Sunday, June 21, 2020

2011 ක්‍රිකට් පාවාදීම ගැන කී මහින්දානන්ද හා ජයසුන්දර හිරේ යයි ? Exclusive

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවාදුන් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සිදුකළා. එය සනාථ කරමින් තමන් සතුවද එම පාවාදීමට අදාල තොරතුරු ඇති බව එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තරග විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දර පැවසුවා. වසර 9 කට පසුව සිදුවූ මෙම අනාවරණයට එරහිව එම තරගයට නායකත්වය ලබාදුන් කුමාර් සංගක්කාර හා උප නායක මහේල ජයවර්ධන ප්‍රකාශ නිකුත් කළා. එම තරගයේ තීරණාත්මක ක්‍රීඩකයෙක් වූ ලසිත් මාලිංග හා තේරීම් කමිටු සභාපති ලෙස සිටි අරවින්ද ද සිල්වාත් මෙම ප්‍රකාශයට සිය විරෝධය පළ කළා. එම තරගාවලිය නියෝජනය කළ රංගන හේරත් ද මේ වන විට එම පාවාදීමක් පිලිබද නොදන්නා බව පවසා අවසන්. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිලිබද ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම පරීක්ෂණයක් පැවැත්වීමට අදාල අංශ සදහා උපදෙස් ලබාදී තිබෙනවා. එවන් පරීක්ෂණයක ප්‍රතිඵල පිලිබද විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත මේ වන විට මෙරට නීතියක් වී ඇත්තේ තරග පාවාදීම් වැලැක්වීම සදහා නීති සැකසූ ආසියාවේ ප්‍රමුඛ රට වෙමින්. මෙම පනත සහතික කළේ 2019 නොවැම්බර් මස 18 වැනිදායි. එය 2019 නොවැම්බර් 22 ගැසට් පත්‍රයේ පළවුණා. මේ අනුව ක්‍රීඩාවල නීති විරෝධී ඔට්ටු ඇල්ලීම හා ක්‍රීඩාවල නීති විරෝධී මෙහෙයවීමත් වරදක් වනවා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ මෙම පාවාදීම ක්‍රීඩකයන් නොකළ බවයි. මේ අනුව එවකට තේරීම් කමිටුව එය සිදුකළ බවද ඔහු කියන්නේ යන ප්‍රශ්නය මතුවනවා. ඒ අවසන් පූර්ව තරගයේ ඇන්ජලෝ මැතිව්ස් ආභාධයට ලක්වීම හේතුවෙන් අවසන් තරගයට වෙනස්කම් 4 ක් සිදුවීමයි. එම වෙනස්කම් සදහා තමන්ගෙන් අනුමැතිය නොගත් බවයි ඇමතිවරයා පවසන්නේ. මේ අනුව ඔහු ඇගිල්ල දිගු කරන්නේ තේරීම් කමිටුවට බව පැහැදිලියි. මේ අනුව පනතේ ආකාරයට නීති විරෝධී මෙහෙයවීම සිදුව තිබෙනවා.


කෙසේ වෙතත් මෙම පනතට අනුව මෙම ප්‍රකාශය කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට හා තරග විශ්ලේෂක සනත් බණ්ඩාර ජයසුන්දරට රුපියල් ලක්ෂ 2 කට නොවැඩි දඩයක් හෝ අවුරුදු 3 කට නොවැඩි සිරදඬුවම් හෝ මේ දෙකම පැනවීමේ හැකියාව තිබෙනවා. ඒ මෙම ක්‍රීඩාවලට සම්බන්ධ  වැරදි වැලැක්වීමේ පනතේ දෙවන පරිච්ඡේදයට අනුවයි. එහි පැහැදිලිවම දැක්වෙන්නේ මෙලෙස තොරතුරු හෙළිදරව් කිරීම පැහැරහැරීම වරදක් බවයි. මේ අනුව මෙම ප්‍රකාශය පිලිබද පරීක්ෂණ සිදුකර වැරදිකරුවන් හසුවුවහොත් ඊට මෙතෙක් කළක් තොරතුරු ලබානොදුන් ඔවුන් දෙදෙනාද වැරදිකරුවන් වනවා. එවිට ඔවුන්ට කීමට ඇත්තේ එදා මෙවන් නීතියක් නොවීම හේතුවෙන් තොරතුරු ලබාදීමට තැනක් නොතිබූ බවයි. දැන් එවන් තැනක් තිබීම හේතුවෙන් තොරතුරු ලබාදුන් බව පවසා නිදහස් වීමට හැකියාව තිබෙනවා.

මේ අතර ඔවුන් දෙදෙනාටත් අදාල වන තවත් නීතියක ඔවුන් හිරවනවා. ඒ ඔවුන් දෙදෙනා සිදුකළ ප්‍රකාශයන් ඔප්පු කළ යුතුම වීමයි. එසේ නොවුන හොත් යලිත් ඔවුන් දෙදෙනාට උක්ත දඩුවම් ලබාදිය හැකිවීමයි. පනතේ දෙවන පරිච්ඡේදයේ වෙනත් වැරදි යටතේ 10 වන වගන්තියේ සදහන් වන්නේ විමර්ශන සම්බන්ධයෙන් සහයෝගය දැක්වීම පැහැර හැරීම වරදක් බවයි. ඉන් ගැලවීමට ඔවුන්ට නොහැකියි. ඒ දෙදෙනාම තමන් වගකීමෙන් ප්‍රකාශකරන බව හා සාක්ෂි ඇති බව ප්‍රකාශ කර තිබීම හේතුවෙන්. මේ අනුව මෙය පාරා වලල්ලක් වී ඔවුන් දෙදෙනාටම එන බූමරංගයක් ඇති ආකාරයක් තිබෙනවා.

අපි අතීතයට බලපාන ලෙස නීති සකස් කරන්නේ නම් එය වෙනම කළ යුතුයි. මේ පනත අතීතයට බලපාන ලෙස නෙමෙයි සකස් කරල තියෙන්නේ. ඉතින් අතීතයට බලපාන ලෙස දඩුවම් ලබාදෙන්න බෑ. ඒත් විමර්ශනයක් කරල නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. අල්ලන්න පුලුවන්. හැබැයි හපන්න බෑ. ඒ මෙරට ක්‍රීඩාවට විශාල මෙහෙයක් කළ නීතිඥවරයෙක් lankasportsnews.com වෙත ලබාදුන් ප්‍රකාශයක්. මෙම ලිපිය සකස්කිරීම වෙනුවෙන් ඔහු ලබාදුන් සහය අගය කළ යුතුයි. කෙසේ වෙතත් පවතින නීති අනුව වැරදිකරුවන්ට හෝ එම තොරතුරු ලබානොදුන් පිරිස දඩුවමකට යටත් වන්නේ නෑ. ඔවුන් හහෙළිදරව් කිරීම හා ක්‍රීඩා තහනම් ඉදිරිපත් කිරීම සිදුකළ  හැකියි. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද කිසිවක් සිදුකළ හැකිවන්නේ නෑ. ඒ ඔවුන් ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස නම්කර ඇතත් කිසිදු සිදුවීමක් ඔප්පුකර නැතිවීම හේතුවෙන්. ඒ වෙනුවට සිදුකර ඇත්තේ තොරතුරු ලබානොදීම හේතුවෙන් තහනම් පැනවීම පමණයි.

මෙම පනත සකස්කිරීමේ කමිටු ලේකම් ලෙස නීතිඥ පන්ඩුක කීර්තිනන්ද කටයුතු කළ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්වන තුරු පසුපස සිටි ප්‍රධාන පුද්ගලයාද වනවා. ඉතින් මෙවන් නීතියක් රටට දායාද කිරීම වෙනුවෙන් ඒ සදහා උපදෙස් ලබාදුන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට හා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කළ හරීන් ප්‍රනාන්දුටත් අප ස්තූති කළ යුතුයි.

සබැඳි පෙර ලිපි 













No comments:

Post a Comment