• Breaking News

    මතී යයි ධර්මදාස එයි - ශම්මි තිලංගට පයින් ගහයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසියේ මුල් පුටු පෙරලී මේ වන විට විශාල වෙනසක් සිදුව තිබෙනවා. ඒ උප සභාපති කේ මතිවානන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගයි. මෙම ඉල්ලා අස්වීම සිදුව පැය තුනක් ගත වීමටත් පෙර එම පුරප්පාඩුවට පිරවීමට කටයුතු කෙරුණා. මේ අනුව ක්‍රිකට් සභාපති ශම්මි සමග ක්‍රිකට් නිලවරණයේදී සභාපති පුටුවට තරග කර පරාජය වූ ජයන්ත ධර්මදාසට එය ලබා දුන්නා. මේ ඔබ මේ වන විටත් දන්නා දිය මතුපිට කතාවයි. දිය යට සිදුවන අරගලයේ ඇත්තේ මෙහි වෙතත්ම පැතිකඩක්. කේ මතිවානන් ඉල්ලා අස්වන බව අප පෙර සිටිම දැන සිටියා. මේ මෙම පුටු පෙරලියට එය සිදුවිය යුතුම වීම හේතුවෙන්. එහෙත් එය ලබන මස මුල් දින කිහිපයේදී සිදුවනු ඇති බවටයි අප විශ්වාස කළේ. කෙසේ වෙතත් දැන් පෙරලිය සිදුව තිබීම හේතුවෙන් අපි ඔබට තිරය පිටුපස සිදුවන සියල්ල මෙලෙස ලියා තැබීමට තීරණය කළා. අපිත් ආසයි මෙවන් දේශපාලන ක්‍රීඩා තුල ක්‍රීඩා කිරීමට. ඉතින් Lankasportsnews අපට ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී කෙළ අතම එකපාර ඇදීමට අප ඉක්මන් වන්නේ නැහැ. ඒ මෙවන් දේශපාලන ක්‍රීඩාවක් තුල ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතියද සම්පූර්ණ වෙනස් වීම හේතුවෙන්. කෙසේ වෙතත් ඉදිරියට සිදුවන දේ හා එහි ඵල විපාක පමණක් සියල්ලන්ට පළමුව ඔබට සටහන් කිරීමට අප තීරණය කළා.

    ක්‍රිකට් ආයතන නිලවරණයේදී සභාපති පුටුවට එක්වූ දෙපාශ්‍රවය වූයේ තිලංගගේ කණ්ඩායම හා රණතුංග කණ්ඩායමයි. හිටපු සභාපති තිලංග සුමතිපාල වෙනුවෙන් සභාපති පොරයට මෙවර ඉදිරිපත් කළේ සිය භාණ්ඩාගාරික ලෙස සියලු කටයුතු එහෙයි කියමින් ඉටුකළ භාණ්ඩාගාරික ශම්මි සිල්වායි. රණතුංග පාර්ශ්‍රවයේ සභාපති අපේක්ෂක ලෙස ජයන්ත ධර්මදාස එක්වුණා. මේ අනුව දෙපාර්ශ්‍රවය සියලු තනතුරු සදහා වෙන් වෙන්ව අපේක්ෂකයින් එක්කළා. දෙපාර්ශ්‍රවයම එක් කර ගැනීමට ආරාධනා කළ එකම අපේක්ෂක වූයේ කේ.මතිවානන් පමණයි. ඔහු තිලංග පාර්ශ්‍රවය අතැහැර රණතුංග පිලට එක්වුණා. දමිල හා ඉංග්‍රීසි භාෂා මනාව හැසිරවිය හැකි ඔහු අවස්තා රැසක ක්‍රිකට් ආයතන තනතුරු දරා තිබෙනවා. එහෙත් ඒ කිසිදු විටක මෙතෙක් කලක් කිසිදු දූෂණ, අක්‍රමිකතා හෝ වංචා සිදුකළ බවට කිසිම චෝදනාවක් හෝ එල්ල නොවූ එකම නිලධාරියා ලෙස ඔහු කැපී පෙනෙනවා. තිලංග සුමතිපාල සභාපති අවධියේ සිදුවූ පාර්ලිමේන්තු කෝප් කමිටුව තහවුරු කළ දූෂණ රැස අතර එකම චෝදනාවක් එල්ල නොවූ නිලධාරියාද ඔහුයි. මේ අනුව රණතුංග පාර්ශ්‍රවය නියෝජනය කර ක්‍රිකට් නිලවරණය ජය ගත් එකම නිලධාරියා බවට කේ. මතිවානන් පත්වුණා.



    තිලංග සභාපති ලෙස කටයුතු කළ සමයේ දේශීය ක්‍රිකට් භාරව සේවය කළේ කේ. මතිවානන්. එහෙත් ශම්මි සිල්වා සභාපති ලෙස පත්වූ දින සිටම කේ. මතිවානන්ට පළ නොකියා පළා බෙදුවා. එය ආරම්භ වූයේ ඔහුට කිසිම වගකීමක් ලබා නොදෙමින්. මේ අනුව දේශීය ක්‍රිකට් තරග පාවාදීම පිලිබද වැරදිකරු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය නම් කළ අනෙක් උප සභාපති රවීන් වික්‍රමරත්න දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් භාරව පත්වුණා. තිලංග පාලනය යටතේ මතිවානන් වෙත ලබා දී තිබූ ක්‍රිකට් ආයතන කාමරය ශම්මි වහාම පවරා ගනිමින් ක්‍රිකට් ආයතන තුලට පැමිණි විට ඉද ගැනීමට හෝ තැනක් නැති සරණාගතයෙක් බවට මතිවානන්ව පත් කළා. මෙලෙස පල නොකියා පලා බෙදමින් මතිවානන්ට එපා කර ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කිරීම ශම්මිගේ බලාපොරොත්තුව වුණා. ලිපිගොනු රාජකාරී නොදත් සුරතලියක් ලේකම් ලෙස බදවා ගනිමින් රවීන් ක්‍රිකට් ආයතනය තමගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නා තැන බවට පත්කර ගත්තා. මේ පිලිබද වැඩිදුර තොරතුරු ඇතුලත් අපගේ පසුගිය ලිපි බලන්න.





    ක්‍රිකට් ආයතනය තීන්දු තීරණ ලබා ගන්නේ විධායක කමිටු අනුමැතියට යටත්වයි. එම විධායක කමිටු රැස්වීමට පෙර ඊට ඉදිපත් කරන යෝජනා ඇතුලත් විධායක කමිටු පත්‍රිකා සියලු සාමාජිකයින්ට ලබාදෙනවා. ඒ එම පත්‍රිකා අධ්‍යනය කර පැමිණීම සදහායි. එහෙත් එවැන්නක් කිසිදා මතිවානන්ට හිමි නොවූ අතර විධායක කමිටු තීරණයන් ලබා දෙන්නේද ප්‍රමාදවයි. එහිදී ඔහුගේ පත්‍රිකා සදහා පමණක් වෝට මාක් එකක් යෙදීම සිදුවනවා. ඒ ක්‍රිකට් විධායක කමිටු තීරණ මාධ්‍ය වෙත ලැබෙන්නේ මතිවානන් හරහා බවට විශ්වාස කිරීම හේතුවෙන්. එහෙත් සැබෑ ලෙස ඔහුව හසුවන ලෙස එය සිදුකරන්නේ ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන පිල් බෙදී තෝරාගත් මාධ්‍ය හුරතල් කරන වෙනත් පිරිසක්. එකාට එකා විරුද්ධව අපටත් එලෙස තොරතුරු ලබාදෙන පිරිසක් සිටින බව පමණක් මෙලෙස ලියා තබන්න කැමතියි.



    මේ අතර දූෂණ අක්‍රමිකතා සදහා හේතු විය හැකි යෝජනා ගෙන එන විට මතිවානන් ඊට එලිපිට විරුද්ධ වනවා. එවිට ශම්මි ඔහුව විහිලුවට ගන්නේ අපි මේක සම්මත කරනවා. ඔයාට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියමින් උසුලු විසුලු කරමින්. මේ සියල්ල මැද ඔහු මේ වන තුරු ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළේ හැකි උපරිමයෙන් දූෂණ අක්‍රමිකතා සදහා එරෙහි වෙමින්. මීට පෙර අවස්තා කිහිපයකදී මෙම හිරිහැර නිසා ඉල්ලා අස්වීමට මතිවානන් සූදානම් වුණා. එහෙත් එවිට ක්‍රිකට් විධායක කමිටුවේ විරුද්ධ වීමට හෝ කිසිවෙක් නොමැති බව පෙන්වමින් ඔහුගේ එම තීරණය හකුලා ගන්නා ලෙස හිතවතුන් හා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන් බලපෑම් කළා. මේ අනුව එය මේ දක්වා පැමිණියා. එහෙත් මේ වන විට දේශපාලන ක්‍රීඩාවක් ක්‍රිකට් තුල ක්‍රීඩා වීම ආරම්භ වී තිබෙනවා. මේ අනුවයි මතිවානන් සිය ඉල්ලා අස්වීම ලබාදීමට පියවර ගෙන ඇත්තේ.



    මෙලෙස මතිවානන් ඉල්ලා අස්වීම සමග පැය තුනක් තුල හදිසි ක්‍රිකට් විධායක කමිටු රැස්වීමක් පැවැත්වුණා. එහිදී තීරණය වුණේ දේශපාලන ක්‍රීඩාවට අනුව උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස හිස්වූ පුරප්පාඩුවට පත් කිරීමටයි. එම පත්වීම හා ඉවත්වීම දැක්වෙන ක්‍රිකට් ආයතන මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මතිවානන් ඉල්ලා අස්වී ඇත්තේ ඔහුට එරහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන විට බවයි. මෙලෙස ඊට ඔහු සිදුකර ඇති ලොකුම වරද ක්‍රිකට් ආයතන එහිදී සැගවීම පුදුමයට කරුණක්. මේ වන විට රටේ තොරතුරු දැන ගැනීමේ පනත පවා ක්‍රියාත්මක බවට මෙම ලිපිය සකස්කළ සියල්ලන්ට අමතක වී ඇති බව පෙනී යන බව පමණක් ලියන්නේ එය ඔවුන්ට යලි සිහිපත් කිරීමටයි.



    මෙම ඉල්ලා අස්වීම වාර්තා වූ සැනින් හිටපු සභාපති තිලංග සුමතිපාල වහාම වත්මන් සභාපති ශම්මි සිල්වාට කියා සිටියේ මෙම පුරප්පාඩුව මහ මැතිවරණය අවසන් වන තුරු නොපුරවන ලෙසයි. ඒ මහ මැතිවරණයට පසු ක්‍රිකට් සදහා පැමිණීම වාරණය කරමින් පනවා ඇති පාර්ලිමේන්තු සම්මත තහනම ඉවත් කර යලි ක්‍රිකට් ආයතනයට පැමිණීමේ බලාපොරොත්තු ඇතිවයි. එහෙත් එම පුවත දැන ගත් විගස තමන්ගෙන් පාලනය යලි ගිලිහී තිලංග වෙත බලය යෑම වැලැක්වීම සදහා ශම්මි මෙම හදිසි විධායක කමිටු රැස්වීම පවත්වා දේශපාලන හස්තයක උවමනාව ක්ෂණිකව සම්පූර්ණ කිරීමට පියවර ගත්තා. ඒ තව දුරටත් ක්‍රිකට් බලයේ සුක්කානම ශම්මි සතුව තබා ගැනීමක් ලෙසයි. තිලංග සුමතිපාලගේ කර මතින් පැමිණ ක්‍රිකට් සභාපති වූ බව ශම්මි සිල්වාට මේ වන විට අමතකව තිබෙනවා. ඒ අනුවයි තිලංගට පුකට පයින් ගසා කනටත් ගැසීමට තමන් මෙලෙස පියවර ගත් බව ශම්මි තැන තැන පාරම් බාමින් සිටින්නේ. 


    ක්‍රීඩා නම් ක්‍රීඩා. ක්‍රිකට් දේශපාලනය තුල දෙරලෙන වෙනස්වෙන ක්‍රීඩා. අපි ඔවුන් ක්‍රීඩා කරනවා බලා සිටින ක්‍රීඩා. ඕමි ක්‍රීඩාවේදී තුරුම්පු වාසි බුහුල විට එක වර ජයග්‍රහණය කර කොළ අත අකුලනවාට වඩා සතුට ඇත්තේ ක්‍රීඩා කිරීමේදී ප්‍රතිවාදියා පරාජය වෙත පියවරෙන් පියවර යන ආකාරය දැකීමයි. ඕමි ක්‍රීඩා කර ඇති ඔබ එය දන්නවා අත් විද ඇතුවාට සැකයක් නෑ. ඉතින් අපිට වැඩිම වාසි බෙදී ඇති මේ මොහොතේ ප්‍රතිවාදීන්ට ක්‍රීඩා කිරීමට ඉඩ දී අප බලා සිටිනවා. එහෙත් පෙර පොරොන්දු වූ ලෙසම මෙම දේශපාලන ක්‍රීඩාවේ සියලු තතු සියල්ලන්ට පෙර ඔබ වෙත ගෙන එන බව අප ඔබට තහවුරු කිරීමට කැමතියි. ක්‍රිකට් ආයතනයට දේශපාලන අත පොවීම් බහුලව සිදුවන මේ මොහොතේ ඒ දෙස අප බලා සිටිමු. සියල්ලන්ට පෙර තිරය පිටුපස සිදුවන සියල්ල දැන ගැනීමට රැදී සිටින්න අප සමගම. ක්‍රිකට් දිශානතියද සම්පූර්ණ වෙනසකට ලක්වීමේ පෙර නිමිත්ත මේ ඇරඹුණා පමණක් බව අවසන් වශයෙන් ලියා තබනු කැමතියි. මේ පිලිබද මීලග ලිපිය බොහෝ රසවත් එකක් වේවි.





    No comments