• Breaking News

    ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න තරග පාවාදීම් සදහා සම්බන්ධ බවට ක්‍රීඩා අමාත්‍යාංශයට සාක්ෂි සහිතව අනාවරණය වී තිබෙනවා. බුකීකරුවන් වෙනුවෙන් පැවැත්වීමට සැලසුම් කළ පුත්තලම දිස්ත්‍රික් T10 ක්‍රිකට් තරගාවලිය පිලිබද අප ඊයේ තොරතුරු අනාවරණය කළා. එහිදී අප ඉගි කළේ ක්‍රිකට් ආයතනයේ සිටින මුදලට තරග පාවාදීම් පිටුපස පහසුකම් සපයන මහමොළකරු ඉදිරියේදී අනාවරණය කරන බවයි. කල් නොගොස් එය සිදුකරන ලෙස බොහෝ දෙනෙක් අපගෙන් ඉල්ලා සිටියා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකින් පසු සාක්ෂි සහිතව අනාවරණය වූ එම මහමොළකරු පිලිබද මෙලෙස තොරතුරු වාර්තා කිරීමට අප තීරණය කළා.


    පුත්තලම දිස්ත්‍රික් T10 ක්‍රිකට් තරගාවලියට ක්‍රිකට් ආයතනයෙන් පහසුකම් ලබාදී ඇත්තේ එම ආයතන ප්‍රවාහන සම්බන්ධීකාරක ජගත් ජයවර්ධන හා දේශීය තරගාවලි සහය කළමනාකරු චින්තක ජයනාත් බව සදහන්. ඔවුන් දෙදෙනාට ඒ සදහා උපදෙස් ලබාදී ඇත්තේ ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න බවයි වාර්තා වන්නේ.  චින්තක ජයනාත් මෙලෙස දේශීය ක්‍රිකට් තරගාවලියේදී අවස්තා රැසක රවීන්ගේ පානදුර ක්‍රීඩා සමාජයට හා සභාපති ශම්මිගේ CCC ක්‍රීඩා සමාජයට වාසිදායක ලෙස ද කටයුතු කර තිබෙනවා. ඒ එම ක්‍රීඩා සමාජවලට වාසිදායක ලෙස තරගාවලි සැලැස්ම සකස් කරමින්. එම හිතවත්කමට බුකීකරුවන්ගේ මෙම තරගාවලිය වෙනුවෙන්ද පහසුකම් සපයීමට ඔවුන් දෙදෙනාට උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. මීට පෙර තරග පාවාදීම් සදහා රවීන් වික්‍රමරත්න සම්බන්ධ බවට ක්‍රීඩා අමාත්‍යාංශ පරීක්ෂණයකින් තහවුරු වී තිබුනේ මෙලෙසයි. 


    විෂමාචාර සිදු වූවේ යැයි සදහන් තරගයේදී පානදුර ක්‍රීඩා සමාජය එම තරගවාරයේ ‘බී‘ කොටසේ අංක එකට පැමිණ පළමු පෙළ තරගාවලියට උසස්වීමක් ලබා ගැනීම සදහාත්, කළුතර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් පහතට වැටීම (Demote) සිදුනොවීමට වගබලා ගනිමින් මෙම තරග පාවාදීම සිදුකර ඇතැයි වරාය අධිකාරී පිලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණිල්ලක් යොමුවී තිබුණා. එමෙන්ම තරග තීරකවරයා හා විනිසුරුවන් ද මෙම තරගයේ විෂමාචාර සිදුවූ බවට සාක්ෂි සටහන් කොට ඇතැයි තරගාවලි කමිටු සභාපති බන්ධුල දිසානායක පැවසුවා.

    කලුතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 2017 වසරේ ජනවාරී 23 – 25 අතර පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් කලුතර කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 390 ක් රැස්කළ අතර දෙවන දිනයේ තරගය නතර කරද්දී පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 180 ක් ලබා සිටියා. සැකයට තුඩුදෙන ප්‍රශ්නකාරී සිදුවීම ආරම්භ වූ තුන්වන හා අවසාන දිනය තුළදී තවත් ඕවර් 23. 3 ක් තුළ ලකුණු 243 ක් රැස් කරමින් පානදුර පිල පළමු ඉනිම ලකුණු 423 ක් දක්වා ඉහළ දමා ගත්තා.

    දෙවැනි ඉනිමේ ක්‍රීඩා කළ කලුතර ක්‍රීඩා සමාජය එක්දින තරගයක් සේ ක්‍රීඩා කරමින් ඕවර් 22.5 කදී සියලු දෙනා දැවී ගියේ ලකුණු 197 කටයි. වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාංගණයේ මඳ අදුරු තත්ත්වයකදී ක්‍රීඩා කරමින් ජයග්‍ර‍හණයට අවශ්‍ය වූ ලකුණු 165ක ඉලක්කය ඕවර් 13.4කදී කඩුලු 7ක් දැවී වාර්තා කොට, ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි වරාය අධිකාරී පිල අභිබවා පානදුර පිල ඉදිරියට ගියා. ලකුණු ලබා ගැනීමේ දළ වේගය ඕවරයකට ලකුණු 12.4ක් පමණ වූ අතර පානදුර පිලේ නායක චාමර සිල්වා අසනීප බව පවසා ඉනිම දෙකේදීම පන්දුවට පහරදීමට පැමිණ සිටියේ ද නැහැ.

    පානදුර ක්‍රීඩකයන් දිගට හරහට පහර එල්ල කිරීමේදී කලුතර ක්‍රීඩකයන් යාර තිහේ සීමාව තුළ පන්දු රැකීමේ නිරතව සිටිමින් පන්දුව සිතාමතා හතරේ සීමාව වෙත යෑමට ඉඩ හැර සිටි බවට ද චෝදනාවක් වුණා. තරගයේ අවසන් දිනය තුළ දෙපිලම ලකුණු 607ක් වාර්තා කළ අතර කඩුලු 23ක් බිඳ වැටුණා. එවැනි විශාල ලකුණු ගණනක් ඕවර් 60. 4 ක් තුල ලබා ගැනීමද සැකයට තුඩුදුන් කරුණක්වී තිබුණා.

    මේ අනුව මේ පිලිබද පරීක්ෂණයක් පැවැත්වීමට එවක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කටයුතු කලේ පාලිත කුමාරසිංහ කමිටුව හරහායි. එම කමිටු වාර්තාවේ සාක්ෂි සහිතව අනාවරණය කර ඇත්තේ එවක උප ලේකම්, වත්මන් ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මෙම තරගය පාවාදීමට සෘජුව සම්බන්ධ බවයි. එමෙන්ම ඔහුට එරහිව කටයුතු කළ යුතු බවත් එහි දැක්වෙනවා. ලංකාවේ ක්‍රීඩා විශමාචාර සැගවීමට මුදල් හා කාන්තාවන් ලබාදීමෙන් පහසු බවට ප්‍රසිද්ධ රහසක් තිබෙනවා. මෙම කමිටු වාර්තාව එලෙස හඹස් පෙට්ටියට දමා අගුලු දමා සැගවූ තවත් එක් වාර්තාවක් වනවා. ක්‍රීඩා අමාත්‍යාංශය සැගවූ එම වාර්තාවයි මේ.


    යහපාලන රජයේ තිබූ අඩුපාඩු හේතුවෙන් 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කර ගත්තේ සෞභාග්‍යයේ දැක්මට අනුව රට ගෙන යනු ඇති බවට විශ්වාස කරමින්. එහි ඇති ප්‍රමුඛ පොරොන්දුවක් වන්නේ සැමට එක නීතියක් බවයි. එය පොතේ ඇති තවත් වචන පෙළක් පමණක් නොවන බව ඔප්පු කිරීම රජයේ වගකීමක් වනවා. එහෙත් පසුගිය දිනවල අප දූෂණ අක්‍රමිකතා ගණනාවක් ආවරණය කළා. ඒ අතර මත්ද්‍රව්‍ය වෙළඳාම සමග ක්‍රිකට් ආයතනය සම්බන්ධ බවට සාක්ෂි සහිතව සිදුකළ අනාවරණය මතක ඇති. එහෙත් මෙතෙක් ඒ වෙනුවෙන් හෝ කිසිවක් සිදුව නැහැ. ඊට හේතු වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම වෙනුවෙන් මෙවර මැතිවරණයට මෙම ක්‍රිකට් දූෂිතයන් වියදම් කිරීම බවට රාවයක් පවතිනවා. ඒ අමාත්‍ය ඩලස් අලප්පෙරුමගේ බෙර සද්දය විතරයි අල්ලපු කස්තිරමක් නෑ යන කතාවත් සමගයි.


    රජයට අප සාක්ෂි සහිතව තොරතුරු රැසක් ලබාදී තිබෙනවා. අඩුම තරමේ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ අරමුණ ඇතුව කටයුතු කරන්නේ නම් මෙම ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තාව හෝ ක්‍රියාත්මක කරන ලෙස අප මතක් කරනවා. එවිට ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ලබා ඇති විරුදාවලියට අභියෝග කළ හැකියි. එසේ නොවන තාක් කල් එම නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේ සනිටුහන් වනු ඇති. එමෙන්ම පසුගිය කෝප් කමිටුව ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා රැසක් අනාවරණය කළා. එහෙත් මෙතෙක් ඒ කිසිවක් වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. බීරි අලින්ට වීණා වැයීමක් වී තිබූ ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා අනාවරණය මේ වන විට පිපෙන් නැති පොහොට්ටුවක් බවට පත්ව වියලෙන බවට සැකයක් පවතිනවා.

    අප හද පන්නුවා. ඒ ක්‍රිකට් ඇතුලු රටේ සමස්ථ ක්‍රීඩාවම එලිය කිරීම සදහායි. එහෙත් හද නොබලා ඇගිල්ල දෙස බලනු ඇතැයි සැකයක් පවතිනවා. ඒ වත්මන් රජයේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන බවට ඇතමුන් පැවසීම හේතුවෙන්.


    සබැඳි පෙර ලිපි 

    SLC ඇතුලේ ඉන්න බුකී ඒජන්තලා මෙන්න


    පවාදීම් එක්ක ක්‍රිකට් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයටත් එක්වෙලා ? Exclusive Exposed



    No comments