• Breaking News

    පවාදීම් එක්ක ක්‍රිකට් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයටත් එක්වෙලා ? Exclusive Exposed

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මත්කුඩු ව්‍යාපාරයට සම්භන්ධ වී ඇති බවට වාර්තා වනවා. ඒ සිංගප්පූරුව කේන්ද්‍ර කර ගත් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග සමීප සබදතා ගොඩනගා ගනිමින්. මෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ මානව සම්පත් කළමනාකරු ටනේෂ් බී. ඩයස් බවට සැක මතුව තිබෙනවා. ඒ ඔහුගේ නම ඇති පුද්ගලයෙක් මීට පෙර මත්ද්‍රව්‍ය වෙළඳාමට ආධාර අනුබල ලබාදී මුදල් විශුද්ධි කරණයට ඕස්ට්‍රේලියාවේදී වැරදිකරු වී තිබීම හේතුවෙන්. මේ ටනේෂ් බී. ඩයස් හා එම වැරදිකරු එකම පුද්ගලයෙක් බවයි lankasportsnews කළ දීර්ඝ ගවේශණයකදී වාර්තා වන්නේ. එය වැඩි දුරටත් තහවුරු කර ගැනීම මෙතැන් සිට රජයට අප භාර දෙනවා. ඒ වසර 09 කට පෙර මුදලට තරග පාවාදීම් සිදුවීම් පස්සේ යන අතර මේ වන විටත් සිදුවෙමින් ඇති මහා ක්‍රිකට් කේදවාචකයක් නැවැත්වීම සදහායි.

    2008 වසරේ අගෝස්තු 08 වැනිදා ටනේෂ් ඩයස් ඕස්ට්‍රේලියානු පොලීසිය අත්අඩංගුවට ගනු ලබනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙසයි. ටනේෂ්ට එල්ලවන චෝදනාව වන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන කල්ලියක මුදල් විශුද්ධි කළ පුද්ගලයා ලෙසයි. ඒ පිලිබද ඕස්ට්‍රේලියා මාධ්‍යයේ පළවූ ලිපිය පහතින් බලන්න.


    මෙම මත්ද්‍රව්‍ය වෙළඳ කල්ලියේ මුදල් ඩොලර් මිලියන දෙකක් බැංකු තැන්පත්කර ඇති රිසිට් හා ඩොලර් 703,000 ක මුදලක් හුවමාරු කිරීමට අදාල ලිපි ටනේෂ් බර්නාඩ් ඩයස් සතුව තිබී හමුව තිබෙනවා. ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ද ඔහු සතුව තිබී හමුව තිබෙනවා. ටනේෂ් බර්නාඩ් ඩයස් ඕස්ට්‍රේලියාවේ රැකවණය ඉල්ලූ ආරක්ෂක වීසා අයදුම්කරුවෙක්ද වනවා. එම තොරතුරු ඇතුලත් ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළ ලිපිය පහතින් බලන්න.


    මෙලෙස අත්අඩංගුවට පත්වූ ටනේෂ් බර්නාඩ් ඩයස් 2009 පෙබරවාරි 04 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. ඔහුට එල්ලවන්නේ මෙම මත්ද්‍රව්‍ය වෙළඳාමේ මුදල් විශුද්ධි කරණය කළ චෝදනාවයි. ඒ පිලිබද පළවූ ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තාව පහතින්.


    මේ පිලිබද අවසන් නඩුවාරය පැවැත්වී ඇත්තේ 2010 වසරේ නොවැම්බර් මස 10 වැනිදායි. එහිදී ටනේෂ් බර්නාඩ් ඩයස් වරද පිලිගෙන තිබෙනවා. 2008 වසරේ එක්ස්ටසි ටැබ්ලට් මිලියන 1.2 ක් ප්‍රවාහනය කිරීම හා සිංගප්පූරුව කේන්ද්‍ර කර ක්‍රියාත්මක වූ මුදල් විශුද්ධි කරණය කළ ඉහළ සින්ඩිකේටරයක ඉහළ පෙළේ සාමාජිකයෙක් ලෙසයි. ඔහුට ඩොලර් 8,115,560 ක මුදලක් ලැබී ඇති අතර ඉන් ශුද්ධ ලාභය ලෙස ඩොලර් 23,000 ක් හිමිවී තිබෙනවා. මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය වානිජ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් ටනේෂ් බර්නාඩ් ඩයස් හරහා විශුද්ධි කරණය කර ඇතැයි සදහන්. ඒ කුකුලා ස්මර්ෆින් නම් ක්‍රමය භාවිතා කරමින්. මෙම නඩු විභාගයේදී ටනේෂ් බර්නාඩ් ඩයස් වරද පිලිගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට වසර හතක සිර දඩුවමක් ලබා දී තිබෙනවා. මෙම තොරතුරු ඇතුලත් වන්නේ 2010-2011 ඕස්ට්‍රේලියා නඩු පැවරීමේ වාර්ශික වාර්තාවේයි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මානව සම්පත් කළමනාකරු ටනේෂ් බී ඩයස් ක්‍රිකට් ආයතනයට පැමිණෙන්නේ වත්මන් සභාපති ශම්මි සිල්වා හරහායි. ඒ 2019 වසරේදීයි. ඊට පෙර සිංහල ක්‍රීඩා සමාජයේ ( CCC ) සභාපති ලෙස ශම්මි කටයුතු කිරීමේදී ඔහුගේ ලේකම් ලෙස ටනේෂ් බී ඩයස් කටයුතු කරනවා. මෙහිදී ටනේෂ් බී ඩයස් ලෙස සියල්ලන් අතරට පැමිණියත් ඔහු බී යන්න කුමක්දැයි සගවනවා. ඒ සම්පූර්ණ නම ලබාදීමෙන් ඕස්ට්‍රේලියාවේදී මත්ද්‍රව්‍ය වෙළඳාම සමග දඩුවම් ලැබීම එලියට ඒම වැලැක්වීමට දැයි සැක මතුවනවා. එමෙන්ම ඔහුට මේජර් යන කොටස නමේ මුලට එක්කර තිබෙනවා. ඒ අවධානය වෙන අතකට යොමු කිරීමේ එක් පියවරක් ලෙසදැයි තවත් සැකයක් පවතිනවා. ඒ ඔහු ස්වේච්චා හමුදා සෙබලෙක් වීම හේතුවෙන්. ඉන් ඔහු ඉවත්වී ඇත්ද නැද්ද යන්නත් මේ වන විට lankasportsnews විමර්ශනය කරමින් තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස කිසිදු සම්මුඛ පරීක්ෂණයක් නොමැතිව සේවයට බදවාගත් ටනේෂ් බී ඩයස්ට පසුගියදා තවත් උසස්වීමක් සහිතව වැටුප් ද වැඩි කරමින් මානව සම්පත් කළමනාකරු ලෙස පත්කරනු ලැබුවා. ඔහු සිදු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන් පිලිබද කේලම් කීම හා සභාපති ශම්මි සිල්වාගේ කේවට්ටයා ලෙස පස්සෙන් යාමයි. යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලබාදීම වෙනුවෙන් යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමග පැවති සාකච්ජාවටත් ශම්මි සමග ටනේෂ් බී ඩයස් ගොස් සිටියා. රයිගමයයි ගම්පලයයි ලෙස ඔවුන් දෙදෙනා එකටම සිටින්නේ ඉදිකට්ටයි නූලයි ලෙසයි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා පසුගිය කාලයේ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරන පුද්ගලයෙක් බවට පත්ව තිබෙනවා. ඔහු භාවිතා කරන වාහනය ලක්ෂ 150 කට අධික වටිනාකමක් ඇති අතර කොළඹින් ඉඩම් කිහිපයක්ද පසුගිය කාලයේ මිලදී ගෙන තිබුණා. 2011 ක්‍රිකට් පාවාදීම් ගැන සාක්ෂි ඇති බව කී සනත් බණ්ඩාර ජයසුන්දරද පසුගිය කාලයේ ඉඩම් කිහිපයක්ම ශම්මිට විකිණීමේ තැරැව්කරු වී තිබෙනවා. මේ සියලු මුදල් හිටි හැටියේ ඔහුට පහළ වූ බවයි වාර්තා වන්නේ. මෙතෙක් දිනක් සියල්ලන් සිතුවේ ක්‍රිකට් ආයතන බොරු ව්‍යාපෘති හරහා ලැබෙන මුදල් ඊට හේතුව බවයි. එහෙත් මෙම ප්‍රවෘත්තියට අනුව එම මුදල් මත්ද්‍රව්‍ය වෙළඳාමේ පහසුකම් සැපසීම වෙනුවෙන් ලැබෙන ඒවාදැයි සැක මතුවනවා.

    විධිමත් පරීක්ෂණයකින් පසු මත්ද්‍රව්‍ය වෙළඳාමට දඩුවම් ලැබූ ශ්‍රී ලංකිකයා හා ක්‍රිකට් ආයතන ටනේෂ් බී ඩයස් දෙදෙනෙක්ද නැතහොත් එක්කෙන්ක් දැයි සොයා බැලීම ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට පැවරෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එය සාර්ථක කර අනුමින් ක්‍රිකට් ආයතනය තුල මත්ද්‍රව්‍ය පිලිලය වැඩීම නතර කිරීම දැන්ම කළ යුතුයි. නියපොත්තෙන් කඩන්න පුලුවන් කාලයේ එය වගකිවයුතු මාධ්‍යක් ලෙස අප පෙන්වා දුන්නා. මෙතැන් සිට ක්‍රියාත්මක වීම රජය සතු යුතුකමක් වනවා. විදෙස් සංචාර සදහා ක්‍රීඩා බලධාරීන් පස්සෙන් යන මාධ්‍යවේදීන් ඉදිරියේදී හෝ Lankasportsnews මෙම අනාවරණය ඔස්සේ කරුණු රට හමුවේ තබනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. ක්‍රීඩා බලධාරීන්ගේ එහෙයියන් වී ඇති බහුතරයක් වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් විදෙස් සංචාර හා අතයට හිමිවන මාසික මුදලට සිය වෘත්තීය ගරුත්වය පාවාදී ඇති බව පමණක් සිහිපත් කරන්නේ කණගාටුවෙන්. මේ වන විට වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන හා වරප්‍රසාද වෙනුවෙන් පෑන හසුරවන පිරිසක් බවට පත්ව තිබීම මෙවන් සිදුවීම් ක්‍රීඩාවේ පහසුවෙන් සිදුවීමට හේතු වී තිබෙනවා.

    ක්‍රිකට් ආයතනයට වෙන්න යන දේ පෙන්වූ lankasportsnews ගැන නොසොයා මෙම ප්‍රවෘත්තියේ ඇති නිවැරදිතාව සොයන ලෙස අප බලධාරීන්ට මතක් කිරීමට කැමතියි. ඒ බොහෝ විට සිදුවන්නේ හද පෙන්නූ විට ඇගිල්ල දෙස බලා මෙහෙයුම් සිදුකිරීම හේතුවෙන්.

    මේ අප ටනේෂ් බී ඩයස් පිලිබද පළකළ පෙර ලිපියක්






    No comments