• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලන් කයි - ICC දැඩි අවවාදාත්මක ලිපියක් ? Exclusive Exposed | Video

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිලිබද දැඩි අවධානයක් යොමුකර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය Lankasportsnews වෙබ් අඩවිය කළ විමසීමකදී කියා සිටියා. ඔවුන් වෙත රාජ්‍ය මැදිහත්වීම අයහපත් ලෙස යොමුව ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මාධ්‍ය එක්ක නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ. මේ පිලිබද සැලකිලිමත් වෙමින් ඉදිරි දින කිහිපය තුලදී අවවාදාත්මක ලිපියක් නිකුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උදහසට ලක්ව ඇත්තේ අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත්වීම් සිදුවීම හේතුවෙන්. මෙම තත්වය පාලනය වූයේ නැත්නම් ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට උවත් සූදානම් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මාධ්‍ය නිලධාරියා වැඩි දුරටත් Lankasportsnews වෙත කියා සිටියේ. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාවෙන තොප්පි දමා ගැනීමට උපන් හපන්කම් දක්වනවා. එලෙස අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන කනෝ කනෝ කියා කෑ ගැසීම මේ වන විට පුරුද්දක් වී තිබෙනවා. මෙලෙස අලුතෙන්ම දමාගත් නයා බවට පත්ව ඇත්තේ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරගාවලියයි. එම තරගාවලිය බුකීකරුවන්ගේ තෝ තැන්නක් වූ තරගාවලියක් බව මේ වන විට තහවුරු වී අවසන්. මෙම තරගාවලියට ශ්‍රී ලංකා නාමකින් එක්වූ කණ්ඩායමේ සාමාජිකයින් තුන් දෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට තහනමට ලක්කර තිබෙනවා. එලෙස තාවකාලික තහනමට ලක්ව සිටින ක්‍රීඩකයන් ජනාධිපති හරහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් සදහා පසුගියදා එක්වුණා. එය දෙබරයට ගල් ගැසීමක් වී අවසන්.


    හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන, වේගපන්දු යවන්නන් පුහුණුකරු නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේ මෙලෙස T10 ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් තහනමට ලක්ව සිටිනවා. එමෙන්ම මේ දිනවල දේශපාලන වන්දනාවේ නිරත, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ක්‍රීඩකයෙක් ඇතුලත් කිරීමට රුපියල් ලක්ෂ 10 ක් ලබාදීමට ගොස් තහනමට ලක්ව සිටින සනත් බණ්ඩාර ජයසුන්දර ඔවුන්ගේ පානෙන් එලිය බැලීමට උත්සාහ කරනවා. ඒ ඔවුන් මෙම තහනමට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීම සමගයි. ඒ අනුව ජනාධිපතිවරයා මෙය හැරෙන තැපෑලෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට පරීක්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත පසුපස සනත් බණ්ඩාර ජයසුන්දර ගමන් කරන බවත් සදහන් කළ යුතුයි.


    මේ සියලුදෙනා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ මූලික කරුණු විමසීමට ඔවුන් පැමිණ සිටියේ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සමගයි. නීතිඥවරයා කියා සිටියේ 2017 වසරේ මෙම ඩුබායි T10  තරගාවලියට එක්වූ කණ්ඩායම නිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් නොවන බවයි. එවර පළාත් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට එක්වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයක් යටතේයි. ඊට එක්වූ කණ්ඩායම තෝරාගත් හා අනුමැතිය ලබා ගත් ආකාරය මෙතෙක් කිසිවෙක් පැහැදිලි කිරීමට අසමත්ව සිටිනවා. එසේ තිබියදී මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත තරගාවලියක්ද නොවේ. එහෙත් ක්‍රීඩකයන් තහනමට ලක්කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි. ක්‍රීඩකයන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ මේ පිලිබද විදිමත් පරීක්ෂණයක් සිදු නොවන බවයි. මේ අනුව වගකීමෙන් කටයුතු මාධ්‍යක් ලෙස Lankasportsnews වෙබ් අඩවිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්මේ පිලිබදවිමසා සිටියා.  

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුබද්ධ රටවල ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කරන නිල ප්‍රධානියායි. මේ අනුව ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් තීන්දු තීරණ ගනු ලබනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩකයන් මෙලෙස තහනමට ලක්කර පරීක්ෂණ සිදු නොකර සිටීමට ඔවුන්ට කිසිදු අයිතියක් නෑ. මේ න්‍යායේ සිට අප ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇමතූ විට එහි මාධ්‍ය අංශ නිලධාරියෙක් සමග ඇතිවූ සංවාදයේ කොටසක් මෙලෙස උපුටා දක්වනවා.

    අප මාධ්‍යවේදියා - ඇයි ඔබලා මෙම පරීක්ෂණ සිදු නොකර සිටින්නේ. 
    ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිල නිලධාරියා - අපිට බෑ මේ පිලිබද කිසිවක් කරන්න. ඒ අපට ලැබුනු නීතිමය උපදෙස් නිසයි.
    අප මාධ්‍යවේදියා - කරුණාකර පැහැදිලි කරන්න පුලුවන්ද ඒ පිලිබද ?
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරියා - ඔබ කියූ සියලුදෙනා සුවිට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කාරක අධිකරණ ක්‍රියාවලියක් අරන් තියෙන්නේ. ඉතින් එහි ප්‍රතිඵලයක් ලැබෙනතුරු අප සිටිනවා.
    අප මාධ්‍යවේදියා - ඒක ලැබෙනකම් මේ ක්‍රීඩකයන් අපහසුතාවට පත් කිරීම සාධාරණ නෑ නේද ?
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරියා - මේ පිරිසම තමයි අධිකරණයට ගියේ. ඊට කැදවීමක් ලැබෙනතුරු අප බලාසිටිනවා. එවිට අප සූදානම් අධිකරණයට කරුණු දැක්වීමට. එම ක්‍රියාවලිය අවසන් වන තුරු අප බලා සිටිනවා. එතෙක් කිසිවක් සිදු කිරීමට අපට හැකියාවක් නෑ. සමාවෙන්න.


    මෙම අධිකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් ඇමරිකානු ඩොලර් 8,000 ක ගෙවීමක් සිදුකළ යුතුයි. එහෙත් මෙතෙක් ඔවුන් එය සිදුකර නැහැ. මේ අනුව නඩුවක් ගොනුකර ඇතත් එය විභාග වන්නේ නෑ. මෙය සමස්ථ ක්‍රියාවලියම නතර කිරීමට හේතුව වී තිබෙනවා. මේ අනුව බැලූ විට වැරදි පාරේ ගොස් ඇත්තේ මෙම ක්‍රීඩකයන් හා සනත් බණ්ඩාර ජයසුන්දරයි. ඔවුන් තහනම ඉවත් කර ගැනීමට නොව තහනම දික් කර ගැනීම වෙනුවෙන් කටයුතු කර ඇති බව දැන් තහවුරු වනවා. මෙහිදී මතුවූ ප්‍රධාන කරුණ එසේ නිරාකරණය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රතු එලියක් දැල්වීම සිදුවුණා. ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිලිබද තමන්ගෙන් කරුණු විමසීමක් සිදු නොකර රාජ්‍ය මැදිහත්වීමක් ඔස්සේ දේශපාලන අතපෙවීමක් සිදුවීමට ඉඩ හැරීම අනුමත නොකරන බවයි. මේ පිලිබද ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමට ඔවුන් තීරණය කර ඇති බවත් කියා සිටියා.




    මේ අතර Lankasportsnews අප අනාවරණය කරගත් අනෙක් සිදුවීම වූයේ මෙම සිදුවීම වූ දින සිට අවිශ්ක හා නුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැටුප් ගෙවා නැති බවයි. එහෙත් දිගටම සනත් බණ්ඩාර ජයසුන්දරට නියමිත පරිදි වැටුප් ගෙවා තිබෙනවා. මෙලෙසම මීට පෙරත් මහා මූල්‍ය වංචාවකට අතටම හසුවී අදටත් ඇප මත සිටින පියල් නන්දනට ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වන තුරුම, එනම් මෑතක් වන තුරුම වැටුප් ගෙවා ඇති බවයි. මෙමගින් පැහැදිලි වන්නේ ක්‍රිකට් ආයතනය හොරුන් වෙනුවෙන් එක් ආකාරයකටත් ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් ආකාරයකටත් කටයුතු කරන බවයි. ගාල්ල ක්‍රීඩා පිටියේ තණතීරු භාරකරු ලෙස කටයුතු කර බුකී සබදතා අතටම හසුවීමෙන් තහනමට ලක්වූ ජයනන්ද වර්ණවීර තවම නිදහස් නොමැති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මාධ්‍ය නිලධාරියා Lankasportsnews අප වෙත කියා සිටියා. ඔහු තහනම ලක්වූයේ පරීක්ෂණ සදහා නොපැමිණීමේ වරදටයි. එම දඩුවම අවසන් වීම යනු ඔහු නිදහස් බව නොවන බවත් මෙම නිලධාරියා පැහැදිලි කළා. එලෙසම පරීක්ෂණ සදහා සහය ලබා නොදීම නිසා තහනමට ලක්වූ හිටපු ක්‍රිකට් නායක හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ ඉරණමද මෙය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 


    ආන්දෝලනාත්මක මෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට හිමිවූ මුදල් පිල්ලි ගිය ආකාරය පිලිබද තොරතුරු රැසක් සාක්ෂි සහිතව අප සතුයි. එම තොරතුරු ඇතුලත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. එහිදී මෙහි බුකීකරුවන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයින් හා එම මුදල් ගිය ගිණුම් පිලිබද තොරතුරු අනාවරණය කිරීමට අප බලාපොරොත්තු වනවා. තුරුම්පු සියල්ල එකපාර අත අරින්නේ නැත්තේ ශ්‍රී ලංකා බුකී නියෝජිතයින්ට තවත් අවස්‍තාවක් ලබා දීමටයි. ඒ ඔවුන්ගේ ගිණුම්වලට ගිය මුදල් එලියට ගෙන අඩුම තරමේ මෙම ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් හෝ ලබාදීමට කටයුතු කිරීම වෙනුවෙනුයි. එය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බව අප දන්නවා. එහෙත් ඔවුන් සමග අපත් ක්‍රීඩා කිරීමට කැමතියි. එන්න අපි සෙල්ලම් කරමු. 


    ඉදිරියේදී පත්වන නව රජයට පත්වූ සැනින් ක්‍රිකට් ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙක් ඉවත් කරමින් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට ඉඩ ලබා දීමත් අපගේ තවත් අරමුණක් වනවා. ඉතින් අපි බලා ඉමු. ශ්‍රී ලංකා ක්‍රිකට් යලි දූෂණයෙන් නොව ජයග්‍රහණ ලබමින් ලොව අංක එක වන තුරු. එහෙත් ඊට දින වකවානු කීමට දැන්ම කල් වැඩියි. ඒ දූෂිතයන් සියල්ල වත්මන් රජය අත් අඩංගුවට ගෙන සිටීම හේතුවෙනුයි.

    සබැඳි පෙර ලිපි 


     

    SLC ඇතුලේ ඉන්න බුකී ඒජන්තලා මෙන්න








    No comments