• Breaking News

    විනය කැඩීමේ දඩුවම ලෙස ජාතික පුහුණුකරු කරලා - Exclusive Exposed

    ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ බව මේ වන විට ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. එය රැක ගැනීම වෙනුවෙන් විශාලතම කාර්යභාරය ඉටු කරන්නේ මෙරට දේශපාලනය හා ක්‍රීඩාව බව සදහන් කළ යුතුයි. ක්‍රීඩාව කියූ විට ඔබේ මතකයට එන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බව අප දන්නවා. එහෙත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 69 ක් ඇති බව ඔබ දන්නවාද ? මෙම බොහෝ සංගම් කීර්තිමත් විදෙස් සංචාර ඒජන්සි ලෙස රට තුල ක්‍රියාත්මක වනවා. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඇති ජාතික බැඩ්මින්ටන් සංගමයටත් අත්ව ඇත්තේ සෝචනීය ඉරණමක්. ක්‍රිකට් හෙනහුරා බැල්ම දාන් සිටීම නිසා මෙම කොඩිවිනය සිදුව ඇති බව ඇතමුන් පවසනවා. ක්‍රිකට් මෙන් මුදල් නැති නිසා අනෙක් විහිලු සියල්ල ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉටු කරනවා.

    ජාතික බැඩ්මින්ටන් සංගමයේ ජාතික පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ ශ්‍රීමාල් අපොන්සුයි. ඔහුට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක වැටුපක් ගෙවනවා. ඊට අමතරව ඔහු සිය බිරිද සහය පුහුණුකරු ලෙස කටයුතු කරන බව කියා වැටුපක් ලබා දෙන ලෙස ජාතික සංගමයෙන් ඉල්ලා සිටියා. එහෙත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් බල්ලා පසුපස නැට්ට එන්නාක් මෙන් යන කියමන සිහියට නගමින් ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ශ්‍රීමාල් පසුපසද බිරිද පැමිණෙනවා. එතරම් පරිස්සම් කිරීමට හේතු වී ඇත්තේ ඔහු කීර්තිමත් විනය කඩන්නෙක් වීමයි.

    කොරෝනා වෛරසය ආරම්භ වූ තැන ලෙස සැලකෙන චීනයේ වූහාන් කේන්ද්‍ර කර පසුගිය වසරේ පැවති බැඩ්මින්ටන් ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කර ගිය කණ්ඩායමේ පුහුණුකරු වූයේ ශ්‍රීමාල් අපොන්සුයි. ඔවුන් තරගාවලිය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිතා කළේ ට්‍රාන්සිට් ගුවන් යානා ප්‍රවාහන ක්‍රමයයි. ට්‍රාන්සිට් එකකදී පිටතට යාම සාමාන්‍ය ක්‍රියාවලිය නොවේ. එහෙත් මිතුරකුගේ නිවසේ බේබදු සාදයක් සදහා ශ්‍රීමාල් කණ්ඩායම සමගින් පිටවී තිබෙනවා. එහිදී බමන මතින් මත්ව රැය පහන්කර යලි ගුවන් තොටුපලට එන විට ඔවුන්ට නියමිත ගුවන් යානය ශ්‍රී ලංකාව බලා පැමිණ අවසන්. මේ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ක්‍රීඩිකාවන්ද සමගින් අතරමං වනවා. ඔවුන් යලි ශ්‍රී ලංකාව බලා පසුව පැමිණීම සටහන් කරන්නේ යලි ගුවන් ප්‍රවේශ පත්‍ර අලුත් කිරීමෙන් පසුවයි. මෙලෙස ජාතික කණ්ඩායම අමාරුවේ දැමීමේ වරදට කිසිදු පරීක්ෂණයක් නැතුව ඔහුට ජාතික පුහුණුකරු ලෙස පත්කර තිබීමම ක්‍රීඩාවේ පරිහානිය පෙන්වන කැඩපතක්.

    මෙම පුහුණුකරු අති විශිෂ්ඨ දැයි අප සොයා බැලුවේ සියලු විනය විරෝධී ක්‍රියා වැලැක්වීමට වෙනත් ක්‍රමයක් භාවිත කිරීමට යෝජනා කළ හැකිවීම නිසයි. ඊට එක් උදාහරණයක් පමණක් ප්‍රමාණවත් බව ක්‍රීඩකයෙක් Lankasportsnews වෙත කියා සිටියා. අපොන්සු ජාතික කණ්ඩායම භාර ගැනීමට පෙර පොඩි තිලිණි ලෙස ප්‍රසිද්ධ තිලිණි හැන්දහේවා මෙරට සිටි කැපී පෙනෙනම ක්‍රීඩිකාවයි. එහෙත් මේ වන විට ඇය පරවෙන කුසුමක් වී අවසන්. ඊට හේතු වී ඇත්තේ යුගල තරග සදහා ඇගේ දායකත්වය වැඩියෙන් ලබා ගැනීමට ගොස් කේවල තරග රටාව ගිලිහී යාමයි. ක්‍රීඩකයන් කළමනාකරණය කිරීමට ජාතික පුහුණුකරු අසමත් බව හා අදක්ෂතාව මේ හරහා පෙන්නුම් කරන බව එම ක්‍රීඩකයා වැඩි දුරටත් Lankasportsnews වෙත කියා සිටියා.

    ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට මතක් කිරීමට සිදුව ඇත්තේ මේ වන විට ක්‍රීඩාව වල් වැදී ඇති බවයි. ඉදිරි රජයක් පැමිණ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටින කූඩැල්ලන් එලවා දැමිය යුතුයි. අනතුරුව ක්‍රීඩා සංගම් වෙත හැරිය හැකියි. ක්‍රීඩා අමාත්‍යාංශය සුද්ද නොකර ක්‍රීඩා සංගම් සුද්ද කිරීම යනු කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වාගේ ක්‍රියාවකි. මේ සියල්ල සිදුවීමට නම් මෙවර හෝ මහ මැතිවරණයට ඡන්දය භාවිතා කිරීමට යන විට ඔබේ මොළය රැගෙන යන්න. එය ගෙදර තබා යන්න එපා.





    No comments