• Breaking News

    SLC ඇතුලේ ඉන්න බුකී ඒජන්තලා මෙන්න

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බුකීකරුවන්ගේ ග්‍රහනයට ලක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නෑ. බුකීකරුවන් ක්‍රිකට් ආයතනය ඇතුලේ සිටින සිය නියෝජිතයන් ආරක්ෂා කිරීමට සෑම විටම කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් හොදින් සිදුකරගෙන යාමටයි. එහෙත් මෙවර ඔවුන්ගේ එම කටයුතු අසාර්ථක බව අප සහතික කළ යුතුයි. ඒ Lankasportsnews වෙබ් කණ්ඩායම එලූ දැලට ඔවුන් හසුවීම හේතුවෙන්. මේ අනුව අපට මහා මෝරෙක් දැලේ පැටලී සිටින බව පමණක් මේ මොහොතේ පැවසිය හැකියි. ඔහු ක්‍රිකට් විධායක කමිටු ඉහළම නිළදාරියෙක්. එමෙන්ම ඔහු රාජ්‍ය ආයතන ගණනාවක තනතුරු දරා අත්දැකීම් සහිත කීර්තිමත් සුදු කර පටි නීල කාස හොරෙක්.

    පුත්තලම් දිස්ත්‍රික් ක්‍රිකට් T10 තරගාවලිය නමින් තරගාවලියක් පසුගිය ජූනි 25 වැනිදා සිට අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ඒ දින 12 ක් පුරායි. මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් සදහා නිල ඇදුම් පවා ඔවුන් සකස්කර අවසන් වුණා. කොරෝනා හේතුවෙන් ලෝකයම ගෙට වී ඇති සමයක ලංකාවේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය බුකීකරුවන්ගේ උවමනාවට සිදුවූවක්. ඉන්දීය ව්‍යාපාරිකයෙක් කියා ගත් බුකී ඒජන්ත වරයෙක් මේ සියල්ල වෙනුවෙන් මුදල් වැය කළා. තරගාවලි සම්බන්ධීකාරක ලෙස හදුන්වමින් එහි මහමොළකරු ලෙස හිටපු දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ඇලෙක්ස් නිෂාන්ත කටයුතු කළා.

    ඇලෙක්ස් නිෂාන්තගේ හයියට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන් දෙදෙනෙක්. ඒ එම ආයතන ප්‍රවාහන කළමනාකරු ලෙස තමන්ව හදුන්වා දෙන සත්‍ය ලෙසම ප්‍රවාහන කටයුතු සම්බන්ධීකාරක ජගත් ජයවර්ධන හා දේශීය තරගාවලි සහය කළමනාකරු චින්තක ජයනාත්. 2015 වසරේදී ක්‍රිකට් ආයතනය ඇතුලේදීම මූල්‍ය වංචාවකට පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ චින්තක ජයනාත් බව සිහිපත් කළ යුතුයි.  ඔවුන් දෙදෙනාගේ මැදිහත්වීමෙන් ක්‍රීඩාංගණයේ දොරටු විවර කරගත් අතර ක්‍රීඩකයන් තුල විශ්වාසය ඇති කිරීමට සමත්වුණා. මෙම සියලු කටයුතු අධීක්ෂණය කරමින් ඉන්දීය බුකීකරුවන් තරගාවලිය සජීවී වෙබ් විකාශනයක් ද සිදු කිරීමට සැලසුම් කළා. ඒ කොරෝනා හේතුවෙන් බිද වැටී ඇති ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරය සක්‍රීය කරමින් බුකී යලි පණගැන්වීමේ අරමුණ ඇතුවයි.

    මෙම තරගාවලිය සදහා අජන්ත මෙන්ඩිස්, චාමර සිල්වා, නුවන් කුලසේකර, අසේල ගුණරත්න, ධම්මික ප්‍රසාද්, සචිත්‍ර සේනානායක, චාමර කපුගෙදර, තිලාන් තුෂාර හා ඉෂාර අමරසිංහ ඇතුලු ක්‍රීඩකයන් රැසක් එක්වීමට කැමැත්ත පළකර තිබූ බව සදහන්. කෙසේ වෙතත් ජූනි 23 වැනිදා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම තරගාවලියට එක්වීමට ක්‍රීඩකයන් සදහා කිසිදු අනුමැතියක් ලබා නොදෙන බවයි. එමෙන්ම මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු සම්බධයක් නැතැයිද ඔවුන් පැවසුවා. මේ එම නිවේදනයයි.

    මෙලෙස බුකීකරුවන්ගේ පළමු උත්සාහය අසාර්ථක වීමෙන් පසුවයි ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙස තවත් බුකීකරුවන් වෙනුවෙන් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළේ. එයත් මේ වන විට අසාර්ථක වී අවසන්. මෙලෙස බුකීකරුවන් ශ්‍රී ලංකාව සිය කටයුතු සදහා තෝරාගැනීමට හේතුව වී ඇත්තේ ඉහළ සිට පහළ දක්වාම හිමිවන සහයයි. මෙනිසාවෙනුයි ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම්කිරීමට කටයුතු කර ඇත්තේ.

    2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. එය පිලිබද ක්‍රීඩකයන් ගෙනවිත් සංදර්ශනයක් සිදුකර මේ වන විට එය අවසන් කිරීමට රජය දැඩි උත්සාහයක නිරත වනවා. එහෙත් එය ඉබ්බා කටුව තුලට වී සැගවෙන්නා සේ නිෂ්පල බව පමණක් අපට කිව හැකියි. ඒ ක්‍රීඩකයන් හා ජනතාව එය එලෙස අතැර දැමීමට සූදානම් නොවීම හේතුවෙන්. එය පරීක්ෂා කිරීමට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකයට තිබුනේ කඩි කුලප්පුවක්. ක්‍රිකට් ආයතනය පළමුව තහනම් කර නිවේදනයක් නිකුත් කළ මෙම තරගාවලිය පිලිබද මෙතෙක් සැලකිලිමත් නොවීමට හේතුව ක්‍රිකට් ලොක්කන් ඊට සම්බන්ධ නිසා විය යුතුයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ සම්බන්ධයක් නැතැයි කී මෙම පුත්තලම් දිස්ත්‍රික් ක්‍රිකට් T10 තරගාවලිය ගැන සෙවීමෙන්ම බුකීකරුවන්ගේ ග්‍රහනයට ලක්ව සිටින තෝරු මෝරු සමග හාල් මැස්සන්ද අල්ලා ගත හැකියි. ක්‍රිකට් ආයතන සේවකයන් දෙදෙනා ගෙනවිත් ප්‍රශ්න කිරීමෙන්ම එම තොරතුරු එලියට එනු නොඅනුමානයි. එහෙත් එය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බව සදහන් කළ යුතුමයි. ඒ සල්ලි වලට කළ නොහැක්කක් ලංකාවේ නොවීම හේතුවෙන්. මෙම කටයුත්තට සෘජුව සම්බන්ධ චින්තක ජයනාත් යනු ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා පාලනය කරන CCC ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පමණක් අවසන් වශයෙන් සටහන් කරන්නේ මෙහි මුල් විහිදී ඇති ආකාරය ඔබට සිතා ගැනීමට ඉඩ ඉතුරු කරමින්. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරග පාවාදීම් අතින් අංක එකට ලෝකයේම පත්වූවාක් මෙන්ම ලොව දූෂිතම ක්‍රිකට් ආයතනය ලෙසත් විරුදාවලිය ලබා සිටිනවා. ඒ ක්‍රිකට් ආයතන සල්ලි වලට යටවන ක්‍රීඩා ඇමතිවරු හා රජයන් සිටීම හේතුවෙන්. මත්ද්‍රව්‍ය වෙළඳාම සමග ක්‍රිකට් ආයතනය එක්ව ඇති බව අප අනාවරණය කළත් කටින් බතල හිටවන ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම එය සෙවීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නෑ. ඒ මහ මැතිවරණය වෙනුවෙන් ඔහුට මුදල් වැය කිරීමට මෙම මාෆියා කරුවන් කටයුතු කිරීම හේතුවෙන් බව වාර්තා වනවා. මෙම නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රිකට් ආයතන ලොක්කන් කටයුතු කරන හේතු රැසක් අප සතුයි. පාවාදීම් වැලැක්වීමට විමර්ශන ඒකකයට පැමිණිලි කර උනන්දු නොවන්නේ නම් ඒවා සියල්ල අප දිග හැරීමට සූදානම් බව Lankasportsnews අවධාරණය කරනවා.

    එන්න අපි ලංකාවේ ක්‍රිකට් වලලමු. ඊට අවසන් පස් පිඩැල්ල දැමීමට මහ මැතිවරණයෙන් පසු හැකිවනු ඇතැයි බොහෝ දෙනා පවසනවා. එහෙත් එතෙක් රටම නිද්‍රාවට පත්වනු ඇතැයි කීමට තාම කල් වැඩිය.


    සබැඳි පෙර ලිපි










    No comments