Tuesday, July 28, 2020

ඇමති ඩලස් සමගින් හොරකමේ ගිය ලේකම් ගැන පැමිණිලි ? Exclusive Exposed

ක්‍රීඩාව දූෂණයෙන් හා වංචාවෙන් මිරිකී ඇත්තේ ලිංගික අල්ලස්වලින් සතුටුවන අතරයි. සල්ලි විසි කරමින් පත්වන පත්වන ක්‍රීඩා ඇමතිවරයා සාක්කුවට දා ගන්නා ඔවුන් ක්‍රීඩාව සූදු පොලක් බවට පත් කර අවසන්. ලෝකයේ දූෂිතම ක්‍රිකට් රට ලෙස නම් කළ ශ්‍රී ලංකාව ඉන් ඔබ්බට යමින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුලදී පැසිපන්දු, වොලිබෝල් හා පාපැදි ඇතුලු ඉසව් ගණනක් පාවාදීම් සිදුව ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ කමිටුවක්ම සාක්ෂි සහිතව අනාවරණය කර තිබෙනවා. ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේ විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇතත් මේ පිලිබද මෙතෙක් ඔවුන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම පුදුමයක්. එසේ වීමට හේතුව වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර සිය මූල්‍ය වංචා වසා ගැනීම වෙනුවෙන් හොරුන්ව රැකීමයි. හොරෙක් තවත් හොරෙක්ට දඩුවම් ලබා නොදෙන බව ඔහු සහතික කරමින් සිටිනවා.


කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සිදුකර ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා පිලිබද සොයා බලන ලෙස ඉදිරි දිනවලදී ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට පැමිණිලි කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකාරීන් පිරිසක් සූදානම් වනවා. එහෙත් එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් බව මෙම ලිපිය අවසානයේදී ඔබට පැහැදිලි වනු ඇති. ඒ ලේකම් ලෙස ඔහු මෙම දූෂණ හා අක්‍රමිකතා අමාත්‍යවරයා පත්කළ කමිටු මගින් සාක්ෂි සහිතව අනාවරණය කළත් කිසිවකට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ.


වත්මන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මීට පෙර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යටතේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. එහිදී මහා පරිපානයෙන් දූෂණ අක්‍රමිකතා සිදුකර අතටම හසුව තිබියදී ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම යලි සිය ලේකම් ලෙස උසස්වීමක් ලබාදී බදවා ගැනීම හාස්‍යජනකයි. ලංකාවේ බොහෝ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් විදෙස් සංචාර හා බෝතයට පෑන හසුරවන බව ඔහු පෙර සිටම දැනුවත්ව සිටීම මෙලෙස මහ දවල් ක්‍රීඩා අමාත්‍යාංශය කොල්ල කෑමට පහසු වී ඇති බව ලියන්නේ කණගාටුවෙන්.



2016 පෙබරවාරි 05 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ ගුහාති හිදී 12 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙල පැවැත්වුණා. ඒ වන විට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යටතේ කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර කටයුතු කළේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙසයි. මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 477 ක් එක්වුණා. ඔවුන් සමග නිලධාරීන් 288 දෙනෙක් සහභාගි වූයේ මාධ්‍යවේදීන් 34 ක් ද සමගයි. මේ අනුව 799 දෙනෙක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් 82,183,570.00 ක් වියදම් කළා. ඒ හොර පාරෙන් තරගාවලියට එක්වූ නීරීක්ෂණ නිලධාරීන් 101 දෙනෙක්ද සමගයි. මේ අනුව නිලධාරීන් සියයට 60 ක් දක්වා සමස්ථ ගණන ඉහළ ගියා. එය ක්‍රීඩා පනත උල්ලංඝණය කිරීමක් වනවා. ක්‍රීඩා පනතට අනුව තරගාවලියකට එක්විය හැක්කේ ක්‍රීඩකයන් ගණන හා බැලූ විට නිලධාරීන් සියයට 30 ක් පමණයි. එහෙත් එය දෙගුණයකින් වැඩි කරමින් එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රුවන්චන්ද්‍ර කටයුතු කර ඇත්තේ ගුවන් ප්‍රවේශ පත්‍ර හා මූල්‍ය වංචා රැසක් ද සිදු කරමින්.



මෙම තරගාවලියට නිරීක්ෂකයන් ලෙස එක්වූ 101 දෙනා සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර, නවාතැන් පහසුකම් හා කෑම බීමත් ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දී තිබෙනවා. එහෙත් එම නිලධාරීන් සදහා දිනකට ඇමරිකානු ඩොලර් 100 බැගින්ද ලබා දී ඇත්තේ රජයේ සියළු චක්‍රලේඛ උල්ලංඝණය කරමිනුයි. රුවන්චන්ද්‍ර එලෙස වටේටම බෙදා දී හිත හොද හොරා වෙමින් හොර නායකයා වැඩිම මුදල වෙන් කරගත යුතුය යන කියමන සිහිපත් කරමින් ඇමරිකා ඩොලර් 5000 ක් සිය සාක්කුවට දාගෙන ඇත්තේ සියළු පහසුකම් ද සමගින්. මේ පිලිබද පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් විගණන අධිකාරී ඩී.ජී.ඒ.එස් අනුලසිරි ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇත්තේ 2016 අගෝස්තු 05 වැනිදායි. එහෙත් පරීක්ෂණයක් වෙනුවට උසස්වීමක් සමගින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස රුවන්චන්ද්‍ර වත්මන් රජය යටතේ පැමිණීම මෙරට ඇති ජරා ජීරණ පාලනයේ කැඩපතක් වනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර කියුවේ දූෂණයෙන් තොර පිරිසිදු සෞභාග්‍යයමත් රටක් බිහි කරන බවයි. එහෙත් සිදුව ඇත්තේ හොරුන්ට උසස්වීම් දී ඔවුන්ට සෞභාග්‍යය උදාකරලීම බව දැන් අප ඔප්පු කිරීමට මෙම ලේකම් රුවන්චන්ද්‍රම භාවිතා කරනවා.


2016 දිගුව 2019 වසරේ කත්මන්දු කේන්ද්‍ර කර පැවති දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී සිදු කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයායි. ඒ කලින් සිටම සිය මිතුරන් වූ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී වික්‍රමසිංහ, අයි.පී විජේරත්න හා ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් නම් හොර තුන් කට්ටුවේ සහයත් සමගින්.



මෙවර තරගාවලියේ විශාලතම මූල්‍ය වංචාව සිදුව ඇත්තේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදීයි. 2008 අප්‍රේල් 28 දිනැති අංක 43 දරණ මුදල් චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතන විදේශ ගමන් සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතු වන්නේ රජයේ අනුමත ආයතනයකින් පමණයි. එහෙත් මෙවර තරගාවලියට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇත්තේ ට්‍රැවල් සෙවන් සමාගමෙන්. ඒ දෙගුණයක මුදලක් වැඩිපුර ගෙවමිනුයි. මෙම දිනවල සංචාරය සදහා බී.ඕ.සී ට්‍රැවල්ස් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයටම රුපියල් 70,000 ක මුදලකට ප්‍රවේශ පත්‍ර ලබා දී තිබෙනවා. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රවේශ පත්‍ර 484 ක් ට්‍රැවල් සෙවන් ආයතනයෙන් ලබාගෙන ඇත්තේ එකක් රුපියල් 139,800 ක මුදලකටයි. මේ අනුව අමාත්‍යාංශය වැඩිපුර ගෙවා සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 338 ක් වනවා. මෙම තරගාවලිය පිලිබද සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයම පත්කළ ග්‍රෙගරි ද සිල්වා සභාපතිත්වයෙන්  යුත් සිව් පුද්ගල කමිටුව කරුණු රැසක් මේ පිලිබදවද දක්වා තිබෙනවා. රුපියල් ලක්ෂ 338 සාක්කුවට දා ගත්ත කෙනෙක් නැති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.


2016 නිලධාරීන් 101 දෙනෙක් නිරීක්ෂකයන් ලෙස ගෙන ගිය ක්‍රීඩා අමාත්‍යාංශය මෙවර දකුණු ආසියා ක්‍රීඩා උළලෙට එක්වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් 31 දෙනෙක් සදහා රුපියල් ලක්ෂ 130 ක් අනවශ්‍ය ලෙස බෙදා දී ඇතැයි තහවුරු වී තිබෙනවා. 



මහ කකුලුවා ඇදේට ගොස් පොඩි උන්ට කෙලින් එන ලෙස කියන මාධ්‍ය සංදර්ශන සමග මේ දිනවල තිරගත වනවා. කීර්තිමත් ට්‍රැවල් ඒජන්සියක් හා මහ දවල් හොරකම් කර අත පිහදා ගැනීමට පහසු හොර ගුහාවක් වන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පුටු එකම පිරිසක් අත හුවමාරු වන බව මතක් කරනවා. ඔවුන් හැමදා මේ පුටු වෙනුවෙන් කෙල හලමින් පත්වන සෑම රජයක්ම හා ඇමතිවරු අන්දන් සිටින්නේ ඔවුන් නැත්නම් ක්‍රීඩාවක් නැති බව කියමින්. එහි සත්‍යක් ඇති බව Lankasportsnews මාධ්‍ය කණ්ඩායම පිලි ගන්නවා. ඒ ඔවුන් නැත්නම් ක්‍රීඩාවේ ක්‍රීඩාවක් නැති බවයි. හොරකම, දූෂණය හා අක්‍රමිකතා සිදු කිරීමට ඔවුන් කුමන හෝ ගේමක් ගසා යලි හිටියාට වඩා හොද තැනකට යලිත් පත් වනවා. ඊට වත්මන් ලේකම් රුවන්චන්ද්‍ර උදාහරණය පමණක් ප්‍රමාණවත්. ඉතින් මේ වංචා ඔබ අනුමත කරනවාද ? ඒ පිලිබද තීරණය ඔබ සතුයි. එකම පක්ෂයක කූඩැල්ලන් නොවී හිතන්න. එයට ඔබ මොළය භාවිතා කරන. භාවිතා නොරන දේ මකුලු දැල් බැද විවිද ලෙස හානියට පත්වන බව සිහිපත් කරනු කැමතියි. මේ ඔබ විනාස කරන්නේ හෝ රැක ගන්නේ ඔබේ උපන් නූපන් දරුවාගේ අනාගතය බව පමණක් අවසන් වශයෙන් ලියා තබනවා. මෙවර මහ මැතිවරණයේදී අනාගතයේ පසුතැවීමට සිදුවන තීරණ නොගන්නා ලෙස පමණක් ඉල්ලා සිටිනු කැමතියි.




 







1 comment:

  1. You can reduce 1 corrupted MP from other parties, If you vote for Malimawa (NPP) and increase 1 MP from NPP (Malimawa).

    ReplyDelete