Thursday, August 20, 2020

නාමල් ආ ගමන් එලියට ආ ක්‍රිකට් ක්‍රීඩාපිටි සංවර්ධන ප්‍රෝඩාව


මාලු අල්ලා ගැනීමට ඇමක් භාවිතා කරති. දේශපාලඥයන් අල්ලා ගැනීමට ක්‍රිකට් ආයතනය කලක සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි ඇමක් ලෙස භාවිතා කරයි. ඉන් ක්‍රිකට් ආයතන නිලධාරීන් අති විශාල මුදලක් සියල්ලන්ගේ ඇස් වසමින් සාක්කුවට දා ගනියි. ඒ ක්‍රීඩා පිටි සංවර්ධනය මුවාවෙන් සැලසුම් කිරීමේ සිට හිමිවන ගජ මිතුරු කොමිස් කුට්ටි නිසාවෙන්. නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාරගත් සැනින් ක්‍රිකට් ආයතනය අලුත් වටයකින් ක්‍රීඩා පිටි ඉදිකිරීමේ ඇම දමා තිබෙනවා. ඒ පරණ තැටියම අලුත්කරයි. මේ දිග හැරෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලම මේ දිනවල ජාතික මට්ටමේ සියළු පහසුකම් සහිත ක්‍රීඩා පිටි ප්‍රෝඩාව ලෙසින් දිග හැරීම පිලිබදයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසනවා. 

පිට පළාත් තුල ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එම ක්‍රීඩාංගණ අතුරින් අම්බලන්ගොඩ, පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ ඉදිරි තෙමස ඇතුළත විවෘත කෙරෙන අතර සෙසු ක්‍රීඩාංගණ ඉදිරි තෙවසරක කාලය ඇතුළත නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. මෙලෙස ඉදිරි වසර තුන තුල වැඩ නිමවන බව කියන්නේ රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය හා යාපනය මල්ලාකම් පිටියයි.


මේ අනුව මෙම නිවේදනය මගින්ද සිදුකර ඇත්තේ ක්‍රිකට් ආයතනයට රෙදි නැතුව කඩේ යන මාධ්‍ය සනසා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇන්දීමේ අවශ්‍යතාව ඉටු කිරීම බව හොදින්ම පැහැදිලි වනවා. වසරක් තුල ක්‍රීඩා පිටි හයක් සංවර්ධනය කරන බව පළමුව කියනවා. අනතුරුව ඉන් තුනක වැඩ මාස තුන තුල අවසන් වන බව කියනවා. අනෙක් ක්‍රීඩා පිටි තුන වැඩ අවසන් වන්නේ වසර තුනකදී බවයි පසුව පවසන්නේ. මේ අනුව පැහැදිලි වන්නේ සිංහල භාෂාව නොදත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයට සිදුකිරීමට යන ප්‍රෝඩාව හරිහැටි තේරුම් ගොස් නැති බවයි. වසරක් තුල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ නම් වසරක් වන විට සියල්ල අවසන් විය යුතුයි. මේ අනුව එය නිවැරදි විය යුත්තේ සංවර්ධනයට පියවර ගෙන තිබේ. වසරක් යන්න හැලිය යුතුයි. ක්‍රිකට් හොරා කා තිබේ. ක්‍රිකට් වසරක් තුල හොරා කා තිබේ. තේරුම් දෙකකි. එය තේරීම් ගැනීමට නොහැකි රුපියල් ලක්ෂ ගණනින් මාසික වැටුප් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ගැන අප ඔබට වැඩි යමක් කිව යුතු නෑ.


ඉදිරි තෙමස තුල වැඩ අවසන් වන බව කියන අම්බලන්ගොඩ, පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ වැඩ ආරම්භ කළේ හිටපු සභාපති තිලංග සුමතිපාල මීට වසර ගණනකට පෙරයි. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇන්දීමට පොලොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙස සිදුකළ අති විශාල මුදල් නාස්තිය අප පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඒ කැලේ වැවීමට ඉඩහැර පොලොන්නරුව ක්‍රිකට් ක්‍රීඩා පිටිය අතහැර දමා ඇති බව පෙන්වා දෙමින්. එලෙසම හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ආරම්භ කළ එකක්. එහි මුදල් වලින් ඉදිකර තිබුණේ වටේට තාප්පයක් පමණයි. එයත් වසර තුනකට වඩා පැරණි ක්‍රීඩා පිටි සංවර්ධන සැලැස්මක්. යාපනයේ කතාවද එලෙසයි. මේ අනුව මාලිගාවක් ඉදි කිරීමට සිදුකළ සැලසුම් හා වියදම් සියල්ල කුඩා මඩුවක් ඉදිකර අවසන් කිරීමේ උත්සාහයක් ලෙසත් මෙය පෙන්වා දිය හැකියි. රුපියල් මිලියන 1000 ගණනක් මෙම එක් ක්‍රීඩා පිටියක් සදහා වෙන් කළේ ජාත්‍යන්තර ලේබලය අලවමිනුයි. එහෙත් දැන් එය ජාතික ලෙස වෙනස් වී වැය කළ බව කියන මුදල් අතුරුදන් කිරීමක් ලෙසත් පෙන්විය හැකියි. මන්දයත් එවන් මුදලක් වැයකර සිදුකළ සංවර්ධනයක් නොවීමයි.

සාස්තර මෑණියන්ගේ පුතාට ක්‍රිකට් ලොකු පුටුවක්



 ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සදහන්  බදුල්ල ක්‍රීඩා පිටිය වෙනුවෙන් මුදල් වෙන් කරනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදීයි. එහි තණතීරු සහිත විකට් ඉදිකිරීමට තවත් වසර තුනක් ගතවන බව කියන්නේ නම් එය වසර 5-6 ක් යනතුරු කිසිවක් සිදු නොවන බවට වන ඉගියක් වනවා.


බන්දුලට ක්‍රිකට් ආයතනය බැස්සූ බෝලය ගැන CID පරීක්ෂණ


මෙලෙස තණතීරු සහිත ක්‍රීඩා පිටි ඉදිකිරීම හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ආන්දෝලනාත්මක වූ කාලයේ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර රජයට කළ යෝජනාවක්. නුදුරේදීම ඔවුන් දෙදෙනා ක්‍රීඩා සභාවට පත්වීමට නියමිත නිසා කලින්ම ලකුණු දා ගැනීමට මෙම ක්‍රීඩා පිටි සංවර්ධන ප්‍රෝඩාව සමාජගත කිරීමට කටයුතු කර ඇති බව පෙනී යනවා. ජාතික ක්‍රීඩා සභාවට ජාත්‍යන්තරය ජයගත් ලොව පිලිගත් ක්‍රිකට් ක්‍රීඩකයන් පත්වීමට නියමිත බව සැමට පෙර අප මෙලෙස අනාවරණය කළා.


ලකුණු දාගන්නන් පොරකද්දී නාමල් වැඩ අරඹයි - ක්‍රීඩාව කණපිට පෙරලෙන ලකුණු - Exclusive Exposed



දේශීය ක්‍රිකට් දියුණුව වෙනුවෙන් තණතීරු සහිත ක්‍රීඩා පිටි ඉදිකිරීම කාලෝචිතයි. එහෙත් මෙහි සැගවුණු ගැටළු රැසක් තිබෙනවා. තණතීරු සැකසීම සදහා මුළු දිවයිනටම මැටි ලබාදෙන්නේ එක් සැපයුම් කරුවෙක් පමණයි. එය ඒකාධිපති මාෆියාවක් ලෙසත් හැදින්විය හැකියි. මේ අතර එලෙස ලබා ගන්නා මැට්ටෙන් ඉදිකරන තණතීරු බලා ගැනීමට තණතීරු භාරකරුවන් නොවීම නිසා ඒවා වල් බිහිව විනාසයට යනවා. රත්නපුර, පොලොන්නරුව සහ යාපනය ප්‍රදේශයන්හි හිස්භූමි භාගයන්හි ඉදිවන මෙම ක්‍රීඩාංගණයන්ට තණතීරු දහය බැගින් වූ ප්‍රධාන තණතීරුවලට අමතරව පැති විකට්ටුද සපයන බව නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව මෙහි අලුතින් තණකොළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන බවත් සදහන්. තණකොළ සිටුවීම හා සංවර්ධනය කිරීම යනු අතිශය ලාභදායී ව්‍යාපාරයක්. එමෙන්ම ඉදිකරන පැති විකට්ටු නිසි නඩත්තුවක් සිදු නොකර වල් වැදී විනාස වූ අවස්තා එමටයි. පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ ඉදිකර විනාස වූ පැති විකට් උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මේ අනුව මෙම ඉදිකිරීමට සමගාමීව තණතීරු භාරකරුවන් බදවා ගත යුතුමයි. එමෙන්ම ඒවා නඩත්තුවද වගකීම් සහිතව පැවරිය යුතු වනවා.

හෝමාගම පොහොට්ටුව පිපීම මාසයක් නවතී - පුවත පලදරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ ප්‍රධානී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව එහි දැක්වෙනවා. එහෙත් ඔහු මේ මාස තුනකින් විවෘත කිරීමට යන්නේ හිටපු සභාපති තිලංග සුමතිපාල ආරම්භ කළ ව්‍යාපෘති බව අප ඔබට සිහිපත් කළ යුතුයි. ඒවා පසුගිය වසර එකහමාරක කාලයේ වල් වැද විනාසවීමට ඉඩ හැර තිබුනේ වත්මන් සභාපති ශම්මි සිල්වායි. නින්දෙන් නැගිට්ටාක් මෙන් හිටි හැටියේ දැන් එය මතක් වී ඇත්තේ ජාතික ක්‍රීඩා සභාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර පත්වීමට යන ආරංචිය විය යුතුයි. ඉදිරියේදී ක්‍රීඩාවෙන් මුදල් ගැරූ බොහෝ පිරිසකට ආධායම් මාර්ග ඇහිරී යනු ඇති බවට මේ වන විට පෙර ලකුණු පහළ වී තිබෙනවා. එහෙත් මේ හොරුන් නොව කම්බ හොරුන් බව මතක කළ යුතු නැහැ. ඉතින් ඔවුන් රිංගීමට සිදුරු සෙවීම දැනටමත් ආරම්භ කර නැත්නම් එය පුදුමයට කරුණක්.


ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලම යාපනේ තිරගතවේ


ක්‍රිකට් දියුණුව මුවාවෙන් දේශපාලනඥයින්ගේ හොද හිත දියුණු කිරීම මෙතෙක් කළක් ක්‍රීඩා පිටි ඉදිකිරීම යැයි සිදුකෙරුණා. එහිදී රුපියල් මිලියන ගණනින් ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ සාක්කු පිරුණා. ඉස්සර සෙල්ලම් දැන් බෑ. මේ වත්මන් ආන්ඩුව පැමිණීමට පෙර දේශපාලන වේදිකාවේ නිතර ඇසුනක්. ඉතින් එය යථාර්ථයක් කර පෙන්වීමට කාලයයි මේ. ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අවංක උවමනවක් ඇති ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙවන් සිල්ලර සීනි බෝල වලින් රැවැට්ටීමට නොහැකි බව අපේ විශ්වාසයයි. එහෙත් කුඩයක්ද ඉහළන් කනෙන් රිංගීමට දක්ෂ ක්‍රිකට් නිලධාරීන් මෙල්ල කිරීම ඉතා අපහසු වනු ඇති බවත් අමතක කළ යුතු නැහැ. මෙම කෝලමේ තවත් තොරතුරු සාක්ෂි සහිත අනාවරණයක් ඉදිරියේදී Lankasportsnews අප සිදුකිරීමට සූදානම් බව අවසන් වශයෙන් සටහන් කරනවා.




No comments:

Post a Comment