අනාගතය උගසට තබා ලේකම් සූදු කෙලී - Exclusive Exposed - Video
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර සිය තනතුර රැක ගැනීම වෙනුවෙන් පිස්සුවෙන් නන් දෙඩවීම ආරම්භ කර තිබෙනවා. හොරු හා පිස්සන් රැලකට නායකත්වය ලබා දෙන මුල් පුටුවටත් අමු පිස්සෙක් පැමිණි විට සිදුවන දේ අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. ඊට උදාහරණයක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. එස් රුවන්චන්ද්‍ර පෙන්වා දිය හැකියි. ක්‍රීඩා අමාත්‍යාංශය ලිංගික අල්ලස් මත සේවය ලබාදෙන තැනක් බව පසුගිය ලිපියකදී කරුණු සාක්ෂි සහිතව අප අනාවරණය කළා. අමාත්‍යාංශයේ එක් පසක පිහිටා ඇති ක්‍රිකට් ආයතනය හොර ගුහාවක් බව පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී පවා අනාවරණය වී අවසන්. අනෙක් පස ඇති ජාතික ඔලිම්පික් කමිටුව හොරුකමේ දිය යට ගේම් සිදුවන හොරුන්ට විදෙස් සංචාර ලබාදෙන කීර්තිමත් ට්‍රැවල් ඒජන්සියක්. පිටුපස ඇති ජාතික පාපන්දු නිවහන වැඩිම විදෙස් ආධාර හිමිවෙද්දී දිනෙන් දිනම හොරකමේ අනිටු විපාකයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පසුපසට යන්නක්. මේ සියල්ල අතර කොටුවී සිටින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර නටන්න යන පිස්සුව අනාගතය උගසට තබා සූදු කෙලීමක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැහැ.
ජාතික වූෂු සංගමයේ ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානයක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර ප්‍රධානත්වයෙන්. එහිදී රාජපක්ෂවරුන්ගේ සුවච කීකරු කුක්කෙක් ලෙස ඔහු නන් දෙඩ වූයේ පැමිණි සියල්ලන් පුදුමයට පත් කරමින්. එහිදී පෙනී ගිය ප්‍රධාන කරුණ වූයේ සිය තනතුර රැක ගැනීම වෙනුවෙන් ඔහු සටනක නිරත බවයි. එහිදී ලේකම්වරයා කියා සිටියේ ක්‍රීඩා උපාදියක් ලබාදීම සදහා ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බවයි. එහි පළමු වාරය ලබන ජනවාරි මාසයේ සිදුකරන බවත් ඔහු කියා සිටියා. ඊට අවශ්‍ය විෂය නිර්දේශ හා උපාධි ලැයිස්තු සකස්කර අවසන් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. එය මාධ්‍ය හමුවක් නොවීම හේතුවෙන් Lankasportsnews අප මාධ්‍යවේදීන්ට මේ පිලිබද එහිදී විමසීමට අවස්තාවක් හිමිවූයේ නෑ.
ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම මෙරට ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියට ඇතුලත්. එහෙත් එවැන්නක් සිදු කිරීම කඩි මුඩියේ සිදු කළ යුත්තක් නොවේ. එය සිදුකිරීමේදී රැකියා වෙළඳ පොළ පිලිබද සැලකිලිමත් වීම සිදු කළ යුතුමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවසුවේ මෙරට අධ්‍යාපනය රැකියා වෙළඳපල ඉලක්ක නොකිරීම නිසා රටේ අර්බුද රැසක් ඇති බවයි. මෙම තත්වය වෙනස් කිරීමට ඔහු අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නා. එවන් වට පිටාවක තනතුර රැක ලැනීම වෙනුවෙන් රාජපක්ෂ ලකුණු බලාපොරොත්තුව මෙලෙස ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට නැට්ට ගිනි ගත් ලේකම් රුවන්චන්ද්‍ර සූදානම් වනවා.
2020 පෙබරවාරි 06 වැනිදා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම කැබිනට් මණ්ඩලයට අංක 2020/07 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට ශක්‍යතා අධ්‍යනයක් සිදුකළ යුතු බවයි. ඊට අනුමැතිය හිමිවුණා. මේ අනුව ඒ සදහා කමිටුවක් පත්කළේ සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුතුවයි. ඔවුන් අතර මූලික එකගතාව නැතුව එහි කරුණු පිලිබද මේ වන විටත් ජනාධිපතිවරයාට සාමාජිකයින් පෙත්සම් පවා යොමුකර තිබෙනවා. ඒ එහි සභාපති හා එක්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රටේ අනාගතය උගසට තබා ගේම් ගසන බව පවසමින්. අප මේ පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍රගෙන් දීර්ඝ කරුණු විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අන පනත් අනුමත වී එය නීතියක් විය යුත්තේ උපාධි පිරිනැමීමට බවයි. බදවා ගැනීමට එය ගැටළුවක් නොවන බව ඔහු කියා සිටියා.
ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සූදානම් වන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය තුලයි. ඒ මොරටුව විශ්වවිද්‍යාලය හා එක්වයි. කෙසේ වෙතත් මෙවන් නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට පළමුව විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ ( UGC ) අනුමැතිය ලබා ගත යුතුයි. අඩුම තරමේ මේ සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීම හෝ ආරම්භ කර නැහැ. මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ නීති රාමුව තුල සිදු නොවන්නක් බවට පත්ව අවසන්. මෙය මේ කඩි මුඩියේ ප්‍රකාශ කර අවධානය තමන් වෙත යොමුකර ගැනීමට රුවන්චන්ද්‍ර උත්සාහ ගන්නේ මහ මැතිවරණයට පසු ඔහුගේ ටිකට් කැපෙන එක බේරා ගැනීම සදහායි. රාජපක්ෂ වහල්භාවය ප්‍රදර්ශනය කර ඉදිරියටත් ලේකම් තනතුරේ තමන් සිටියොත් මෙය යතාර්ථයක් කළ හැකි බව ආන්ඩුවට සංඥ කිරීමටයි.
රුවන්චන්ද්‍ර පවසන පරිදි ජනවාරියේ සිසුන් බදවා ගත හොත් කඩිනමින් එහි උපාධි ප්‍රධාන සදහා නීති සැකසිය යුතුයි. එහෙත් ඊට පෙර එය සිදුකළ නොහැකි වුවහොත් එම සිසුන් ගැටළු රැසකට ලක්වනවා. මේ වන විට උපාධි නිමකළ විද්‍යාර්ථයන්ගෙන් කොළඹ ලිප්ටන් වට රවුම හා ජනාධිපති මන්දිරයට යන පාර බොහෝ දිනවල පිරී යනවා. ඒ උපාධිධාරී විරැකියාව විසදන ලෙස පවතින ආන්ඩුවලට බල කරමින්. රුවන්චන්ද්‍ර සූදානම් වන්නේ ඒ අතරට මෙම පිරිසත් එක් කිරීමට විය යුතුයි. එලෙස බැලූ විට 2011 ක්‍රිකට් පාවාදීම් ගැන කියා මහින්දානන්ද අලුත්ගමගේ ගැසූ බොරුව පාරාවලල්ලක් වී ආන්ඩුවට ආවා සේ මෙය තවත් ඉල්ලන් කෑමක් බව පැහැදිලියි.
අවස්තා රැසක ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස කටයුතු කළ නීතිඥ පන්ඩුක කීර්තිනන්දගෙන් lankasportsnews මේ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීම පිලිබද විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ මෙය සිදු විය යුතු ඉතා වටිනා යෝජනාවක් බවයි. එහෙත් එය රටේ නීති රාමුව තුල සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. තමන්ද මුල්වී සකස්කළ ක්‍රීඩා ප්‍රතිපත්තියේ මෙය දැක්වෙන බව සිහිපත් කළ ඔහු කියා සිටියේ රටේ අවශ්‍යතාව තේරුම් ගෙන අනාගතය වෙනුවෙන් මෙය නිසි සැලැස්මක් අනුව කළ යුතු බවයි. එහෙත් එවැන්නක් සිදු කිරීමට මේ වන විට කාලයක් නෑ. ඒ ලේකම් රුවන්චන්ද්‍රට මෙම තනතුර රැක ගැනීම වෙනුවෙන් කෙටිදුර ධාවනක නිරතවීමට සිදුව තිබීම හේතුවෙන්.
මෙලෙසම ක්‍රිකට් ආයතනය ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට ඉඩමක් පවා බද්දට ගත්තා. ඒ කිසිදු සැලසුමක් නැතුවයි. එහිදී රුපියල් කෝටි ගණනින් වංචා සිදුව ඇති බව පසුගිය කෝප් කමිටුවේදී අනාවරණය වුණා. එහෙත් ඒ වැරදිකරුවන් සල්ලි බලයෙන් අදටත් යෙහෙන් වැජඹෙන බව ලියා තබන්නේ සල්ලි විසිකර මෙරට දේශපාලන බලයට කත් ඇදීමෙන් සියලු හොරකම් වසා ගත හැකි බව සිහිපත් කරමින්. ඒ පිලිබද වීඩියෝව බලන්න.
මේ අතර ප්‍රායෝගික ක්‍රීඩා අධ්‍යාපන පුහුණුවක් ප්‍රායෝගික නැති ක්‍රමයකට ලබා දීමටත් අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සූදානම් වනවා. අධ්‍යාපනය අමාත්‍යාංශයට අනියුක්ත ක්‍රීඩා ගුරුවරු 2500 ක් රට පුරා සිටිනවා. ඔවුන්ට ඊට ලබා දී ඇත්තේ ක්‍රීඩාව පිලිබද නාමික පුහුණුවක් පමණයි. එය තැපෑලෙන් පීනන්න ඉගැන්වීමට කදිම උදාහරණයක් වනවා. මෙම පිරිසට ක්‍රීඩා ප්‍රායෝගික ඩිප්ලෝමා සහතිකයක් ලබා දීමට ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලප්පෙරුම තීරණය කර තිබෙනවා. ඊට තෝරාගෙන ඇත්තේ ක්‍රීඩා විද්‍යායතනයයි. වසරක සති අන්ත පුහුණුවක් ලෙස එය ලබාදීමට සැලසුම් කරනවා. එකවර ඊට බදවාගත හැකි උපරිමය 200 කට අඩුයි. ඒ ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යාපන පහසුකම් ඊට වඩා වැඩි පිරිසකට ලබා දීමේ හැකියාවක් නොවීම හේතුවෙන්. මේ වන විට එහි දේශකයන් ලෙස සේවය කරන්නේ ද 14 දෙනෙක් පමණයි. මේ අනුව මෙම නව ප්‍රායෝගික ක්‍රීඩා ඩිප්ලෝමාව ප්‍රායෝගික එකක් නොවනු ඇති. ඒ අද වන සිටින පිරිසට මෙම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමට පවා වසර 13 ක්ට අධික කාලයක් ගතවීම හේතුවෙන්. කෙසේ වෙතත් ප්‍රායෝගික ක්‍රීඩා ඩිප්ලෝමා සහතිකය වෙනුවෙන් එක් ක්‍රීඩා ගුරුවරයෙක් රුපියල් 40,000 ක් වැය කළ යුතු ලෙස සැලසුම් කර තිබෙනවා. මෙයත් කළ යුතු කාලෝචිත සැලැස්මක් බවට කිසිදු විවාදයක් නෑ. එහෙත් ගැටළුව ඇත්තේ ප්‍රායෝගික ක්‍රීඩා පුහුණුව ප්‍රායෝගික නොවන ලෙස ලබා දීමට උත්සාහ කිරීමයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් යනු විදෙස් සංචාර හා ජරාව ලෙස මුදල් කුට්ටි පිටි පස්සා දොරෙන් නිරතුරුම ලැබෙන්නක්. ඒ රසය වැටී සිටින වත්මන් ලේකම් රුවන්චන්ද්‍ර මේ විවිධ බොරු ව්‍යාපෘති ඔස්සේ සූදානම් වන්නේ සිය පුටුව රැක ගැනීමට බව අප මෙසේ යලිත් සටහන් කරන්නේ කණගාටුවෙන්.
මහ කකුලුවා ඇදේට ගොස් පොඩි කකුලුවන්ට කෙලින් එන ලෙස කියා පලක් නැත. එමෙන්ම කකුලුවා නටන්නේ හැලියේ වතුර රත් වන තුරුයි. මේ කකුලුවාගේ නැටුම් බලන විවේක කාලයයි. එහිදී උඩ කරනම් බිම කරනම් සමගින් බල්ටි ගසමින් තනතුරු රැක ගැනීමේ සටන දකින අපට ඇතිවන්නේ කණගාටුවක්. ඒ මේ වන විටම අනාගත රජයේ ප්‍රධාන පුටු හිමිවන ප්‍රභල දේශපාලන පවුලක බෞතීස්ම කිරීමක් ලෙස වැඩිමල් පුතුට නියෝජ්‍ය අමාත්‍යධූරය ලබාදීමට පිබුරුපත් සකස්කර අවසන් බව දන්නා නිසාවෙනුයි. ඔහු සිය අත්වැසි සුවච කීකරු පරිපාලන සේවයේ අයෙක්ට මෙම පුටුව දැනටත් ලබාදෙන බව පවසා අවසන්. එම නිලධාරියා ඒ වෙනුවෙන් ඇදුමක්ද මැසීමට ලබා දී ඇත්තේ සිය නියෝජ්‍ය අමාත්‍යවරයාටද සමගයි. ඉතින් රටම උඩි යටිකුරු වන දිනය ලබන 05 වනදායින් පසු ආරම්භ වන බව පමණක් මෙලෙස ලියා තබනු කැමතියි. ඒ නිසාවෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන විට ඔබේ දරුවාගේ අනාගතය ගැන සිතිය හැකි මොළය කරුණාකර රැගෙන යන්න. හැමදා දුන් පලියට නොව අනාගතය වෙනුවෙන් වහල් කමින් මිදී ඔබේ මනාපය භාවිතා කරන. එය මේ රට වෙනුවෙන් කරන ඉල්ලීමක් බව මතක තබා ගන්න.
සබැඳි පෙර ලිපි
No comments