• Breaking News

    ක්‍රිකට් සාමාජිකයින් හොර සාමාජිකයන්ට එරෙහිව ගේම ඉල්ලයි - අලුත්ම කැරැල්ල මෙන්න

    අන්තෝ ජටා බහී ජටා කියන්නේ ඇතුලත් ගැට පිටත් ගැට යන්නයි. එය දැකල නැති කෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වන්න. එය තරම් ගැට ගැසුන, සංකීර්ණ වෙනත් කිසිවක් සොයාගැනීමට අපහසු තරම්. ක්‍රිකට් ආයතනය හොදට තියෙන තැන්ද ගැට ගසා, පටලවා, අච්චාරුවක් කිරීමට දක්වන්නේ පුදුම හැකියාවකි. එහෙත් ඔවුන් මෙවර කෙහෙල් ගහට කොටන්න ගොස් හොට පටලන් තිබේ. ඒ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නිලවරණය අත්හිටුවීමට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලන් කන්න යන කතාවයි. එය මෙතැන් සිට දිග හැරෙනවා.


    1876 වසරේ ආරම්භ වූ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය මේ වන විට වසර 144 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹින් පිට ඇති ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධානම ක්‍රීඩා සමාජයයි. 2003 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස නම් කෙරුණු ඔවුන්ගේ මව් සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ආරම්භ කළේ 1975 ජූනි මස 30 වැනිදායි. මේ අනුව ගත් කළ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමග සසදන විට නොදරුවෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැදින්වීමේ වරදක් නැහැ. ඒ මේ වන විටත් එහි සිදුවන අඳ බාල වැඩ නිසාවෙනුයි. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජ ව්‍යවස්තාවේ සදහන් අරමුණු දැක්වෙන දෙවන වගන්තියේ දෙවන අරමුණ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සෙසු ක්‍රීඩා ප්‍රවර්ධනය, පහසුකම් සැපයීම හා ධෛර්යය දීමයි. මේ අනුව ඔවුන් පාපන්දු, රග්බි හා බ්‍රිලියඩ් ක්‍රීඩා කණ්ඩායම් ද පවත්වාගෙන යනවා. එම ක්‍රීඩා සදහා ගාල්ල නගරසභා පිටියේ වෙනම ඉඩමක්ද වෙන්ව තිබෙනවා.


    මෙලෙස කීර්තිමත් ඉතිහාසයක් ඇති ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති වන්නේ ප්‍රසිද්ධ සමාගමක උසස් නිලධාරියෙක්. ඔහුගේ මැදිහත්වීමෙන් පසුගිය පාසල් ක්‍රිකට් සමයේදීද මෙම ආයතනය පාසල් ක්‍රිකට් සංවර්ධනය සදහා විශාල මුදලක් වැයකර තිබෙනවා. එහෙත් මෙම සභාපතිවරයා මේ වන විට මුහුණදෙන ප්‍රධානම අභියෝගය වී ඇත්තේ එහි බලය ඇල්ලීමට ක්‍රිකට් ආයතන හොරු රැල සමග එක්ව පොරකන බල ලෝබීන්ගෙන් සංගමය ආරක්ෂා කර ගැනීමයි. 2019 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සහය හිමිවූයේ සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාසටයි. එහෙත් එහිදී සහය ලබාදෙන්නේ ශම්මි සිල්වා පාර්ශ්‍රවයට බව පොරොන්දු වී ගානක් කඩා ගැනීමට ගාල්ල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති හා කමිටු සාමාජික ශාන්තිලාල් අබේගුණවර්ධන  කටයුතු කර තිබුණා. ක්‍රිකට් නිලවරණයෙන් ශම්මි පාර්ශ්වය ලැබූ ජයග්‍රහණයත් සමගින් ගාල්ලට එරහිව අවි අමෝරා ගැනීම ආරම්භ වුණා.


    ශාන්තිලාල් අබේගුණවර්ධන  ක්‍රීඩා අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා සමගින් එක්ව පෙත්සමක් ලබදුන්නේ පලි ගැනීම් අරඹමින්. ක්‍රීඩා අමාත්‍යාංශයේ කුප්‍රකට දූෂිත නිලධාරී ආර්.බී වික්‍රමසිංහ මෙම හොරු රැල සමගින් එක්ව ඔවුන්ගේ ඉත්තෙක් ලෙස නැටවෙන්න ගත්තා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ බලය ගණිකා වෘත්තීයේ යොදවමින්. මේ අනුව ගාල්ල ක්‍රීඩා සමාජයේ අක්‍රමිකතා සොයා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2019/12/09 වැනිදා ලිඛිතව දැනුම් දුන්නා. එහෙත් ඊට කිසිවක් මෙතෙක් දිනක් සිදු නොකර බලන් සිට මෙවර ගාල්ල ක්‍රීඩා සමාජය නිලවරණය පැවැත්වීමට සූදානම් වන විට එය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා දැනුම් දී තිබෙනවා. 2020/08/14 දිනැති ලිපියෙන් ඔහු එය දැනුම් දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය එලෙස දැනුම් දී ඇති බව දක්වමින්. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිපියේ එවන් කිසිවක් නැහැ. ඔවුන් දැනුම් දී ඇත්තේ පරීක්ෂණයක් සිදුකරන ලෙස පමණයි. මේ අනුව මොහාන් ද සිල්වා සිය බලය අවභාවිතා කරමින් අනුබද්ධ සංගම් පාලනයට කටයුතු කරමින් ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ උපදෙස් මත බව වාර්තා වනවා.


    ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිංගික අල්ලස් - Exclusive


    ගාල්ල ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා යොමුකර ඇති මෙම ලිපියේ පිටපතක් ශාන්තිලාල් අබේගුණවර්ධන වෙතද යොමුකර තිබෙනවා. ගාල්ල ක්‍රීඩා සමාජය පවසන්නේ මුදල් හා දේපල අවභාවිතා කිරීම යටතේ මේ වන විට ශාන්තිලාල්ට එරහිව අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. හොරු හොරු බේරා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බව කීමට තවත් උදාහරණයක් අවශ්‍ය නැහැ. වසර දෙකකට වරක් පවත්වන ගාල්ල ක්‍රීඩා සමාජ නිලවරණය නොපවත්වා තව දුරටත් බලය රැක ගැනීමට හා පරිපාලනය අවුල් කිරීම මොහාන්ගේ ඉලක්කය බව සදහන්. ඒ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ උපදෙස් මතයි. ඉන් සභාපති ශම්මි සිල්වා අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ තවත් ඉලක්කයක් වී තිබෙනවා. සිදුවිය යුත්තේ නිලවරණය නොපවත්වන්නේ නම් සොයා බැලීමයි. එහෙත් සිදුවන්නේ දූෂිතයින්ට යලි තනතුරු දැරීමට නොහැකිවීමෙන් බේරා ගැනීමට නිලවරණය අත්හිටුවීමට පියවර ගැනීමයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලය අවභාවිතා කිරීමක් වනවා.


    ගාල්ල ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් 112 දෙනෙකු අත්සන් කර මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය විරෝධය ලිඛිතව පළකර තිබෙනවා. ඒ අතර සිටින කීර්තිමත් නීතීඥයෙක් Lankasportsnews අප වෙත කියා සිටියේ මෙම නීති විරෝධී මැදිහත්වීමට එරහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඊට සිය සංගමයේ සාමාජික නීතීඥයින් රැසක් මේ වන විටත් සහය පළකර ඇති බවත් ඔහු කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා රැසක් පසුගිය කෝප් කමිටුවේදී අනාවරණය වුණා. ඒවාට ගත් ක්‍රියාමාර්ග මෙහිදී ප්‍රශ්න කිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා. අනුබද්ධ සංගම් දූෂණ සෙවීමට වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අනාවරණය වූ දූෂණ අක්‍රමිකතා සදහා පියවර ගැනීම බවත් ඔහු කියා සිටියා. ඒ පිලිබද ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැනුවත් කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.


    ශාන්තිලාල් අබේගුණවර්ධන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කරමින් ලේකම් මොහාන් ද සිල්වා මෙලෙස කටයුතු කිරීම කණගාටුදායකයි. සියල්ල මෙලෙස වී ඇත්තේ ක්‍රිකට් ආයතන නිලවරණයේදී ගාල්ල ක්‍රීඩා සමාජය ජයන්ත ධර්මදාස වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමයි. මේ වන විට ජයන්ත ධර්මදාස සිටින්නේද ක්‍රිකට් ආයතන උප සභාපතිවරයෙක් ලෙසයි. තමන් වෙනුවෙන් පෙනී සිට ක්‍රිකට් ආයතන දඩු අඩුවට හසුව තිබෙන ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජයන්ත ධර්මදාස හඩක් නොනගා නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම කැපී පෙනෙනවා. මේ අතර මෙම පළිගැනීම කෙතරම් කුරිරු වීද කියතොත් මෙවර ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සදහා ලබා දීමට නියමිත මුදල් වලින් මිලියන ගණනක් ඔවුන්ට මෙතෙක් නොගෙවා තමන් සන්තකයේ තබා ගැනීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.


    අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීම කලාවක් නම් එහි පිකාසෝ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා හැදින්විය හැකියි. ගාල්ල ක්‍රීඩා සමාජයට පාඩමක් උගන්නන්න ගොස් මෙවර ඔහු හොට බිම ඇණගන්නේ තනිවම නොවේ. ශම්මි සිල්වාත් තනියට ඔහු සමගින් සිටිනු ඇති. ඉතින් එක්ව නා ගන්නේ නැතුව දැන්ම වරද නිවැරදි කර ගැනීමට සභාපති ශම්මි සිල්වාට කාලය ඇති බව මතක් කරනු කැමතියි. නැත්නම් මොහාන් අසූචි ගා ගන්නේ ශම්මිගේ ඇගේද තවරා බව පුන පුන කීමට අවශ්‍ය නැහැ. දූෂිතයෙක් බේරා ගැනීම වෙනුවෙන් හිටපු සභාපති තිලංග සුමතිපාල මේ ගේම් ගහන්නේ ශම්මි ගොඩ නගමින් ඇති ක්‍රීඩා සමාජ හොද හිත පළුදු කිරීමට බව තවත් උදාහරණ ද අවශ්‍ය නැහැ. මොහාන් ගහපු මේ ගැටෙන් බේරෙන්න ශම්මි සමත්වෙයිද කියා කියන්න තාම දන්නේ නැත. කෙසේ වෙතත් මෙම ගැටළුව තව දුරටත් උඩු දිවීමට ඉඩ දුනහොත් එය අධිකරණයේදී ක්‍රිකට් ආයතනය නිරුවත් වන අවස්තාවක් වන බව පමණක් සටහන් කළ හැකියි.


    No comments