• Breaking News

    ජයන්තගේ නැට්ටේ එල්ලී දිව්‍යලෝකේ යන්න හදන ක්‍රිකට් සෙට් එකේ කුමන්ත්‍රණය - Exclusive Exposed

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුමන්ත්‍රණ පිරුණු දූෂිතම ආයතනයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නෑ. කලක් එය ශ්‍රී ලංකා පොලීසියට පමණක දෙවනිවුවත් පසුගිය වසර පහ තුල ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනය පමණක් නොව ලොව දූෂිතම ආයතනය ලෙසත් කිරුළු පැලදුවා. ඊට විශාලම කාර්යයක් සිදුකළ සියල්ලන්ම කිසිදු හෙනයක් නැතුව රජ පුටුවල යෙහෙන් වැජඹෙමින් ඇත්තේ සල්ලි දෙවියන්ගේ මල්ලි බව සනාථ කරමිනුයි. මේ අතර නිලවරණයේදී බලයට පැමිණීමට නොහැකි වූ පිරිසක් දේශපාලන බලය යොදා ගනිමින් මේ වන විට ක්‍රිකට් බලය ඇල්ලීමේ මෙහෙයුමක නිරතව සිටිනවා. මේ ඒ පිලිබද සටහනක්.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට මාස 17 කට පසු එහි උප සභාපති කේ. මතිවානන් පසුගියදා  ඉල්ලා අස්වුණා. ඒ ක්‍රිකට් ආයතනය තව දුරටත් කුඩම්මාගේ සැලකිලි දැක්වීම හා දූෂණයටම ගමන් කිරීම තමන්ට පමණක් වලක්වා ගත නොහැකි බව පවසමින්. එම ඉල්ලා අස්වීම සිදුව පැය තුනක් යාමටත් පෙර හදිසි විධායක කමිටු රැස්වීමක් කැදවා සභාපති ශම්මි සිල්වා එම තනතුරට ජයන්ත ධර්මදාස පත් කිරීමට යෝජනා කළා. ඊට සියල්ලන්ගේ ඒකමතික කැමැත්ත හිමිවුණා. ඒ හිටපු සභාපති තිලංග සුමතිපාල එලෙස හිස්තැන පිරවීමට හදිස්සි නොවන ලෙස ඉල්ලා තිබියදීයි. එමෙන්ම ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ලිඛිතව එම තනතුර තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබියදී වීමත් කැපී පෙනෙනවා.


    මෙය හිටි හැටියේ පාත්වූවක් සේ සියල්ලන්ට පෙනෙන්න ඉඩ හැර සැලසුම් සකස්වූයේ සති ගණනකට පෙරයි. මෙහි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන බල පොරයක්. මහ මැතිවරණයට පසු CSN නාලිකාව යලි සිය විකාශන කටයුතු ආරම්භ කරනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය යලි අත්පත් කර ගනිමින්. ඊට ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධාන පුටුව CSN සතුවිය යුතු වනවා. ඊට නිෂාන්ත රණතුංග පත්වන්නේ නිතරගයෙන්. මේ අනුව මහ මැතිවරණයට පසු ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම සිදුවනවා. එහි ලේකම් ලෙස යලිත් නිෂාන්ත රණතුංග පැමිණීම නොවැලැක්විය හැකියි.


    මෙලෙස ක්‍රිකට් අතුරු කමිටු ලේකම් ලෙස ඔහු පත්වන විට සභාපති පුටුව සදහා දැඩි තරගයක් නිර්මාණය වනවා. ඒ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සමීප ජයන්ත ධර්මදාස නොසලකා හැරිය නොහැකියි. එහෙත් නිෂාන්ත රණතුංග තමන්ට හැසිරවිය හැකි අයෙක් ඊට පත් කිරීමට බලාපොරොත්තු වනවා. ඔහුට සමීප සබදතා ඇති ඊට වඩාත් සුදුසු ලෙස ඔහු සලකන්නේ කේ. මතිවානන් බවයි Lankasportsnews අප වෙත වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු ඒ වන විටත් ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළහොත් නිශාන්ත රණතුංගගේ සිහිනය බොද වනවා. ක්‍රීඩා නීතියට අනුව විධායක කමිටුවක් විසුරුවා අතුරු කමිටුවක් පත්කිරීමේදී එහි තනතුරු දීමට පෙර කමිටුවේ සාමාජිකයින්ට හැකියාවක් නෑ. මේ හේතුවෙන් ඔහු මහ මැතිවරණය පෙනි පෙනී ඉල්ලා අස්වීම සිදුවනවා. එවිට සිය ප්‍රතිවාදියා වන ජයන්ත ධර්මදාසව කඩි මුඩියේ ඊට පත් කිරීමත් සිදුවනවා. එහි අරමුණ වන්නේ ජයන්තව අතුරු කමිටුවෙන් ඉවත් කර ඊට මතිවානන් එක්කර ගැනීමේ කූට උපායයි. මේ අතර ක්‍රිකට් අතුරු කමිටු නම් අතර සිදත් වෙත්තමුණි හා රොෂාන් මහනාමගේ නම්ද කියවෙනවා. කුසිල් ගුණසේකරත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරියකු බවට පත්ව සිටින මුරලි හරහා එයට එක්වීමට නීච ප්‍රයත්නයක නිරත වෙනවා.


    මේ ගේම් එක පසුපස රටේ බලය හිමි ප්‍රභල දේශපාලන බලවතෙක් සිටින බව සදහන් කළ යුතුයි. දේශපාලන බල පෙරලි පසුපස සෑම විටම සිටින තිලංග සුමතිපාලට වඩා එම හස්තය ප්‍රභල බව පමණක් Lankasportsnews අප සටහන් කිරීමට කැමතියි. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස පත්කළ සැනින් පහුවදා වැඩ භාර ගැනීම සදහා සියල්ල සූදානම් වුණා. එහිදී අප කියා සිටියේ හදිස්සි නොවීම යනු ජයන්ත ධර්මදාසගේ ජයග්‍රහණය බවයි. මේ අප මෙලෙස අනාවරණය කරන්නේ එම ජයග්‍රහණයයි. මෙම තනතුර භාර ගැනීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටීමෙන් ඔහුට අතුරු කමිටු සභාපති ලෙස පැමිණීමේ හැකියාව හිමිවනවා.

    තිලංග විසිවේ - ශම්මි තරවේ - ධර්මදාස අහුවේ ? Exclusive Exposed



    කෙසේ වෙතත් අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකයට යාමට පිරිසක් සිටින ලෙසම නවලෝක  ජයන්තගේ නැට්ටේ එල්ලී පිරිසක් පැමිණීමට බලා සිටින බවත් සටන් කළ යුතුයි. ඒ ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට බව අමුතුවෙන් කිව යුතු නෑ. ප්‍රියන්ත අල්ගම හා ශිබ්ලි යන දෙදෙනා ඒ අතර ප්‍රධාන වනවා. ක්‍රිකට් නිලවරණයට පෙර ගණන් හදා ජයග්‍රහණය කරන ආකාරය කියමින් ජයන්ත ධර්මදාසව නොමග යැවූවේ මේ දෙදෙනා ඇතුලු නඩය බව සටහන් කළ යුතුමයි.


    කෙසේ වෙතත් දේශපාලන ක්‍රීඩාවක ගොදුරක් වී ජයන්ත ධර්මදාස අත උඩ ඇති තනතුර අහිමි කර ගනීවිද නැද්ද කීමට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි. අපට හද පෙන්විය හැකියි. හද බලනවාද ඇගිල්ල දෙස බලනවාද ? තීරණය ඔහු සතුයි. මෙම දේශපාලන ක්‍රීඩාව අප ඔබට ලියා තබන බවට වූ පොරොන්දුව මෙලෙස ඉෂ්ඨ කළ බව අවසන් වශයෙන් සටහන් කිරීමට කැමතියි.


    No comments