Monday, August 24, 2020

ක්‍රීඩකයින්ගේ කල්ල මරේ - ඉදිරි මාස 4 ට බිලියන 5 ක් ක්‍රීඩාවට වෙන්වේ - Exclusive Exposed

දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියල අහල තිබුනට එය දැකල නැති අයට බලාගැනීමට රජය අවස්තාවක් ලබාදී තිබෙනවා. මෙතෙක් කළක් ලැබෙන පහසුකම් ගැන මැසිවිලි නැගූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුපිරි දීමනා හිමිවන කාලයක් බවට ඉදිරි කාලය පත්වනු ඇති. මීට පෙර නත්තල් සීයා ආවේ සීතල දෙසැම්බරය උණුසුම් කරමිනුයි. මෙවර නාමල් රාජපක්ෂ නත්තල් සීයාට ඇද ඇත්තේ ක්‍රීඩාවේ නව පිටුවක් පෙරළමින්. වත්මන් රජය වසරේ ඉදිරි මාස 4 ක කාලයට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුවෙන් ක්‍රීඩාවට වසන්තය උදා කිරීමට සැලසුම් සකස්කර තිබෙනවා. මේ ඒ පිලිබද සටහනක්.


වත්මන් රජය මෙම වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට ලබන වසරේ ජනවාරි 01 වැනිදා දක්වා මාස 04 ක කාලය සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි රජයේ වියදම් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් 949 බිලියන 763 මිලියන හාර ලක්ෂ 16,000 ක්. එය ලබන 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කොරෝනා වසංගතයෙන් රටම අඩපණ වී ඇති මොහොතක ගෙන එන අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදලක් වෙන්ව ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ආරක්ෂක අමාත්‍යoශ වලටයි. කම්කරු, වෙළඳ, වැවිලි හා සංචාරක වැනි අමාත්‍යාංශ පරයමින් දෙගුණයටත් වඩා ඉහළම මුදල් වෙන් කිරීමක් ක්‍රීඩා හා තරුණ කටයුතු වෙනුවෙන් සිදු කිරීමට රජය කටයුතු කර තිබෙනවා. එය රටේ අනාගතය වෙනුවෙන් රජය තබා ඇති විශ්වාසයේ කැඩපතක් වනවා. මෙම අතුරු සම්මත ගිණුමෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 5 කට අධික මුදලක් වෙන්කර තිබීම කැපී පෙනෙනවා. මේ අනුව මාසයකට රුපියල් කෝටි 120 ක් ක්‍රීඩා හා තරුණ කටයුතු වෙනුවෙන් වැය කිරීමට නාමල් රාජපක්ෂට හැකිවනවා. එය තාරුණ්‍යයේ හා ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක ආරම්භය වනු ඇති. 


පසුගිය කාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැසිවිලි නැගුවේ තමන්ට නිසි පහසුකම් නොලැබෙන බව කියමින්. ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට නිරෝගී කයක් මෙන්ම නිරවුල් මනසක් අත්‍යවශ්‍ය වනවා. ගෙදර ගැන හිතනවා පමණක් නොව සිය අනාගතය ගැනත් සිතමින් ක්‍රීඩා කිරීමට වීම නිසා ඔවුන්ගෙන් සම්පූර්ණ ශක්තිය ක්‍රීඩාවට ඉල්ලීම සාධාරණ නැහැ. එහෙත් පසුගිය කාලයේ සිදුවූයේ එයයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ලබාදෙන පෝෂණ දීමනාද පසුගිය කාලයේ කප්පාදු කලේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් නැතැයි කියමිනුයි. ඉන් දැඩි අපහසුතාවට පත්වූ ප්‍රමුඛ පිරිස වූයේ බර ඉසිලීමේ ක්‍රීඩකයන්. සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී වික්‍රමසිංහ ක්‍රීඩකයන්ට බර ඉසිලීමේ ජාතික පුහුණුකරු ලෙස බබා මූණ පෙන්වා අමාත්‍යාංශයට කොලේ වැසුවා.  මේ පිලිබද අප වාර්තා කළා ඔබට මතක ඇති.


රට බංකොලොත් කියා ක්‍රීඩක දීමනා කපයි - Exclusive Exposed


සමස්ථ ලංකා ජයග්‍රහණ වාර්තා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රාථමික මට්ටම වන්නේ දකුණු ආසියා ජයග්‍රහණයයි. නිමාවූ දකුණු ආසියා ක්‍රීඩා උළෙලට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වූයේ දැඩි අපහසුතා රැසක් ලෝකයට හොරෙන් විද දරා ගනිමිනුයි. පුහුණුවීම් නිමවා මහන්සිය නිවා ගැනීමට සැතපෙන කොට්ට පෙට්ට මකුණන්ගේ රජ දහනක් වී තිබුණා. ඒ වෙනුවෙන් පිලියම් සෙවූ වාර ගණන එකක් දෙකක් නොවෙයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය නිහඩව සිටියේ අඳ ගොළු බීරන් ලෙස නොව ලාදුරු රෝගීන් ලෙසයි. එම ක්‍රීඩක නේවාසිකාගාරයයි පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්කළේ. එමෙන්ම හිගන්නාගේ තුවාලය මෙන් හැමදාම වැඩ අවසන් නොවන සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ රැදී සිටි ක්‍රීඩකයින් දකුණු ආසියා ක්‍රීඩා උළෙලට එක්වුණේ ඩෙංගු රෝගීන් ලෙස බව ඔබට මතක ඇති. ඒ දකුණු ආසියා ක්‍රීඩා උළෙල භාරව වැඩකළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරුන් වූ අයි.පී.විජේරත්න මෙන්ම ආර්.බී.වික්‍රමසින්හ ප්‍රමුඛ නිලධාරින් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන්. එවක ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්දත් කයිවාරු ගසමින් සිටියා විනා මේ අඩුපාඩු ගැන සොයා බැලුවෙ නෑ. මෙලෙස ක්‍රීඩකයන් අපා දුකින් මුදා ගනිමින් පුහුණුවීමෙන් පසු හොද විවේකයක් ලබා ගත හැකි ලෙස ඉදිරියේදී ක්‍රීඩා නේවාසිකාගාර පත්කිරීමට කටයුතු සිදුවනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ දීමනාද යලි ලබා දෙමින්.


ක්‍රීඩා අමාත්‍යාංශයට හොරෙන් සාෆ් ගිය කණ්ඩායම - Exclusive Exposed


රට දිනවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවිදිනා දුක් විදින බව ඔබ නොදන්නවා විය යුතුයි. රටට රන් පදක්කම් මල් වැසි වැස්සීමට ඔවුන් කටුපදුරු මත සැතපෙන යුගය නුදුරේදීම අවසන් වනු ඇති. මේ තිරය පිටුපස කතාව ඔබට බොහෝ මාධ්‍ය නොලියන්නේ ඔවුන් සංගම් නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ හුරතලුන් වී සිටීම නිසයි. ඉන් හැමදාම තැලෙන්නේ ගිරේට අහුවූ පුවක් ගෙඩිය වන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ජයග්‍රහණ නැතිවූ විට මාධ්‍ය ඇගිල්ල දිගුවන්නේ මෙලෙස අනේක කම් කටොලු විදින ක්‍රීඩකයා වෙතයි. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ ඔඩොක්කුවේ හුරතල් වන වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සිය හාම්පුතුන් ජනතා විරෝධයෙන් බේරා ගැනීමට පෑන හැසිරවීම නිසයි. කෙසේ වෙතත් වත්මන් මුදල් වෙන් වීමත් සමග මේ සියල්ල අතීත කතා බවට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කරනු ඇති.


ක්‍රීඩා අමාත්‍යාංශයට මිසයිල ගෙන්වලා - ලේකම් මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩෙත් ගහලා - Exclusive Exposed


මෙවර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට හා ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ඉහළ මුදලක් මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන්ව තිබෙනවා. එය ක්‍රීඩකයින් ලැබූ විශාල ජයග්‍රහණයක් වනවා. එහෙත් පසුගිය කාලයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස රුවන්චන්ද්‍ර සිදුකළ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා රැසක් අප අනාවරණය කළා ඔබට මතක නැති. ඒ පිලිබද යටගසා ඇති පරීක්ෂණ යලි ආරම්භ කර හොරා කෑවොත් දඩුවම් නියත බව වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔප්පු කර පෙන්විය යුතු කාලයක් පැමිණ තිබෙනවා. ඒ අති විශාල මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංවර්ධනයට යෙදවීමට තීරණය කර තිබීම හේතුවෙන්. එසේ නොවුනහොත් සුපුරුදු ලෙස යලිත් රුපියල් කෝටි 100 ක් වෙන් වන විට, රුපියල් ලක්ෂ 10 කට වැඩ සිදුව, අනික් මුදල් පිල්ලි ගැසීම ජයටම සිදුවනු ඇති.


රුපියල් ලක්ෂ 130 ක් දිරන්න ගොඩ ගහලා - ලක්ෂ 260 ක උපකරණත් අතුරුදන් - Exclusive Exposed


ක්‍රීඩාවේ නාමල් උදානය ලබන මාස හතරේදී දැකගත හැකිවනු ඇති. කෙසේ වෙතත් මෙම මුදල් පළදායී ලෙස වැය කිරීම නාමල් රාජපක්ෂට ඇති ප්‍රමුඛ අභියෝගයක් වනවා. මීට පෙර අයවැයෙන් වෙන්වූ වාර්ශික මුදල් හෝ ක්‍රීඩාව වෙනුවෙන් වැය නොවූ වාර එමටයි. එලිත් එහි පුනරාගමනයක් නොවේවා යන්නයි අපේ පැතුම. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන කාලයක් උදා නොවේවා යන්නයි ක්‍රීඩක පැතුම වී ඇත්තේ. එය ඉටුවන තුරු Lankasportsnews අප විමසිල්ලෙන් බලා සිටින්නේ රටේ ජනතාවත් සමගයි. ක්‍රීඩාවේ ජයග්‍රහණ ලබා ගැනීමට ශාරීරික හා මානසික නිරවුල් භාවයේ ඇති වැදගත්කම ක්‍රීඩකයෙක් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. පොදුරාජ්‍ය මණ්ඩලීය ජයග්‍රහණය කළ බර ඉසිලීමේ ක්‍රීඩකයිට පවා අනුග්‍රහයෙන් නැති, පෝෂණ දීමනා නැති හා පවුල් නඩත්තු කළ නොහැකි කාලයක් ගතවන බව කිව යුතුයි. ඉතින් මේ අස්ස්වද්දන කාලයයි ගතවන්නේ. දැන් වපුරන දේ අස්වැන්න ලෙස නෙලා ගත හැකි බව පමණක් අවසන් වශයෙන් සහන් කිරීමට කැමතියි.


No comments:

Post a Comment