Friday, July 24, 2020

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩා පිටියේ වැඩ අමාත්‍ය ඩලස් යලි අරඹයි - Exclusive Exposed

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ගෝඨාභය රාජපක්ෂ නමින් ආරම්භ කිරීම මාධ්‍ය සංදර්ශනයකින් පසු අවසන් වුණා. ඒ හිටපු, වත්මත් ක්‍රිකට් ක්‍රීඩකයන් හා ජනතාව ඊට එරෙහිවීම හේතුවෙන්. එහෙත් එය යලි ආරම්භ කිරීමට රජය සූදානම් වන බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම පවසනවා. ලබන පස්වනදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) මැතිවරණ මහජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එය පැවැත්වුනේ දෙව්නුවරදීයි. ක්‍රීඩා පිටිය පොහොට්ටුවේ හැඩයට ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. මේ අනුව නැවත කොමිස් වෙනුවෙන් සුදු අලියෙක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් ඉදිපත්ව ඇත්තේ සාක්කු පුරවා ගැනීම සදහායි.


අක්කර 26 ක් පුරා ප්‍රේක්ෂකයන් 40,000 කට එකවර තරග නැරඹීමට රුපියල් මිලියන 8,000 වැය කරමින් මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ සැලැස්මට පළමුව විරෝධය පළකළේ මහේල ජයවර්ධනයි. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ක්‍රීඩා පිටි 4 ක් තිබෙනවා. ක්‍රීඩා පිටි 5 කදී ජාත්‍යන්තර එක්දින හා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග පැවැත්වෙනවා. එම එක් ක්‍රීඩා පිටියකට වසරකදී තරග 3 වත් ලැබෙන්නේ නැහැ. මේ අනුව මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන යෝජිත පළමු අවස්තාවේදීම Lankasportsnews අප මෙය මේ මොහොතේ සිදු නොවන එකක් බව කරුණු සහිතව වාර්තා කළා. එම ලිපිය පහතින් බලන්න.


එලෙස මතුවූ විරෝධය හමුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ ක්‍රීඩා පිටිය ඉදිකිරීමට යෝජිනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි. ඊට මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදෙන බව ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය ඊට කිසිදු මැදිහත්වීමක් නැති බව පවසමින්. මේ පිලිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ කිසිදු අත්සනක් හෝ බලධාරී සටහනක් නැතුවයි. එම තොරතුරු ඇතුලත් අප වාර්තා කළ ලිපිය පහතින් බලන්න.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස ශ්‍රී ලංකාවට ක්‍රීඩා පිටියක් ඉදි කිරීම සදහා මුදල් ලබා නොදෙන බව කියා සිටියා. ඒ මෙම ක්‍රීඩා පිටි යෝජනාව ආන්ඩුව සාක්කුවේ දා ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ගැසූ ගැටයක් බව සහතික කරමින්. ඒ පිලිබද අප ලිපියයි මේ.



එමෙන්ම ආන්ඩුව ක්‍රීඩා පිටිය ඉදිකිරීම හකුලා ගත්තේ මහ මැතිවරණය අවසන් වන තුරු පමණක් බව අප අනාවරණය කළා. ඒ හිටපු, වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ කතාවේ කරුණු උපුටා දක්වමින්. එය අද සත්‍යක් වී තිබෙනවා. එම ලිපිය මෙතනින් බලන්න.


බුකී හිමිකරුවෙක් ලෙස නම් කර ක්‍රිකට් ආයතන හෝ ක්‍රීඩා සංගම් තනතුරු දැරීම තහනමට ලක්කළ ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළේ කඩිනමින් ක්‍රිකට් තරග පැවැත්වීමට ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලෙසයි. එහෙත් එය සිදුවූයේ නෑ. මේ අනුව ඌව ක්‍රිකට් තරගාවලිය හා පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නමින් ඔට්ටු තැබීම් වෙනුවෙන් බුකීකරුවන් තරගාවලි පැවැත්වීමට ගොස් ඒවා තහනමට ලක්වුණා. මෙම තොරතුරු සාක්ෂි සහිතව ඇති අපගේ ලිපිය පහතින් බලන්න.



අනවශ්‍ය වියදම් සිදු කරමින් මෙලෙස කලින් කලට දේශපාලන බලය තමන්ට ඕනෑ ලෙස නවා ගැනීමට ක්‍රිකට් ආයතනය භාවිතා කළේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටි කෝලමයි. මෙලෙස සිදුවූ මුදල් නාස්තිය පිලිබද තොරතුරු ඇතුලත් අප ලිපිය පහතින් බලන්න.



මෙලෙස කලින් කලට ක්‍රිකට් ආයතන ප්‍රධානීන් සැලැස්මක් හෝ හදා මුදල් සාක්කුවට දා ගැනීමේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලම මේ වන විට තිරගත වන්නේ යාපනයේයි. ඒ ගැන අප පළකළ විස්තර සාක්ෂි ඇතුලත් ලිපිය පහතින්.



මෙලෙස කලින් කලට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින රජය, එම ක්‍රීඩා අමාත්‍යවරයා සැදී පැහැදී සිටින්නේ එමගින් හිමිවන අති විශාල කොමිස් කුට්ටි හේතුවෙන්. පසුගියදා අනාවරණය වූ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දූෂණ ඊට කදිම උදාහරණය වනවා. මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට රුපියල් බිලියන 5 කටත් වඩා වැය කර තිබෙනවා. එහෙත් පසුගියදා සිදුකළ රජයේ මූල්‍ය තක්සේරුවේ දැක්වෙන්නේ ක්‍රීඩා පිටියේ ඇත්තේ රුපියල් මිලියන 900 ක වත්කම් වටිනාකමක් බවයි. මේ අනුව එය රුපියල් බිලියනයක් ලෙස වැඩි කළත් රුපියල් බිලියන 4 ක් කොමිස් ලෙස වටේටම බෙදී තිබෙනවා. මෙම ක්‍රීඩා පිටිය ඉදිකර වසර 8 කට වඩා ගතව ඇතත් තවමත් නොගෙවූ රුපියල් මිලියන 1,500 ක මුදලක් බොල් ණයක් ලෙස ඉතුරුව තිබෙනවා. චයිනා හාබර් සමාගම හා වරාය අධිකාරිය එක්ව ඉදිකළ හම්බන්තොට ක්‍රීඩා පිටිය මේ වන විට සුදු අලියෙක් වී අවසන්.

එලෙසම මීට වසර 8 කට පෙර අති විශාල මුදලක් වැයකර නවීකරණය කළ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය යලි රුපියල් මිලියන 500 ක් වැය කර අලුත්වැඩියා කිරීමට කොන්ත්‍රාත් වෙනුවෙන් මුදල් පවා මේ වන විට ගෙවා අවසන්. ඒ එහි පළමු නවීකරණය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 1,500 ක් ඉදිකිරීම් සංස්තාවට ගෙවීමට ඉතිරිව තිබියදීයි. මෙමගින් ක්‍රීඩා පිටි ඉදිකිරීමෙන් රුපියල් බිලියන ගණන් කොමිස් කුට්ටි කඩා ගැනීමට හා අක්‍රමිකතා සිදු කිරීම ක්‍රියාවෙන් පෙන්වා ඇති ක්‍රිකට් ආයතනය හෝමාගම ක්‍රීඩා පිටිය ඉදිකිරීම එහි තවත් එක් දිගුවක් වනු ඇති. එන්න අපි ක්‍රීඩා පිටි රට පුරා ඉදිකර වසා තබමු. රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඊට එක් උදාහරණයක් පමණයි. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කිසිදු දේශීය ක්‍රිකට් තරගයක් සදහා ලබා දෙන්නේ නැහැ. වසර පුරාම ඔහේ වසා දමා තිබෙනවා. බොහෝ විට ක්‍රීඩා පිටි සදහා වසර ගණනකටම කිසිදු ජාත්‍යන්තර තරගයක් නොමැති බව කීමට හොදම උදාහරණය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියයි. පසුගියදා එහි තරගයක් පැවැත්වුනේ වසර 4 කට පසුවයි.

 
මෙවර මහ මැතිවරණය තීරණාත්මක වී ඇත්තේ රට සමග ක්‍රීඩාවේත් හැරවුම් ලක්ෂය වී තිබීම නිසයි. දේශපාලන වේදිකාවේ ඇසෙන රට බේරා ගැනීමේ අවසන් අවස්තාව නොව ක්‍රිකට් බේරා ගැනීමේ අවසන් අවස්තාව මෙය බව Lankasportsnews අපට සහතික කළ හැකියි. මෙවර ආන්ඩුවක් හදන විට ශක්තිමත් විපක්ෂයක් අත්‍යාවශ්‍ය වනවා. ඒ පසුගිය පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී සුනිල් හදුන්නෙත්ති අනාවරණය කළ පරිදි ක්‍රිකට් ආයතනයේ සිදුවන මහා පරිමාණ දූෂණ වංචා මැඩ පැවැත්වීමට ශක්තිමත් හඩක් නැගීම වෙනුවෙන්. ඒ මේ වන විට බුකීකරුවන් හා මුදලට තරග පාවාදීම් කප්පිත්තන් ලෙස ප්‍රචලිත සියල්ලන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව වටා එක්ව සිටීම හේතුවෙන්. ඔබ ක්‍රිකට් හා සමස්ථ ක්‍රීඩාවට ආදරේ නම් ඔබේ දරුවාගේ හෙට දවස සිතන්නෙක් නම් කරුණාකර මහ මැතිවරණයට මනාම දැමීමට යන විට ඔබේ මොළය රැගෙන යන්න. සුද්දා කලු සුද්දන්ට භාර දී ගියේ ණය නැති ශ්‍රී ලංකාවකි. එහෙත් අද ඉපදෙන්න ඉන්න දරුවා පවා විශාල ණය උගුලකට හසුව ඇත්තේ චීනයට රට උගස් වන තරමට පැමිණයි. තවදුරටත් වහල්කම් කර දේශපාලන පක්ෂ බදාගෙන සිටිනවාද ඔබේ දරුවා වෙනුවෙන් රටක් ඉතිරි කරනවාද ? තීරණය ඔබ සතුයි. ලංකාව දේශපාලන වහල් කමින් මෙවර හෝ මිදෙනු ඇතැයි කීමට තාම Lankasportsnews අපට නොහැකියි.










No comments:

Post a Comment