2011 ක්‍රිකට් පාවාදීමේ තොප්පිය තිලංගට වැටේ ? ICC විමර්ශන ඇරඹේ - Exclusive
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා අනාවරණය කළා. එය ක්‍රිකට් පිටියට හෙලූ පරමාණු බෝම්බයක් බවට මේ වන විට පත්ව අවසන්. ඒ මෙම සිදුවීම පිලිබද එම තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් , පරිපාලකයන් මෙන්ම දේශපාලන ප්‍රභලයන් අදහස් දැක්වීම සමගයි. ලංකාවේ උණුසුම මේ වන විට එම තරගයේ ජයග්‍රහණය කළ ඉන්දියාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වා ගොස් අවසන්. අඩන්න සිටි මිනිසාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නාක් වැනි ක්‍රියාවක් බවට එය පත්ව ඇති ආකාරයක් දක්නට පුලුවන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ශ්‍රී ලංකාව නම් කළේ ඔවුන් ආරම්භ කළ පරීක්ෂණ හේතුවෙන්. එහෙත් ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයෙක්ම ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව මුදලට හා වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ක්‍රිකට් තරග පාවාදෙන රටක් ලෙස පිලිගැනීම කැපී පෙනෙනවා. මේ අතර ඉදිරියේදී මේ පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පරීක්ෂණයක් ආරම්භ කිරීමටත් තීරණය කර තිබෙනවා.
2011 ක්‍රිකට් ලෝක කුසලානය වන විට ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂයි. මෙම අනාවරණය කළ මහින්දානන්ද අලුත්ගමගේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වුණා. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති පුටුවේ සිටියේ එම ආන්ඩුවම පත්කළ අතුරු කමිටු සභාපති ඩී.එස් ද සිල්වායි. මෙම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ලබාදුන් ශ්‍රී ලංකාවේ තරගාවලි අධ්යක්ෂ ලෙස සුරාජ් දන්දෙනිය කටයුතු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වූයේ අරවින්ද ද සිල්වායි. නායකත්වය කුමාර් සංගක්කාර ලබාදුන් අතර උප නායක වූයේ මහේල ජයවර්ධනයි. එම තරගයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ලසිත් මාලිංග සමත්වූ අතර අවසන් තරගයේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් සිව්දෙනා අතර රංගන හේරත් සිටියා.
ඉන්දියාව ජයග්‍රහණය කළ මෙම තරගයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද පවසන පාවාදීමක් සිදු නොවූ බව සංගක්කාර , මහේල , මාලිංග හා රංගන මෙන්ම අරවින්ද පවසා තිබෙනවා. එම ප්‍රකාශ නිකුත් වීමත් සමග හිටපු සභාපති තිලංග සුමතිපාලද අදහස් පළකළා.
තිලංග පවසන්නේ එවැන්නක් සිදු නොවූයේ නම් තොප්පිය දමන් කළබල විය යුතු නැති බවයි. ජාත්‍යන්තර පිලිගැනීමට අනුව ඔහු පවසන දේ සත්‍යකි. ඇත්තක් නැත්නම් කළබල වීමට හේතුවක් නැත. මේ අනුව මෙම ප්‍රකාශය සමග මහේල ජයවර්ධන යලිත් ඔහුට එරහිවත් අදහස් පළකර තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ පාවාදීම් පිලිබද චෝදනා එල්ලවීමේදී හැසිරීම සදහා තිලංග සුමතිපාලගෙන් ඉදිරියේදී උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බවයි. මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රශ්න රැසක් තිලංග වෙත යොමුවීමට හේතු වී තිබෙනවා. තිලංග සුමතිපාල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බ්ලැක්ලිස්ට් වී සිටින පුද්ගලයෙක් වන අතර ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට පැමිණීමට නොහැකි ලෙස නීති පනවා ඉවත්කළ පුද්ගලයෙක් වනවා.
තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතන සභාපති ලෙස කටයුතු කළ සමයේ තේරීම් කමිටුවට බලපෑම් කර ක්‍රීඩකයන් මාරු කිරීම සිදුකළ බව ප්‍රසිද්ධ රහසක්. එක වසරක් තුල කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ගණන පනහත් ඉක්මවූයේ මේ හේතුවෙනුයි. ඒ මුදලට තරග පාවාදීම් සිදුවන බුකී ව්‍යාපාරයට අවශ්‍ය ලෙසයි. එය නතර වූයේ ක්‍රීඩකයන් හා පරිපාලකයන් රැසකට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වීමෙන් පසුවයි. එහි උච්චතම තත්වයට පත්වෙමින් එතෙක් ලොව දූෂිතම ක්‍රිකට් රට වූ සිම්බාබ්වේ සතු කිරුළ දිනා ගැනීමට තිලංග සුමතිපාලගේ ක්‍රිකට් පරිපාලනය සමත් වුණා. එහෙත් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනාවකට හෝ දඩුවම් ලබාදීමක් පිලිබද ඔහු කිසිදු විටක කථා කළේ නෑ. ඔහු එසේ නොකිරීමට කටයුතු කළේ ඒවා සියල්ල නිහඩව පිලිගනිමින්. ඒ ඊට විරුද්ධව කතා කිරීමට කිසිවක් නොවීම හා එසේ කතා කිරීම මෙන්ම ප්‍රතික්ෂේප කිරීම වරද පිලිගැනීමක් ලෙස ජාත්‍යන්තර සම්මතයක් වීම හේතුවෙන්. මෙනිසා අත පිහදා ගැනීම තිලංග සුමතිපාලට පහසු වී තිබුණා.
මුදලට තරග පාවාදීම් සදහා තිලංග සුමතිපාල තේරීම් කමිටු සමග එක්ව බුකීකරුවන්ට අවශ්‍ය ලෙස පියවර ගෙන ඇති ආකාරය පෙන්වීමට අපට එක් තරගාවලියකින්ම හැකියාව තිබෙනවා. ඒ 2017 ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයයි. මෙම තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිදු හේතුවක් නොමැතිව මාරු කෙරුණු අතර ඒ සියල්ල බුකී අවශ්‍යතා මත සිදුවූ බව පෙනී ගියා. ඒ වන විට ක්‍රිකට් ආයතන සභාපති වූයේ තිලංග සුමතිපාල වන අතර තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළේ මේ වන විට මුදලට තරග පාවාදීම් යටතේ තහනමට ලක්ව සිටින සනත් ජයසූරියයි. මෙම සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග තුනක් තිබූ අතර එම තරග තුනට නායකත්වය ලබාදෙන්නේ ක්‍රීඩකයන් දෙදෙනෙක්. 2017 ජූලි 26 / 29 දක්වා ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ නායකත්වය රංගන හේරත් දැරුවා. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවැත්වුනේ 2017 අගෝස්තු 03 /06 දක්වායි. එම තරගයට රංගන හේරත් ක්‍රීඩා කළත් නායකත්වය ලබාදුන්නේ දිනේෂ් චන්දිමාල්. 2017 අගෝස්තු 12 /14 පල්ලෙකැලේදී දෙරට අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණා. ඊටත් නායකත්වය ලබාදුන්නේ දිනේෂ් චන්දිමාල්.
එම සංචාරයේ එක්දින තරගාවලිය තරග 05 කින් යුක්ත වුණා. එහි දඹුල්ලේ පැවති පළමු තරගයට නායකත්වය උපුල් තරංග ලබාදුන්නා. පල්ලෙකැලේ පැවති දෙවන තරගයටත් උපුල් තරංග නායකයා වූවා. එහෙත් පල්ලෙකැලේදීම පැවති තුන්වන තරගය ඔහුට අහිමි වනවා. මේ අනුව නායකත්වය පළමුවරට හිමිවන්නේ චාමර කපුගෙදරටයි. පෙර අත්දැකීම් අනුව මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබුණා. එහෙත් කාසියේ වාසිය දිනා කපුගෙදර පැවසුවේ පළමුව පන්දුවට පහර දෙන බවයි. මෙලෙස ගෙන තිබූ තීරණය වෙනස් කළේ පිටිය මැදදී කණ්ඩායමේ තීරණය අමතකවීම හේතුවෙන් බව පසුව ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත් මෙය මුදලට තරග පාවාදීමක් බවට බොහෝ පැහැදිලිව දැකිය හැකි තීරණයක් වුණා. ඒ වැඩිම පිරිස ඔට්ටු අල්ලා තිබුනේ ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු යවනු ඇති බවටයි. ඒ තරගාවලියේ පෙර තරග අත්දැකීම් හා ක්‍රීඩා පිටියේ පෙර තරගයේ හැසිරීම අනුවයි. කණ්ඩායමත් එම තීරණය ගැනීමට එම පිටියේ හැසිරීම හේතු වුණා. එහෙත් බුකීකරුවන්ට වාසි ගෙන දෙන තීරණය කපුගෙදර ප්‍රකාශ කළා. මේ පිලිබද පරීක්ෂණ සිදුකරන බව පැවසුවත් අද වන තුරු සිදුවූවක් නෑ. දෙරට අතර හතරවන තරගයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිවූ අතර ඔහු ක්‍රීඩා කළ පස්වන හා අවසන් තරගයේ නායකත්වය ලබාදුන්නේ යලිත් උපුල් තරංගටයි. මේ අනුව එක්දින තරග 05 ට නායකයන් තුන් දෙනෙකු ක්‍රීඩා කිරීම කැපී පෙනෙනවා.
ඉන්දීය බුකීකරුවන් අතර ඉහළම වටිනාකම හිමිවන්නේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග සදහා බව නොරහසක්. මේ අනුව ක්‍රීඩකයන් හුවමාරු කිරීමෙන් , නායකයන් මාරු කිරීමෙන් මෙන්ම බුකීකරුවන්ගේ අවශ්‍යතා අනුව තීන්දු ගැනීමෙන් විශාල වාසියක් ඔවුන්ට හිමිවූ තරගාවලියක් ලෙස උක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගාවලිය හදුන්වා දිය හැකියි. ඒ වන විට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අප සතු මෙම කරුණු ලබාදීමට ස්ථානයක් තිබුනේ නෑ. අනෙක ඒ වන විට ආන්ඩුවේ නියෝජ්‍ය කතානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ලෙස තිලංග සුමතිපාල කටයුතු කිරීම තුල එවැනි පැමිණිල්ලක් ක්‍රිකට් ආයතනයට සිදුකර කිසිදු පළක් නෑ. ඒ නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ වීම හේතුවෙන් හොරාගේ අම්මගෙන් පේන අසා නිකන් කලු ගලේ ඔලුව ගසන් වැඩක් නැතැයි විශ්වාස කිරීම හේතුවෙන්. ඉතින් අප සාක්ෂි සහිතව එවැන්නක් හසුකර ගැනීමට කළක සිට මාන බලමින් සිටි බව පමණක් ඔබට කිව හැකියි. ඒ වෙනුවෙන් අප ගත් ක්‍රියාමාර්ග රැසක්ද පවතිනවා. එවන් අප සිදුකළ තවත් තරගාවලියක ගවේෂණාත්මක මුදලට තරග පාවාදීම් තොරතුරු ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.
මුදලට තරග පාවාදීම් පිලිබද හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට හා තිලංග සුමතිපාලට අප ප්‍රශ්න පත්‍රයක් ඉදිරියේදී යොමු කිරීමටත් අප සූදානම්. රැදෙන්න අප සමග.
මේ අතර මෙම සිදුවීම පිලිබද ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පරීක්ෂණ ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමගෙන් lankasportsnews කළ විමසීමකදී කියා සිටියේ මෙතෙක් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම පිලිබද අනාවරණය කළ මහින්දානන්ද අලුත්ගමගේ කිසිදු සාක්ෂියක් ලබා නොදුන් බවයි. එමෙන්ම මුහුණු පොතේ ( Facebook ) ඊට තමන් සතුව සාක්ෂි ඇතැයි සටහන් තැබූ සනත් බණ්ඩාර ජයසුන්දර මෙතෙක් කිසිවක් ලබා දී නැතැයිද ඔහු කියා සිටියා. එහෙත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා lankasportsnews වෙත කියා සිටියේ. එය තවත් මැතිවරණය ප්‍රචාරකයක් නොවී ඇත්ත විමර්ශනයක් සිදුවන්නේ දැයි රටම සමග lankasportsnews විමසිල්ලෙන්.
පෙර ලිපි
No comments