ලකුණු දාගන්නන් පොරකද්දී නාමල් වැඩ අරඹයි - ක්‍රීඩාව කණපිට පෙරලෙන ලකුණු - Exclusive Exposed
ක්‍රීඩාවෙන් ලොවක් දිනිය හැකි බව පිලිගැනීමට හේතු වී ඇත්තේ ආර්ථිකයට හා රටේ කීර්තිය වෙනුවෙනුවෙන් ඉන් ලබාගත හැකි පන්නරය නිසාවෙනුයි. එහෙත් ඉන් නරකම ප්‍රතිඵල බුක්තිවිදින රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ රටේ ආර්ථිකය පසෙකලා දූෂිත නිලධාරීන්ට ක්‍රීඩාවෙන් පහසුවෙන් හොරා කෑ හැකි හා හොරකම් සාක්ෂි සහිතව අනාවරණය වුවත් බේරිය හැකි හොදම රට ලෙස ලබා ඇති ප්‍රසිද්ධියයි. එමෙන්ම රට අපකීර්තියට පත් කිරීමෙන් ලොව පළමු තැන දිනා සිටිනේ ක්‍රීඩාවෙන් දූෂිතම රට බවට පත්වෙමිනුයි. මෙවන් කාලයක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ වැඩ භාර ගත්තා. ශ්‍රී ලංකාවේ 18 වන ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු වැඩ භාර ගැනීමේ අවස්තාව කැපී පෙනුනේ ක්‍රීඩාව කාබාසිනියා කිරීමට දායක වූවන් අනාරාධිතව පැමිණ ආරාධිතයන් අභිබවා ඉදිරියට පැමිණීමට දැරූ ප්රයත්නය සමගයි. එම තදබදය ක්‍රීඩා අමාත්‍යාංශ ඉතිහාසය අලුත් කළේ අමාත්‍යවරයෙකු වැඩ භාර ගැනීමක ඇතිවූ ඉහළම තදබදය සනිටුහන් කරමින්. එතැන් සිට ඉදිරියේදී සිදුවීමට නියමිත තවමත් රහසක් වී ඇති නාමල් රාජපක්ෂ ක්‍රීඩාවේ සිදුකිරීමට යන පළමු හා ප්‍රධාන වෙනස පිලිබද අනාවරණය කිරීමට අප තීරණය කළා.
ක්‍රීඩකයෙක්, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වූ ඉතිහාසයේ සුවිශේෂ අවස්තාවක් ලෙස නාමල් රාජපක්ෂ ආගමනය හැදින්විය හැකියි. එමෙන්ම රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නෑදෑකමින් පුතෙක් වන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් වීම එහි අගය තවත් වැඩිකර තිබෙනවා. මේ නිසාවෙන්ම දේශපාලනයේ නිරත සිය එකම හා ජේෂ්ඨ පුත්‍රයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සටහනක් තැබීම සිදුකළේ ඔහු සමග රාජපක්ෂ පවුලම සිටින බව පෙන්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්තාවටද එක්වෙමිනුයි.
මෙලෙස ආගමික චාරිත්‍ර පෙරටු කර ගත් නාමල් වැඩ භාර ගැනීමේ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාව පිරී ඉතිරී ගියේ ඇගිල්ලක් ගැසිය නොහැකි ලෙසයි. කොරෝනා නිරෝදායනය නීති බල්ලට දමමින් අනාරාධිතව ඊට එක්වූ පිරිස එහි විශාල තදබදයක් ඇති කළා. එය අගමැති වැඩ භාරගැනීමක් මෙන් දිස්වූයේ අප හිතවත් මාධ්‍යවේදී සගයන් සෑම විටම වේදිකාවට කැපී පෙනීමට මතුවීමට උත්සාහ ගැනීම හේතුවෙනුයි.
මෙලෙස තද බදය මැද වැඩ ඇරඹූ නාමල් රාජපක්ෂ මාධ්‍ය ඇමතීමටත් අමතක කළේ නැහැ. එහිදී ඔහු කියා සිටියේ ක්‍රීඩා පනත නව ලොවට උචිත ලෙස සංශෝධනය කරන බවයි. මේ ඔහු ඒ පිලිබද කියා සිටි ආකාරයයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී ක්‍රීඩාව නව මානයකට ගෙන යන බව කියා සිටියා. එය කටින් බතල සිටුවීමක් නොවන බව අපට මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඒ වෙනුවෙන් වැඩ කටයුතු රැසක් මූලික පියවරේ සිදුකර බව සනාථ වීම හේතුවෙනුයි. ශ්‍රී ලංකාව නියෝජනය කර ජාත්‍යන්තරය ජයගත් අදටත් ලෝකයේ පිලිගැනීමක් ඇති ක්‍රීඩකයන් පිරිසක් සමගින් පසුගිය දිනවල නාමල් රාජපක්ෂ සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබෙනවා. එහිදී ඔවුන්ට ජාතික ක්‍රීඩා සභාව භාර ගනිමින් ක්‍රීඩාවෙන් පෙරලියක් සිදුකිරීමට සහය දෙන ලෙස අමාත්‍යවරයා පෞද්ගලිකවම ඉල්ලා තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පූර්ණ බලතල ලබාදීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා එකග වූ බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. මේ අනුව ඉදිරියේදී ක්‍රීඩා සංගම් අධීක්ෂණය හා ප්‍රගතිය විශ්ලේෂණය කිරීම ජාතික ක්‍රීඩා සභාවට පැවරීමට නියමිතයි. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ නමට ලියාපදිංචි කර ඇති ක්‍රීඩා සංගම් සදහා මෙය රතු එලියක් ලෙසත් හැදින්විය හැකියි. එමෙන්ම ක්‍රීඩා සංගම් පරිපාලකයන්ගෙන් අත යට සන්තෝසම් ලබා ගන්නා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවසානයද වනු ඇති.
මෙලෙස ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන වෙනස්කමක් ලෙස ක්රීයාකාරීත්වය පිලිබද ආන්දෝලනාත්මක ක්‍රීඩා විද්‍යායතනයත් පූර්ණ වෙනසකට ලක්වීමට නියමිත බව Lankasportsnews වෙත වාර්තා වනවා. මේ අතර තනතුර රැක ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ කූඩැල්ලන් මෙන් ශාරය උරා බොන නිලධාරීන් ආරාධිතයන් තල්ලු කරමින් ඉදිරියට පැමිණ, කතා කිරීමට තබා සුභ පැතීමටවත් ඉඩක් ලබා නොදීම කැපී පෙනුණා. ඉන් ආරාධිතයන් දැඩි අපහසුතාවට පත්ව පිටව ගියේ මේ පිලිබද සිය කනස්සල්ල අප සමගින්ද පළකරමිනුයි. එලෙස පිරිසගේ දැඩි අප්‍රසාදයට පත්වූ පිරිස අප පසුගිය කාලයේ වාර්තා කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ම වීම විශේෂයි.
මේ අතර හිටපු ක්‍රිකට් කළමනාකරුවෙක් වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ලකුණු දා ගැනීමේ පොරයට එක්ව සිටියේ සියල්ලන්ගේ හාස්‍යට ලක්වෙමිනුයි. ඔහු කළක් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුපසින්ද මෙලෙසම ගිය බව අප සටහන් කරන්නේ ඔහු කවුරුන්දැයි ඔබට හදුනාගැනීම පහසුවීම සදහායි. මේ අතර අභිනව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩා සංගම් කිහිපයකම නිලධාරීන් සමග සවස් වරුවේ අදහස් හුවමාරු කර ගත්තා. ඒ අතර ජාතික ක්‍රීඩාව වන වොලිබෝල්ද තිබූ බව සිහිපත් කරන්නේ අනාගත කරුණු දැක්වීමකට ඉඩ තබමිනුයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇත්තෙන්ම ක්‍රීඩාව පිලිබද හොද අවභෝධයෙන් මේ වන විට වැඩ ආරම්භ කර තිබීම සතුටු විය හැකි තත්වයක් වනවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. එය රජයේ වැඩ කටයුතු පහසු කර ගැනීම සදහා යොදා ගත හැකි බව මතක් කරන්නේ පැවති යහපාලන රජය එය හමස් පෙට්ටියට දමා තිබුණ බවත් සිහිපත් කරමිනුයි. මේ ආරම්භය ජයග්‍රාහී අවසානයක් දක්වා ගෙන යාම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඇති අභියෝග වනවා. එය ඉටුකිරීමට ඔහුට හැකිවේවිද කියා කීමට ඉක්මන් විය යුතු නැහැ. සියල්ලන්ට අවශ්‍ය ලෝකය දිනන හෙටක් ක්‍රීඩාවෙන් නිර්මාණය කිරීමයි. ඊට මේ වන විටත් ශ්‍රී ලංකාව ප්‍රමාදවූ පරිසරය හෙටත් පැවතිය යුතු නැහැ. ඉතින් තාරුණ්‍යට හෙටක් සංවිධාන නිර්මාණය කළ නාමල් රාජපක්ෂට රටේ ක්‍රීඩා හා තරුණ කටයුතු භාරවීමෙන් අනාගතයට යමක් ඉතුරු කළ හැකි සැබෑ පෙරලියක් සිදු කිරීමට Lankasportsnews අප අවසන් වශයෙන් සුභ පැතුම් එක් කරනවා.
No comments