Saturday, August 22, 2020

පාපැදියේ රුපියල් ලක්ෂ 200 ක් ගිල්ල සේනක නාමල් වටේ අල්ලන සෙල්ලම්

කිතුල් ගහට ගොස් හසුවූවන් වන් පිරිසක් මේ දිනවල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්නට ලැබෙනවා. දූෂණ, වංචා හා අක්‍රමිකතා නිසා එලියට විසිවී සිටින පිරිස එලෙස යලි ක්‍රීඩා පිටියට රිංගා ගැනීමට තැත් කරනවා. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා සමගින් අමාත්‍යාංශය වෙනස් වී තිබීම ප්‍රයෝජනයට ගනිමිනුයි. ඔවුන් ඒ සදහා මේ දිනවල යොදා ගන්නේ නාමල් රාජපක්ෂගේ වංසේ කබල් ගෑමේ උපක්‍රමයයි. ඇමතිවරයාගේ පැරණි හිතවත්කම් අලුත් කරමින් මෙලෙස ක්‍රීඩා පිටියට යලිත් රිංගීමට සූදානම් වන පාපැදිය බංකොලොත් කළ සේනක රණසිංහ කතා වස්තුව මෙතැන් සිට දිග හැරෙනවා.


ජාතික පාපැදි සංගමය තහනම් කළ ක්‍රීඩා අමාත්‍යාංශය පාපැදි අතුරු කමිටුවක් පත් කිරීම පසුගියදා සිදුවුණා. ඒ ජාතික පාපැදි සංගමයේ ගිණුම් වාර්තා ඉදිරිපත් කර විනිවිධභාවයක් පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. පාපැදි සංගමයේ සභාපති ලෙස එන්. කරුණාරත්න කටයුතු කළ අතර ඔහුගේ සුවච කීකරු කුක්කා ලෙස භාණ්ඩාගාරික ධූරයේ සේනක රණසිංහ කටයුතු කළා.


90 දශකයේ එන්. කරුණාරත්න ජාතික පාපැදි සංගමයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස සිටියේ සේනක රණසිංහයි. එවක රේස්කෝස් ක්‍රීඩා පිටිය ආශ්‍රිතව පැවති පාපැදි සංගමයට හොරු පැන්නා. සංගමය සතු වැදගත් උපකරණ සමගින් පරිඝණක අතුරුදන් වුණා. මේ අනුව ඒ පිලිබද කුරුදුවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකිරීමේදී ඇගිල්ල දිගු වුණේ සේනක වෙතටයි. එය යටපත් කිරීම වෙනුවෙන් අතුරුදන් වූ ඔහු පාපැදි පරිපාලනයෙන් ඉවත්වුණා. වසර දහයකට වඩා මෙලෙස එලියට වී සිටි ඔහු යලි පාපැදි සංගමයට රිංගා ගත්තේ 2015 වසරේදීයි. ඒ යලිත් එන්. කරුණාරත්න පාපැදි සංගමයේ සභාපති වෙද්දී උප සභාපති ලෙස බල්ලයි, නැට්ටයි යන කියමන සිහිපත් කරමින්.


මෙලෙස ඇතුලට රිංගූ සේනක රණසිංහ පාපැදි සංගමයේ කල්ලි වාදයක් ඇති කළා. සංගම් මාෆියාවට අනුව පාපැදිය එන්. කරුණාරත්නගේ බූදලයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මේ නිසාවෙන් සේනක රණසිංහ 2018 වසරේදී ජාතික පාපැදි සංගමයේ භාණ්ඩාගාරික වුණා. එතැන් සිට හුරු පුරුදු කල්ල මරේ කටයුතු ඇරඹූ සේනක රණසිංහට සභාපති කරුණාරත්නගේ ආශිර්වාදය නොතිබූ බවට අපට කීමට කිසිදු හේතුවක් නෑ. ජාතික පාපැදි තරගාවලි සදහා හිමිවන මුදල් එතැන් සිට සේනකගේ සාක්කුව පිරවූවා. 2018 වසරේදී පැවැත්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් පාපැදි සවාරියට හිමිවූ මුදලින් රුපියල් ලක්ෂ 100 කට වඩා එලෙස සේනකගේ යටිමඩි ගැසීම් අතර මූලික වනවා. ඒ පන්නරය සමගින් 2019 වසරේදී පැවති ශ්‍රී ලංකා ටෙලිකොම් පාපැදි සවාරියේ තවත් රුපියල් ලක්ෂ 100 කට වඩා වැඩි මුදලක් බහිරවයා ලෙස සේනක ගිල තිබෙනවා. මෙම තරගාවලි දෙකම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමගින් පැවැත්වූවත් මෙතෙක් ගිණුම් ඉදිරිපත් කිරීමට පාපැදි සංගමය අපොහොසත් වී තිබෙනවා. මෙලෙස ගිණුම් ඉදිරිපත් නොකර දිගින් දිගටම තරගාවලියට මුදල් වැය කිරීම රාජ්‍ය ආයතනයකින් බලාපොරොත්තු විය නොහැකියි. මේ අනුව මෙම වංචාවට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන නිලධාරියෙක් සම්බන්ධ නොවී සිදුවිය නොහැකි බව බැලූ බැල්මට පෙනෙනවා. ඒ 2018 සිදුවූව එලෙසින්ම කිසිදු ගැටළුවක් නැතිම 2019 දීත් සිදුවීම නිසයි.



2018 වසරේ පැවති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට එහි හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු පාර්ශ්‍රවයට භාණ්ඩාගාරික අපේක්ෂකයෙක් සොයාගත නොහැකි වුණා. මේ අනුව පාපැදි සංගමයේ ඡන්දයද ලබාගන්නා අරමුණ ඇතිව ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික අපේක්ෂකත්වය සේනක රණසිංහට හිමිවුණා. ඉන් ජයගත් සේනක රණසිංහ එතැන් සිට කටුස්සගේ කරේ රත්තරන් බැන්දාක් මෙන් මාන්නයෙන් ඉදිමී කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි. ජාතික ඔලිම්පික් කමිටුවේ සුලු සේවකයන්ට සිය අතපල්ලෙන් වැටුනු අතවැසියන් ලෙස සලකා ඉතා පහත් ලෙස සැලකූ අවස්තා එකක් දෙකක් නොව රැසක් තිබූ බව එහි ප්‍රකාශයක් lankasportsnews අප සමගින් කියා සිටියා. සුළු සේවකයන්ට දෛනික වැඩ කටයුතු සදහා ලබාදෙන රුපියල් 100 කටත් සතේට ගණන් බැලූ සේනක තමන් සුද්දවන්ත සුදනෙක් බව පුම්බා පෙන්වීමට දැඩි උත්සාහයක නිරත වුණා. බොරු මවාපෑම් නිසාවෙන් එහි සේවකයන්ගේ දැඩි දෝශ දර්ශනයට ඔහු ලක්වුණේ ඉදිමී සිටින උඩින් යන්නෙක් ලෙසයි.  එහෙත් අවසානයේ තමන් නියෝජනය කළ පාපැදි සංගමයේ මූල්‍ය වංචා එලියට ඒමත් සමගින් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදු වුණා. ඒ ජාතික ඔලිම්පික් කමිටු භාණ්ඩාගාරිකවරයෙක් ඉල්ලා අස්වූ පළමු අවස්තාව ලෙස ඉතිහාසයට එක්වෙමින්. උඩ පැන්නොත් බිම වැටේ කියමනට වඩා ඔහුට ගැලපෙන්නේම හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් යන කියමනයි.


රුපියල් ලක්ෂ 200 කට වඩා අතුරුදන් කළ ජාතික පාපැදි සංගමයේ ගිණුම සෘණ කළ සේනක රණසිංහ පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශය නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම කැපී පෙනෙනවා. ඉන් උපරිම ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට කොක්ක ගැසීමට ඔහු සූදානම් වනවා. ඒ නාමල්ගේ මාමන්ඩිය වන තිලක් වීරසිංහ ඇමට භාවිතා කරමිනුයි. තිලක් ශ්‍රී ලංකාවේ පවත්වන කීර්තිමත් ජාත්‍යන්තර පාපැදි තරගාවලිය වන LSR හා T-Cup පාපැදි සවාරි නිර්මාතෘවරයා හා ප්‍රධානියායි. මෙම සවාරි සදහා ජාතික පාපැදි සංගමයේ සහය සමගින් තිලක් වීරසිංහ හා ඉතාම කිට්ටු සබදතාවක් ගොඩ නගා ගැනීමට එන්. කරුණාරත්න මෙන්ම සේනක රණසිංහ සමත්වුණා. එය මේ වන විට නාමල් බිලී බෑමට යෙදූ ඇම ලෙසින් මෙම දූෂිත සේනක ප්‍රසිද්ධියේ යොදා ගන්නවා.


ශ්‍රී ලංකා ටෙලිකොම් පාපැදි සවාරියේ මුදල් අවභාවිතා වූ ආකාරය සොයා බැලීම වත්මන් රජයේ වගකීමක් වනවා. රුපියල් ලක්ෂ 200 ක් අවභාවිතා වීම සුළු කොට තවදුරටත් නොතකනු ඇතැයි Lankasportsnews අප බලාපොරොත්තු වනවා. එසේ සිදුවීමට නම් ක්‍රීඩාවේ සාරය උරා බොන මෙවන් කූඩැල්ලන් පිටු දැකිය යුතුමයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සද්දේ ලෙසම අවංක උවමනවක් ඇතිව ක්‍රීඩාව ගොඩ නැංවීමට උත්සාහ ගනී නම් අද අප ලිපිය ඔහුට ඉතා වැදගත් වනු ඇති බව අපගේ විශ්වාසයයි. ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයෙන් පසුගිය  දකුණු ආසියා ක්‍රීඩා උළෙල තරග පාවාදීම් සිදුවූ තවත් එක් ක්‍රීඩාවක් ලෙස පාපැදි සදහන්ව ඇති බව සිහිපත් කළ යුතුයි. ඒ වන විට පාපැදි ජාතික සංගමය ක්‍රියාත්මක වූ බවත් සිහිපත් කළ යුතුමයි. ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේ විමර්ශන ඒකකයක් වෙනම ක්‍රියාත්මක වුවත් මෙතෙක් මෙම පාවාදීම් ගැන කිසිවක් සිදුව නැතිවීම කණගාටුවට කරුණක්.


ලංකාව පැසිපන්දු, පාපැදි හා වොලිබෝල් ජාත්‍යන්තර තරගත් පාවාදී මාට්ට - Exclusive Exposed


හොරු මේ වන විට රංචු ගැසී ක්‍රීඩා අමාත්‍යාංශයේ කරනම් ගසන බව කිව යුතුයි. ඉතින් හිතවත්කම් දඩමීමා කර හැන්ද මාරු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවුනහොත් එය ක්‍රීඩාවේ යහපතට හේතු වේවි. එහෙත් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආසියාවේ අමුතු ඇටේ ලෙස බව අමතක කළ යුතු නැහැ. මේ අනුව හොරු රජවී රජු බලුවීමට හැකි බවත් සිහිතබා ගත යුතුයි. ඉතින් ඕනෑම දෙයක් විය හැකියි. අපි කාලයාට ඉඩදී බලා සිටිමු. නූපන් දරුවන්ට උප්පැන්න සහතික නොදී. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩාව ගොඩදායිද කියන්න දන්නා කිසිවකු මිහිපිට නොමැති බව පමණක් අවසන් වශයෙන් සටහන් කළ හැකියි.









No comments:

Post a Comment