020

ක්‍රිකට් ආයතනයේ `දෙක නෑ´ `ලංකට් ප්‍රිමියර් ලීග්´ (LPL) ඇරඹේ ?

වක්කඩේ හකුරු හැංගීමට දක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට අයදුම්පත්‍ර කැදවා තිබෙනවා. ලෝකයම ගෙට වී ඇති සමයක නව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කිරීම `නොකෙරෙන දීඝයට හෙවනැල්ලත් ඇදයි´ කියමන සිහියට නංවනවා. රටම නොව ලෝකයම ඇස්බැන්දුම් කරමින් ඇන්දීමට හදන ක්‍රිකට් ආයතන නිරුවත හෙලිකිරීමට අප තීරණය කළා.

2012 වසරේදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නමින් පළමු තරගාවලිය පැවැත්වුණා. SLPL ලෙස නම්කර තිබූ එම තරගාවලියට කණ්ඩායම් 7 ක් ක්‍රීඩා කරනු ලැබුවා. ඉංදීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPL තරගාවලිය කොපි කරමින් පැවැත්වූ මෙම තරගාවලියෙන් කිසිදු ප්‍රගතියක් හෝ ලාභයක් හිමිවූයේ නැහැ. එහෙත් ක්‍රිකට් තරග පාවාදෙන බුකීකරුවන්ගේ තෝතැන්නක් වූ එය මෙරට දූෂිතම ක්‍රිකට් රට ලෙස කීර්තිය දිනාදීමට හේතු වූ බව බොහෝ දෙනාගේ අදහසයි. කෙසේ වෙතත් එම තරගාවලිය උපන් ගෙයිම මිය ගියා. ඉතිරි වූයේ මුදලට තරග පාවාදෙන්නන්ගේ සබදතා පමණයි.

අනතුරුව ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් පවත්වන බව කියමින් 2018 වසරේදී හිටපු සභාපති තිලංග සුමතිපාල අති විශාල මුදල් කාබාසිනියා කිරීමක් සිදුකළා. එම තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ් නම් කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔහුට මාස තුනක් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දුන්නා. එහෙත් කිසිවක් සිදුවූයේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ්ට මුදල් දීම වෙනුවෙන් එවර තරගාවලිය හා තනතුර නිර්මාණය වූ බවට සැකයක් පැවතියා. මුදලට තරග පාවාදීම් වෙනුවෙන් විචාරක සබදතා ගොඩනැංවීම එහි අරමුණ වූ බවට චෝදනාවක්ද එල්ල වුණා. එම රුපියල් ලක්ෂ 30 රසල් ආනල්ඩ්ට පිරිනැමීමෙන් එය අවසන් වුණා.

මෙවර අඩබෙර ගසමින් යලි මෙම සුදු අලියෙක් වී ඇති ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන බව දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ලංකාව නොව ලෝකයම ගෙට වී ඇති කාලයක වීම විමතියක්. මෙවර බංකොලොත් වී ඇති ක්‍රිකට් ආයතනය මුදල් ඉපැයීමේ මරසියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එමෙන්ම මෙහි ඇති අනෙක් අරමුණ වන්නේ තිලංග සුමතිපාල නොව ජගතා ශම්මි සිල්වා බව පෙන්වීම බවයි ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් කියා සිටියේ. ව්‍යාපෘතිය ලෙස මෙම තරගාවලිය පෙන්වා මුදල් යටි මඩි ගැසීම හා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ක්‍රීඩා සමාජ සදහා මුදල් පොම්ප කිරීම බලාපොරොත්තුව වී ඇතැයි වාර්තා වනවා. දැන්වීමේ පළව ඇති කරුණු යලිත් පැවසීමට අප කටයුතු කරන්නේ නැහැ.

එමෙන්ම තරගාවලියේ අනුග්‍රහයන් හා රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීම වෙනුවෙන් මිලගණන් කැදවා ජාතික පුවත්පත් හා එම ආයතන වෙබ් අඩවියේ දැන්වීම පළකර තිබෙනවා. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරග විකාශන අයිතිය අලෙවි කිරීමට මෙතෙක් නොහැකි වී ඇති කාලයක මෙලෙස දේශීය තරගාවලියක් වෙනුවෙන් මිල ගණන් කැදවීම පුදුම සහගතයි. එමෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රහක ලෙස කටයුතු කරන ඩයලොග් ආයතනය එයත් ප්‍රතික්ෂේප කර ඇති කාලයක අනුග්‍රහයන් සෙවීම හාස්‍යජනකයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි අවලංගු කර ඇති කාලයක එක් කණ්ඩායමකට විදෙස් ජාත්‍යන්තර ක්‍රීඩකයන් 6 දෙනෙකු සොයා ගැනීමට කතා කිරීම අරුමයකි.

මෙවන් තත්වයක් තුල කණ්ඩායම් මිලට ගැනීම සදහා අනුග්‍රහයන් ඉදිරිපත් වන්නේ නම් එය සොයා බැලිය යුතුම වනවා. කළු සල්ලි සුදු කිරීමෙන් එහා ගිය මුදලට තරග පාවාදීම් ඒ පසුපස තිබිය යුතුමයි. මේ අනුව ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ආයතන නිරුවත වසා ගැනීමට නිර්මාණය කළ ලංකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය බවට පත්ව අවසන්. කිසිවකුටත් ලංවිය නොහැකි බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තිලංග සුමතිපාල රජුන් තැනීමේ බලය ඇල්ලීම ශම්මි සිල්වාගේ අරමුණ වී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු මේ වන විටත් වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් පිරිසක් මුදලට ගෙන අවසන්. එමෙන්ම තිලංග සුමතිපාලගේ බලකනු දිය කිරීම සදහාත් සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක වනවා. එම සියලු තොරතුරු කොටස් ලෙස lankasportsnews වෙතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. මේක මෙගා නාට්‍යකි. එක හීනෙන් එලිවෙන්නේ නැත.





No comments:

Post a Comment