T20 ක්‍රිකට් ලෝක කුසලානය කල් යයි - සමුගැනීම් නැතුව මාලි යයි ? Exclusive Exposed
මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන වසර දක්වා කල් ගොස් තිබෙනවා. මේ අනුව වයස අවුරුදු 37 ක් සම්පූර්ණ වීමට දින 37 ක් ඉතිරිව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්සයි විස්ස වත්මන් නායක ලසිත් මාලිංගට සමුගැනීමක් නොමැතිව නතර වීමට සිදුවනු ඇති. ඒ මේ වන විටත් ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණදෙමින් සිටින ඔහුට වසරක් යනු විශාල කාලයක් වීම හේතුවෙන්. මේ පිලිබද සියල්ලන්ට පෙර අප කරුණු වාර්තා කළා. ඕස්ට්‍රේලියාවේදී ලබන ඔක්තෝබර් 18 වැනිදා සිට නොවැම්බර් 15 දක්වා මෙවර තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණා. එහෙත් ලෝකයේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එය 2021 ඔක්තෝබර් සිට නොවැම්බර් 14 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක මනූ සව්නි මේ පිලිබද නිවේදනය කරමින් කියා සිටියේ ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන්ගේ සෞඛ්‍ය අවධානමේ දැමීමට තමන්ට නොහැකි බවයි. මෙම තීරණය අපහසුවෙන් ලබාගත් එකක් බවත් ඔහු කියා සිටියා. කෙසේ වෙතත් තීරණය ලබා ගැනීමට පෙර අංශ රැසක් පිලිබද සැලකිලිමත් වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත් ඉදිරි වසර තුනේදී වසරින් වසර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
2021 ඔක්තෝබර් මස සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා මෙම වසරේදී ඕස්ට්‍රේලියාවේ පැත්වීමට නියමිත වූ තරගාවලිය පැවැත්වෙනවා. 2022 ඔක්තෝබර් මස සිට නොවැම්බර් 13 වැනිදා දක්වා තවත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට සත්කාරකත්වය ලබාදෙන රට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් ප්‍රකාශ කර නැහැ. අනෙක් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම්ට නියමිත 2023 ඔක්තෝබර් මස සිට නොවැම්බර් මස 26 වැනිදා දක්වා ඉන්දියාවේදීයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක මනූ කියා සිටියේ 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය නවසීලන්තයේ සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකිවනු ඇති බවයි.
2014 වසරේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනා ගන්නා විට නායකත්වය දැරුවේ ලසිත් මාලිංගයි. අනතුරුව අවස්ථා රැසක ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ලැබුවා. 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමග ඔහු කණ්ඩායමෙන් ඉවත්වීමේ තත්වයක් මතු වුණා. ඒ මාලිංගගේ නායකත්වයට නවකයින් අකමැතිවීම හා ඔහුගේ ශරීර යෝග්‍යතාව පිලිබද තේරීම් කමිටුවට මතු වූ ගැටළුවක්. ඊට තිරය පසුපස සිට මැදිහත් වූ එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාලිංගව කණ්ඩායමට එක් කරනු ලැබුවා. එහෙත් සමුගැනීමේ කතාවේදී මාලිංග ඔහුට හැර සියල්ලන්ට ස්තූති කළා. මේ නිසාවෙන් තිරය පසුපස කතාව එලෙසින්ම වැසී ගියා.
ලබන වසර දක්වා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය කල් යනු ඇති බව හා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනස සියල්ලන්ට පෙර අප වාර්තා කළා. එය මෙතනින් බලන්න.
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තුනක් වසර තුනක් තුල පැවැත්වෙනවා. මේ අනුව ක්‍රීඩකයන් ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීම සදහා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මේ වන විට එක තරගාවලියක් අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආබාධයන්ට ලක්වීම සිදුවනවා. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව පරාජයන් රැල්ලකට මුහුණ දී සිටින්නේ දුර්වල කළමණාකාරීත්වය හේතුවෙන්. එය ක්‍රීඩකයන් තේරීමේ සිට පිතිකණ අනුපිලිවල දක්වා එන්නේ සැලසුමක් නැති කණ්ඩායමක් වීම හේතුවෙන්. මේ නිසාවෙන් එක වසරකට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩකයන් 50 කට වැඩි ගණනක් නියෝජනය කරන්නේ නායකයන්ද තුනකට වඩා වැඩි පිරිසක් යටතේයි. ඒ පුහුණුකරුවන්ද කිහිපයක් යටතේ වීම ලෝකයට හාස්‍යජනක වී ඇති බව කිව යුතුයි.
96 ගැන පාරම්බෑම හා 2014 ගන උදම් ඇනීමට අතරව කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතිරිව නැහැ. ඒ දූෂිතයන් ක්‍රිකට් මුල් පුටු දැරීම හේතුවෙන් බව ඔබට සිතෙනවා ඇති. නමට ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් ඇතත් එය වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම ද නොදන්නා සේ හැසිරෙනවා. ඉතින් බොරු පුරාජේරු දෙඩවීම හැර මෙරට පාලකයන් ක්‍රීඩාව නිවරදි පාරේ ගෙන යනු ඇතැයි කීමට තවම කිසිදු හැකියාවක් අපට නෑ. ඒ වත්මන් ආන්ඩුව වටාද පොර කමින් රැස්ව සිටින්නේ දූෂිතයන්ම වීම නිසයි.
No comments