• Breaking News

    ලංකාව පැසිපන්දු, පාපැදි හා වොලිබෝල් ජාත්‍යන්තර තරගත් පාවාදී මාට්ට - Exclusive Exposed

    ක්‍රිකට් මුදලට පාවාදී ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පළමු තැන දිනා සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා දේශපාලන උවමනාවන් වෙනුවෙන් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එම කාලයේ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. එය හුදෙක් හිතලුවක් බව මේ වන විට සනාථ වී අවසන්. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශ විශේෂ විමර්ශනයකදී පාවාදීම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ අනුව තවත් ක්‍රීඩා තුනක පාවාදීම් පිලිබද වහාම පරීක්ෂණ සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්. රුවන්චන්ද්‍රට නිර්දේශයක්ද ලැබී අවසන්.


    2019 දෙසැම්බර් 01 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්දු නුවර පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකා සහභාගීත්වය හා ප්‍රතිඵල සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය ඩලස් අලප්පෙරුම කමිටුවක් පසුගියදා පත්කලා. ඔවුන් එය සිදුකර වාර්තාවද මේ වන විට ලබාදී අවසන්. එහිදී විශේෂ විමර්ශණයක් සිදු කළ යුතුයැයි පෙන්වා දුන් කරුණු 11 ක් දක්වා තිබෙනවා. 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 563 දෙනෙක් එක්වුණා. මෙය විනෝද හා වන්දනා නඩයක් බවට පත්වුණේ ඉතිහාසගත පරාජයන් වාර්තා කරමින්. මේ අනුව 12 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙල පදක්කම් සටහනේ දෙවන තැන දිනා ගත් ශ්‍රී ලංකාවට තුන්වන තැන දක්වා පසු බැසීමට සිදුවුණා. ඒ පාවාදීම් නිසා බව මෙම වාර්තාවේ සාක්ෂි සහිතව දැක්වෙනවා.


    ඒ අතර කාන්තා පැසිපන්දු කණ්ඩායම හිතාමතා ම පරාජයට යොමු වී ඇති බව සනාථ වී තිබෙනවා. පැසිපන්දු තරග පුකාරා හා කත්මන්දු නගර කේන්ද්‍ර කර පැවැත්වුණා. පුකාරා වෙත කිසිදු නිලධාරියෙක් සහභාගි වූයේ නෑ. ඒ නවාතැන් ගැනීමට තැනක් නැති බව කියමින්. කෙසේ වෙතත් තරගාවලියට පෙර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල සමග ක්‍රීඩා අමාත්‍යාංශ අධ්‍යක්ෂ අයි.පී විජේරත්න හා ජේෂ්ඨයින් දෙදෙනෙක් කත්මන්දු වෙත ගියා. එය තවත් විනෝද හා වන්දනා චාරිකාවක් කරගත් ඔවුන් කිසිදු විටක එරට තානාපති කාර්යාලයෙන් ආධාර හා සහයක් ඉල්ලා නෑ. තානාපති කාර්යාලය සේවකයෙක් lankasportsnews වෙත කියා සිටියේ මේ හේතුවෙන් තරගාවලියේ ඇතිවූ සියළු ගැටළු මතුවූ බවයි. එමෙන්ම කත්මන්දු හි පැවති පැසිපන්දු තරග නැරඹීමට හෝ කිසිවෙක් එක්ව නැහැ. ඒ එදින නිලධාරීන් බුදු රජාණන්වහන්සේ ඉපදුණු බව සැලකෙන ලුම්බිණියේ වන්දනාවේ ගොස් සිටීම හේතුවෙන්.

    නිලධාරීන් නොවීමේ වාසිය ගත් පාවාදීම් කප්පිත්තන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම මාලදිවයින් කණ්ඩායමට පරාජය වුණා. ඒ මාලදිවයින් කණ්ඩායමේ පුහුණුකරුගේ රැකියාව බේරා දීම වෙනුවෙනුයි. මාලදිවයින් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ එරට සිටින ශ්‍රී ලාංකිකයෙක්. ඔහු හා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු කලකට ඉහත එකට සිටි අඹ යාලුවන්. මාලදිවයින් පුහුණුකරු සේවය දීර්ඝ කිරීම තීරණය කිරීමට නියමිතව තිබී ඇත්තේ මෙම තරගාවලියෙන් පසුවයි. බම්බලපිටිය ඩිපෝ පොලිස් නේවාසිකාගාරයේ ඔවුන් දෙදෙනා ජීවත් වූ මිත්‍රත්වය වෙනුවෙන් මෙම පාවාදීම සිදුව ඇත්තේ තවත් වරප්‍රසාද ද සමග බව සදහන්. මේ අනුව මෙම පාවාදීම ගැන සාක්ෂි සහිතව වාර්තාවේ දැක්වෙනවා.


    මේ අතර පා පැදි (MOUNTAIN BIKE DOWNHILL) ඉසව්වේ සිදු වූ තරග පාවාදීම සම්බන්ධව දැනට පොලිස් නීති නිලධාරීන් විසින් පරීක්ෂණයක් පැවැත්වීමට  ලේකම්තුමා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති නමුත් දෙපාර්තමේන්තුව විසින් ද සුදුසු පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු බව මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. එමෙන්ම වොලිබෝල් කාන්තා කණ්ඩායම ඉතා නොසැලකිලිමත්ව හිතාමතාම සිදු වූ පරාජය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව මෙසේ පසුබෑම පිලිබදව එම ක්‍රීඩිකාවන්ගෙන් හා නිළධාරීන සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට යොජනා කර තිබෙනවා.

    ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේ මේ අනුව මෙම පාවාදීම් සදහා කටයුතු කළ හැකියි. මේ අනුව එම විශේෂ විමර්ශන ඒකකයට විධිමත් පරීක්ෂණයකින් පසු මෙම වරදකරුවන්ට එරහිව කටයුතු කරන තුරු රටම බලා සිටිනවා. නැත්නම් නීති පොතට පමණක් සීමාවූ දේශපාලන දඩයම් සදහා භාවිතා කරන මෙවලමක් පමණක් බවට එය පත්වනු ඇති. පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක්ම නිර්දේශ ඉදිරිපත් කර ඇති මොහොතක ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර එය සිදු නොකරන්නේ කාගේ උවමනාවටදැයි ප්‍රශ්නයක් මතුවනවා. ක්‍රිකට් නම් සල්ලි වලට හා ලබාදෙන සුර සැප වෙනුවෙන් මුදලට තරග පාවාදීම් හා දූෂණ අක්‍රමිකතා යට ගසන බව ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ලවන ප්‍රසිද්ධ චෝදනාවක්. මේ අනුව මෙම කටයුතු යට යන්නේ වෙනත් වටයකින් ලේකම්වරයා සතුටු කිරීම හේතුවෙන්දැයි ප්‍රශ්නයක් මතුවනවා. ලේකම් රුවන්චන්ද්‍ර එවැන්නකට හසුවී ඇතැයි කීමට දැන්ම කල් වැඩියි.


    මෙම පරීක්ෂණ හෝ පවත්වා තරග පාවාදීම් වැලැක්වීමේ පනත ක්‍රීඩාව බැද දැමූ ගැරඩියෙක් නොවන බව දඩුවම් ලබාදී ඔප්පු කර පෙන්වන්න. එවිට සියළුම පාවාදෙන්නන් බයෙන් තැතිගෙන ඉදිරියේදී සිදුවීමට නියමිත සිදුවීම් එකක් හෝ නතර වනු ඇති. පාවාදෙන්නන්ට දෂ්ඨ කරන ක්‍රීඩාව බැද දැමූ නාගයා ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත බව ඔප්පු උදාවී ඇති අවස්තාව අපතේ නොයවන ලෙස lankasportsnews බලධාරීන්ට මතක් කරනවා. දූෂණ අක්‍රමිකතා ගැන වාර්තා නොකරන වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සිටීම පහසුවක් කරගත් කාලය කවදා වෙනස් වනු ඇත්දැයි අපට ඇත්තේ සැකයක්. මෙම තරගාවලියේ දූෂණ අක්‍රමිකතා රැසක් අප ඉදිරියේදී අනාවරණය කරන බවත් අවසන් වශයෙන් සටහන් කරනවා.








    No comments