• Breaking News

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලම යාපනේ තිරගතවේ

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් යාපනය මල්ලකාම් ප්‍රදේශයේ ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා පොරොන්දු වී තිබෙනවා. ඒ යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමග ඊයේ (2020/06/26) පැවති සාකච්ජාවකින් අනතුරුවයි. මෙම හමුවට ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, මානව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස්, ක්‍රිකට් සංවර්ධනය කමිටු සභාපති කමල් ධර්මසිරි හා ඉන්ජිනේරුවන් ලෙස පවසමින් පිරිසක්ද එක්ව තිබෙනවා. එමෙන්ම ඔවුන් ක්‍රිකට් භාණ්ඩ සහිත මලු 25 ක් ලබාදී ඇත්තේ යාපනයේ තෝරාගත් ක්‍රිකට් ක්‍රීඩකයන් හා පාසල් ක්‍රීඩකයන් පිරිසකටයි. මෙහිදී ඔවුන් පවසා ඇත්තේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමට සැලසුම් කළ ලංකාවේ ලොකුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට සමගාමීව යාපනය ක්‍රීඩා පිටියේ ඉදිකිරීම්ද ආරම්භ කරන බවයි. කෙසේ වෙතත් මෙහිදී ඔවුන් යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ඇන්දීමට උත්සාහ කර ඇත්තේ බොරු රැසක් ඇත්ත කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වෙමින්.

    යුද්ධය අවසන් වී වසර 12 ක් මේ වන විට ගතව අවසන් වුවත් මෙම කාලය පුරාම අවස්තා රැසක යාපනය ජනතාව රැවැට්ටීමට පසුගිය රජයන් සමග ක්‍රිකට් ආයතනයද කටයුතු කළා. එහි මෑන්තකම උදාහරණය 2018 වසරේදී සිදුවූයේ එවකට උතුරු පළාත් ආන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සමගින් එක්වූ තිලංග සුමතිපාලයි. එවර යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය රවටමින් හා රටට අඩබෙර ගසා කිවූවේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකරන බවයි. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයේයි සංචාරය කර අක්කර 50 ක භූමියක් ඉදිකිරීම් වෙනුවෙන් වෙන් කර ගත්තා. යාපනය නගරයේ සිට කිලෝමීටර් 3ක දුරින් එය ඇතැයි රටට පෙන්වනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ සිදුවන උතුරු පළාත් සංවර්ධනයේ අවස්ථාවක් ලෙසයි. ඊට ක්‍රිකට් ආයතනය මුදල් වෙන් කරනු ලැබුවත් එය සැලසුම් සදහා වෙන්කළ රුපියල් මිලියන 150 ක් වැය කිරීමෙන් පසු අවසන් වුණා.

    මෙවර ඉදිකරන බව පොරොන්දු වූ මල්ලකාම් ක්‍රීඩා පිටියට යාපනයේ සිට කිලෝමීටර් 10 කට වඩා දුරක් යා යුතුයි. ඔවුන් ඊට යන්නේ 2018 වසරේ හිටපු සභාපති තිලංග සුමතිපාල පොරොන්දු වූ මන්ඩතිව් ක්‍රීඩා පිටිය ඉදිකිරීම අමතක කර වීම කැපී පෙනෙනවා. එමෙන්ම මෙවර මෙම බොරු පොරොන්දුව දුන් ශම්මි ඒ වන විට තිලංගගේ ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික බව ඔබට මතක ඇති. ඔහුම මුදල් වෙන්කර කිසිවක් නොකළ යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හා ජනතාව මෙවර අලුත් වටයකින් රැවැට්ටීමට උත්සාහ කරනවා. එමෙන්ම මෙම සංචාරයට එක්වූ උප සභාපති රවීන් වික්‍රමරත්න මඩකලපුවටත් මීට පෙර මෙලෙසම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලබාදෙන බව පොරොන්දු වූවෙක්. ඊටත් පෙර සිටම ක්‍රිකට් ආයතනය යාපනය දොරේ අප්පා ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලෙස සංවර්ධනය කරන බව අවස්තා රැසක පවසා තිබෙනවා.

    මෙලෙස ඔවුන් රුපියල් බිලියන 9 ක් වැයකර හෝමාගම දියගම ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට යෝජිනා කළා. එය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා ජනතා විරෝධය හමුවේ මහ මැතිවරණය අවසන් වන තුරු හකුලා ගැනීමට රජයේ උපදෙස් මත පියවර ගත්තා. 2019 නොවැම්බර් මස 21 වැනිදා පාදුක්ක ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට ටෙලිකොම් ආයතනය සමගින් ක්‍රිකට් ආයතනය ගිවිසුම් අත්සන් කළා. එයත් එයත් සැලසුම් ඇදීමට පමණක් සීමාවූ තවත් ව්‍යාපෘතියක් පමණක් වනවා. මෙලෙස ක්‍රිකට් ආයතනය ඉදිකිරීම් නොකරන බොරු ව්‍යාපෘති හදුන්වා දීමට හේතු දෙකක් තිබෙනවා. ඒ එමගින් හිමිවන අති විශාල කොමිස් කුට්ටිය හා ක්‍රිකට් නිලවරණ ජන්ද සටනයි. ක්‍රීඩා පිටිය ඉදි නොකර කොමිස් කුට්ටි ලැබෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් ඇති. එය සිදුවන්නේ මෙසේයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සියලු ඉදිකිරීම් සිදුකිරීම වෙනුවෙන් සැලසුම් සකස් කරන්නේ සුරත් වික්‍රමසිංහ ඇසෝසියේටස් ආයතනය හා තවත් එක් ආයතනයක් පමණයි. ඒ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට අනුව නොව අත යට මුදල් හුවමාරුවීම් මතයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස සිටි සමයේ පොලොන්නරුව හිගුරක්ගොඩට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට සැලසුම් සකස් කළා. ඒ වෙනුවෙන් මේ වන තුරු සිදුකර ඇත්තේ බිම එලි කර පස් පිරවීමක් පමණයි. මේ වෙනුවෙන් සැලසුම් සකස්කර උපදේශන සේවය වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 460 ක් ලබා දී තිබෙනවා. ඉතින් මෙලෙස ක්‍රීඩා පිටි ඉදිකිරීම වෙනුවෙන් සැලසුම් ඇදීමට පමණක් පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 1000 කට වඩා කිසිවක් සිදු නොවූ ව්‍යාපෘති වෙනුවෙන් සුරත් වික්‍රමසිංහ ඇසෝසියේටස් ආයතනයට හා අනෙක් ආයෙතනයට ලබාදී අවසන්. ක්‍රිකට් ආයතනය මෙලෙස වැය කරන මුදල් සියල්ලන්ගේ ඇස් වැසෙන ලෙස සිදුකර තිබීම හේතුවෙන් පසුගිය විශේෂ විගණනයට පවා හසුව තිබුනේ නෑ.

    කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව සැලසුම් ඇදීමට ක්‍රිකට් ආයතනය වැය කරන මුදල විගණන කර සෙවිය යුතුයි. එවිට ක්‍රිකට් ආයතන තවත් මහා මූල්‍ය වංචාවක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති. යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට ජන්ද 02 ක් තිබෙනවා. පසුගිය ජන්දයේදී එය භාවිතා වූයේ සභාපති සටනට එක්වූ ජයන්ත ධර්මදාස වෙනුවෙන්. ඒ උප සභාපති කේ මතිවානන් නියෝජනය කළ පාර්ශ්‍රවය වීම හේතුවෙන්. ඉදිරි නිලවරණයට වත්මන් සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් වීමට සූදානම් වන්නේ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සහය නැතුවයි. මේ අනුව ශම්මි සමගින් ලේකම් වීමට මේ වන විට සැලසුම් කර ඇත්තේ රවීන් වික්‍රමරත්නයි. හිටපු සභාපති තිලංග සුමතිපාල පාර්ශ්‍රවය නියෝජනය කරමින් සභාපති සටනට වත්මන් ලේකම් මොහාන් ද සිල්වා ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටිනවා. ඔහුගේ ලේකම් ලෙස වත්මන් උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ඉදිරිපත් වනු ඇතැයි සදහන්. මේ පාර්ශ්‍රව දෙකටම අභියෝග කරමින් ඉදිපත්වන අනෙක් පාර්ශ්‍රවයේ සභාපති අපේක්ෂක ලෙස වත්මන් උප සභාපති කේ. මතිවානන් ඉදිරිපත් වීමට සූදානම් වනවා. සුපුරුදු ලෙස එම පාර්ශ්‍රවයේ ලේකම් නිශාන්ත රණතුංගයි. මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට අත දිග හැර මුදල් වැය කරන කීර්තිමත් ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මේ සියල්ල වෙනස් කළ හැකි තීරණාත්මක සාධකය වනවා. ඔහුගේ තීරණය අනුව මෙම සංයෝග සියල්ල වෙනස්වීමට ඉඩ ඇති බව මතක් කළ යුතුයි. ඒ ඔහු මෙවර සභාපති සටනට ඉදිරිපත් වූයේ නිෂාන්ත රණතුංග සමගින් බව සිහිපත් කරමින්.









    No comments