• Breaking News

    සාස්තර මෑණියන්ගේ පුතාට ක්‍රිකට් ලොකු පුටුවක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු ලෙස නව තනතුරක් නිර්මාණය කර පන්තක ප්‍රනාන්දුට ලබා දී තිබෙනවා. ඔහු මීට පෙර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවයක් නැතුව පඩි ගන්නා නිලධාරියෙක් ලෙස අනුරාධපුරයට අනියුක්තවයි. මෙලෙස ඔහුට මෙම තනතුර නිර්මාණය කර ලබාදීමට දිගින් දිගටම පොලොන්නරුව ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දූෂණ අක්‍රමිකතා lankasportsnews හා සිරස Tv පෙන්වාදීම හේතු වී තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උතුරු මැද පළාත් ක්‍රිකට් සංවර්ධන කටයුතු මෙතෙක් කලක් සිදුකළේ කුප්‍රකට කොන්ත්‍රාත් කොමිස් කාක්කා ලෙස හදුන්වන සුජීව ගොඩලියැද්දයි. ක්‍රිකට් ආයතන විධායක කමිටුව නියෝජනය කරන ඔහු විශේෂ ව්‍යාපෘති නිළධාරී වනවා. ඔහුට ඉහලිනුයි මෙම ව්‍යාපෘති කළමනාකරු ලෙස නව තනතුර නිර්මාණය කර ලබාදී ඇත්තේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය සදුදා (2020 / ජුනි / 08 ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විශේෂ රැස්වීමකදී සුජීව ගොඩලියැද්ද සිදුකළ තවත් දූෂණ රැසක් එලියට ඒමයි. අනෙක් කරුණ වී ඇත්තේ පන්තක ප්‍රනාන්දු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙක් වීමයි. එමෙන්ම ඔහුගේ මව සුප්‍රකට සාස්තර කියන මෑණියන් කෙනෙක් වනවා. ඇයගෙන් ලංකාවේ සේවය ලබාගන්නා බොහෝ මැති ඇමතිවරුන් මෙම පත්කිරීම පසුපස ඇතැයි ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයෙක් lankasportsnews වෙත කියා සිටියා. 2016 වසරේදී දඹුල්ලේ සිට දොට්ට නොදා සේවයක් නැතුව ගෙදර සිට පඩි ගැනීමට ඔහුට හැකිව ඇත්තේද මව දේශපාලන බලය සහිත මෑණියන් කෙනෙක් වීමයි.

    2016 වසරට පෙර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ කළමනාකරු ලෙස කටයුතු කලේ පන්තක ප්‍රනාන්දුයි. එහෙත් තිලංග සුමතිපාල සභාපති පුටුවේ සිට සුජීව ගොඩලියැද්ද හුරතල් කර සියලු ඉදිකිරීම් දූෂණ අක්‍රමිකතා ඔහුට භාර දීමත් සමග එය වෙනස් වුණා. ඒ දඹුලු ක්‍රීඩා පිටියේ කළමනාකරු ලෙසත් සුජීව පත්කරමින්. මේ අනුව දඹුලු ක්‍රීඩා පිටියේ අක්කර 32 ක් දඹුලු විහාරයට කොලේ වසා ව්‍යාපාර සදහා බදුදීමෙන් වැඩ ආරම්භ කර තිබෙනවා. අනතුරුවයි ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ඉදිකරන බව පවසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රවටා මහා පොලොන්නරුවේ කැලේ වැවීම සිදුකර ඇත්තේ. ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 100 ක් වැය කර තිබෙනවා. එහි සිදුව ඇති දූෂණ අක්‍රමිකතා වීඩියෝ සමග පහතින් නරඹන්න.

    මෙම ක්‍රීඩා පිටියේ කොන්ත්‍රාත්කරුවන් කොළඹට කැදවා සාකච්ජාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පවත්වා තිබෙනවා. එහිදී කොන්ත්‍රාත්කරුවන් පවසා ඇත්තේ තමන්ට මුදල් නොලැබීම හේතුවෙන් ඉදිකිරීම් මෙලෙස අතර මැද අතහැර දැමූ බවයි. එහෙත් ක්‍රිකට් ආයතන මූල්‍ය අංශයේ ප්‍රධානී කාමලිකා ජයසේකර lankasportsnews වෙතද තහවුරු කලේ මීට පෙර සියලු ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි ලෙස සිදුකර ඇති බවයි. මෙම ගැටළුව ආරම්භ වූ අවස්තාවේ lankasportsnews ඇගෙන් මේ පිලිබද විමසා සිටියා. එවිට ඇය කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන් මෙහි වැඩ සිදු නොකිරීමට සම්පූර්ණ වගකීම ගත යුතු බවයි. එමෙන්ම සිදුකළ ගෙවීම්ද ඇය අපට ඉදිරිපත් කළා. මේ අනුව එම මිලියන ගණන් මුදල් ගොස් ඇත්තේ සුජීව ගොඩලියැද්දගේ සාක්කුවටයි.

    පන්තක ප්‍රනාන්දුට දැන් විශාල වගකීමක් පැවරෙනවා. ඒ මුදල් අතුරුදන් වී ඇති, පොලොන්නරුවේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය, යාපනය ක්‍රිකට් ක්‍රීඩා පිටිය, ත්‍රීකුණාමලය ක්‍රීඩා පිටිය හා අක්කර 32 ක් බහිරවයා ගිල ඇති දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ආදිය ගැන සෙවීම හා ඒවා නිවැරදි කිරීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ දූෂණ අක්‍රමිකතා සදහා ඉඩක් නැති බව පෙන්වීමට හා රජය ප්‍රසාදයට පත්කිරීමට කදිම අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. මෙය දූෂණයට සහය නොදී මෙතෙක් කලක් දිනා ඇති ගෞරවය ඉහල නංවා ගැනීමට පන්තක ප්‍රනාන්දුට කදිම අවස්ථාවක් වනවා.















    No comments