• Breaking News

    දැල්පන්දු නිලවරණයේ නිරුවත ඇමති නාමල් දකීද - Exclusive Exposed

    අන්දරේ සීනි කෑවා වගේ රවටා 18 වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් කොස් ඇට බෑවීමට බලලුන් පිරිසක්  බලා සිටිනවා. අනාරාධිතව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩ භාරගැනීමට එක්වීමට ඔවුන් මේ වන විටත් පැමිණ සිටින්නේ කුකුලා අතින් අරගෙනයි. අමාත්‍යවරයා දිරිමත් කිරීම හා යා යුතු මාවත පෙන්විය යුතු ක්‍රීඩා මාධ්‍යවේදීන් ද ඒ අතර සිටීම කණගාටුවට කරුණක් වනවා. මේ කියන්න යන්නේ එලෙස අද (18) වැඩ භාරගන්නා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට එලිපිට මුහුණදීමට සිදුවන පළමු අභියෝගය පිලිබදයි.


    ජාතික දැල්පන්දු සංගමයේ නිලවරණය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත වුණා. එහෙත් කිසිදු හේතුවක් නැතිව එය මෙම මස 31 වැනිදා දක්වා කල් දමා තිබෙනවා. ඊට ඉදිරිපත් වී සිටින්නේ එක් පාර්ශ්‍රවයක් නියෝජනය කරන පිරිසක් පමණක් වීම කැපී පෙනෙනවා. මේ අනුව අනුබද්ධ සංගම් 36 ක් ඇති ජාතික දැල්පන්දු නිලවරණයේ උප ලේකම් තනතුර සදහා පමණක් දෙදෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කර ඇති අතර අනෙක් සියලු තනතුරු නිතරගයෙන් පත්වීමට නියමිතයි. තනි අස්සයෙක්ගේ තරගයක් බවට මෙවර නිලවරණය පත්ව ඇත්තේ සභාපති අපේක්ෂිකා හා වත්මන් සභාපති ලක්ෂ්මි වික්ටෝරියාට එල්ලවී ඇති චෝදනා සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන්. දැල්පන්දු සංගමයේ විනාශය පසුපසද සිටින්නේද ක්‍රීඩා අමාත්‍යාංශයේ කුප්‍රකට දූෂිත ඉතිහාසයක් සහිත ආර්.බී වික්‍රමසිංහයි. ක්‍රීඩා සංගම් භාර ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියා ඔහු වීම හේතුවෙන් මෙලෙස හොරු රජවීම හා හොරු යෙහෙන් වැජඹීම සිදුවනවා.


    රට බංකොලොත් කියා ක්‍රීඩක දීමනා කපයි - Exclusive Exposed


    ලක්ෂ්මි වික්ටෝරියා සභාපතිනිය ලෙස රැදී සිටීම හා තවදුරටත් සභාපති අපේක්ෂිකාව වීම නීති විරෝධී බව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍රට අනුබද්ධ දැල්පන්දු සංගම් පැමිණිලි කළා. ඒ අදාල කරුණු සාක්ෂි සහිතවයි. මීට පෙරද සංගමයේ ගිණුම් ඉදිරිපත් නොකිරීම පිලිබද පැමිණිලි ඇති ලක්ෂ්මි වික්ටෝරියා මෙවරද එම වරදම සිදුකර ඇත්තේ නිසිලෙස ගිණුම් ඉදිරිපත් නොකරමිනුයි. ක්‍රීඩා පනතට අනුව ගිණුම් ඉදිරිපත් නොකරන කිසිවෙක්ට යලි නිලවරණ සදහා එක්විය නොහැකියි. මේ පිලිබද පැමිණිල්ල සුපුරුදු ලෙස ක්‍රීඩා සංගම් භාර ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියා ලෙස වික්‍රමසිංහට විභාග කිරීම පැවරුණා. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බවට පත්ව අවසන්. වික්‍රමසිංහ සිය හුරතලිය වන සුභානි සමගින් එක්ව සියලු විරෝදතා කුණු බක්කියට දමා වසා තැබුවේ පසුගිය කාලයේ ලක්ෂ්මි වික්ටෝරියාගෙන් ලද දීමනාවන් හා වරප්‍රසාද සිහියට නැගී බව දැල්පන්දු ක්ෂේත්‍රයේ නොරහසක්.


    ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිංගික අල්ලස් - Exclusive


    පසුගිය වසරේ දැල්පන්දු තරගාවලි පැවැත්වූයේ රාජ්‍යසේවා හා වෙළඳ සේවා සංගම් පමණයි. ඔවුන් මෙවර නිලවරණයට සිය නියෝජිතයන් ඉදිරිපත් කර නැත්තේ සභාපති වික්ටෝරියාට විරෝධය පළකරමිනුයි. වසර පුරා කිසිදු ක්‍රියාකාරීත්වයක් නොපෙන්වූ සංගම් රැසක් මෙවර නිලවරණයේදී ඡන්ද හිමි සංගම් ලෙස නම්කර තිබෙනවා. ඒ සංගමයේ ව්‍යවස්තාව උල්ලංඝණය කරමිනුයි. එමෙන්ම දැල්පන්දු විනිසුරුවරියන් සදහා සංගමයේ නිලතල ලබාගත නොහැකි අතර නිලධාරිනියන්ට විනිශ්චයකාරියන් වීමටද නීතියට අනුව හැකියාවක් නෑ. එහෙත් එවන් බුරුතු පිටින් මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටිනවා. ඒ වික්‍රමසිංහගේ හයියෙන් ව්‍යවස්තා තව දුරටත් වංගු නැති ලියවිල්ලක් කරමිනුයි.


    හිටපු සභාපතිනී ට්‍රික්සි නානායක්කාර ජාතික දැල්පන්දු පුහුණුකාරිය ලෙස තිලකා ජිනදාසව පත්කළා. මේ අනුව ඇය ජාතික කණ්ඩායම ආසියාවේ ඉහළට ඔසවා තැබීම සදහා සැලසුම් සහගත ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනු දක්නට ලැබුණා. එහෙත් සභාපති පුටුව මාරුවීමත් සමග සියල්ල උඩ යට මාරු වුනේ ප්‍රධාන පුහුණුකාරියද වෙනස් වෙමින්. ලාභ බඩුවේ හිලක් කියන කියමන සිහියට නංවන්නක් බවට එය පත්වුනේ සොච්චම් මාසික වැටුපකට බදවාගත් වත්මන් පුහුණුකාරිය නව සංගම් නිලධාරිනියන්ද මෙන්ම කිසිදු ප්‍රයෝජනවත් යමක් පෙන්නුම් නොකිරීම අනාගත දැල්පන්දු මහා ප්‍රපාතයකට වැටෙන ලකුණු පලකර තිබෙනවා. ඒ මේ වන විට බොහෝ දැල්පන්දු ක්‍රීඩිකාවන් විශ්‍රාම යන වයසේ පසුවීම හා ඇතැම් ක්‍රීඩිකාවන් ගර්භණී වී සිටීම නිසයි. දෙවන පෙළක් පිලිබද ගැටළුව දැඩිව දැනෙන තවත් ආසියාව පහසුවෙන් ජයගත හැකි ක්‍රීඩාවක් ලෙස දැල්පන්දු හැදින්විය හැකියි.


    එලියේ කුණු සෙවීමට පෙර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට සිදුව ඇත්තේ ගෙදර කුණු පළමුව සුද්ද කිරීමයි. ගෙදර කුණු එකතුවී කුණුවී ඕජස් ගලන තුරු නොයිද වහාම ක්‍රීඩා අමාත්‍යාංශයට අරක් ගත් බහිරවයන් වන් කූඩැල්ලන් පැන්නිය යුතුයි. ඉතින් නාමල් රාජපක්ෂ අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත් පසු මුහුණ දීමට නියමිත පළමු අර්බුදය දැල්පන්දු නිලවරණ අවුල බවට පත්වනු ඇති. මෙම තත්වය පිලිබද සොයා බලා අවශ්‍ය පියවර නොගත හොත් දැල්පන්දු නිලවරණය නාමල්ට පුදනකොට කාපි යකා වේවි. ඒ මෙම ගැටළුව අධිකරණයට යාමට ඉඩ තිබීම හේතුවෙන්. ක්‍රීඩා ඇමතිවරයා ප්‍රශ්න විසදා නිවැරදි තීන්දු තීරණ ගන්නෙක්ද යන්න රටේ ජනතාවට බලාගත හැකි අවස්තාවක් ලෙසත් මෙය පෙන්විය හැකියි. එසේ වීමට නම් මිතුරු සංගම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංගම් භාර ආර්.බී වික්‍රමසිංහව වහාම ඉන් ඉවත් කළ යුතුමයි. නැත්නම් නාමල්ට සිදුවන්නේ වැටත් නියරත් ගොයම් කන ආකාරය බලා සිටීමට පමණයි.


    ක්‍රීඩා අමාත්‍යාංශය ඇතා ගිලපු දිවුලක් මෙන් පිටින් ඔපේ ඇතුල හිස් ආයතනයක්. දොරටුපාලයන් රජවී සිටින ක්‍රීඩා අමාත්‍යාංශය ඉන් මුදවා නොගත හොත් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවීම ඇතාට අටුකොස් දුන්නාක් මෙන් නිශ්පල වනු ඇති. ඉතින් ක්‍රීඩා ඇමතිවරයාට යා යුතු මාවත පෙන්වීමට Lankasportsnews අප සූදානම්. එය අවබෝධ කරගනීද නැද්ද යන්න කීමට තාම කල් වැඩිය. එහෙත් වගකිවයුතු මාධ්‍යක් ලෙස අපේ යුතුකම ඉටු කිරීමට කටයුතු කරන බව සටහන් කළ යුතුයි. ඒ බොහෝ අනෙක් මාධ්‍යවේදීන් මෙන් බෝතලයට හා විදෙස් සංචාර සදහා නොව රටේ ක්‍රීඩාවේ යහපත වෙනුවෙන්ම පමණයි. ඉතින් නාමල් රාජපක්ෂ සිය පළමු අභියෝගය වන දැල්පන්දු නිලවරණයට කෙසේ මුහුණ දෙනු ඇත්දැයි රටම බලා සිටිනවා. තවත් ගැටළු විසදිය නොහැකි අසාර්ථක ඇමතිවරයෙක් බවට පත්වී දැල්පන්දු නිලවරණය අධිකරණයට ගොස් අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවීම වලක්වා ගැනීමට නම් සිය පළමු රාජකාරිය බවට මෙම ගැටළුව පත්කර ගත යුතුයි. ඉතින් අපි කාලයට ඉඩ දී බලා සිටිමු. 18 වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (18) වැඩ භාරගෙන ඉදිරියට අඩිය තබන ආකාරය. එය පරණ තැටියම වාදනය වීමක් නොවේවායි Lankasportsnews අප ප්‍රාර්ථනා කරනවා.


    No comments