ක්‍රිකට් විනිසුරුවන් නිරුවත් කරමින් හැපීඩැඩ් නොදැවී ලකුණු රැස්කරයි - Exclusive Exposed
දොලපිදේනි දෙන්නේ පෙරේතයින් සතුටු කිරීම සදහායි. දරුවන් ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් කිරීම සදහාත් දෙමාපියන් පිදේනි තට්ටු ලබාදෙනවා. මවගේ හුරතලයට හා පියාගේ සන්තෝසමට පාසල් ක්‍රිකට් පිටියේ පොරක් වන ක්‍රීඩකයින් ඕනෑතරම්. පුහුණුකරුවන් එලෙස සාක්කුවට වැටෙන බව ඔබ අසා තිබුනත් ක්‍රිකට් විනිසුරුවන් ද මේ වන විට මේ ගොඩට වැටී ඇති බව ඔබ නොදන්නවා ඇති. හැපී ඩැඩ් ( Happy Dad ) නිසාවෙන් ජාතික කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ පස්සා දොර විවර වූ දැන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේත් එලෙසම පෑල දොරට තඩිබාන ක්‍රීඩකයෙක් පිලිබද කතාවයි මෙතැන් සිට දිග හැරෙන්නේ.
බම්බලපිටිය ප්‍රසිද්ධ පාසලක හැපී ඩැඩ් ( Happy Dad ) ලෙස ප්‍රසිද්ධ, උස ක්‍රීඩකයෙක් නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අවසන් මොහොතේ රිංගුවා. ඒ ජේෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිගේ නැට්ටේ එල්ලී බව දන්නෝ දන්නා රහසක් වුණා. මෙම තරගාවලියට තේරීම් කමිටුව නියෝජනය කර එක්වූයේද මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සිටි අසාර්ථකම තේරීම් කමිටු සභාපතියි. ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට එක්ව සිටි අප කතා නායක හැපී ඩැඩ් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට තීරණාත්මක තරග දෙකේදීම පිටියට පිවිසියේ 7 වන පිතිකරු ලෙසයි. තරගාවලිය පුරාම අසාර්ථක වූ ඔහු කඩුළු හෝ ලකුණු ලබාගැනීමට අසමත් වුණා. වැරදි තේරීමේ ප්‍රතිඵල භුක්ති විදි ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම පරාජයන් රැල්ලකට පසු පළඟ ශූරතාවය සදහා තරග තරග වැදුනා.
පළඟ ශූරතාවයේදී මෙතෙක් බංකුවේ සිටි ක්‍රීඩකයෙක්ට අවස්තාව ලැබුනේ හැපී ඩැඩ් ( Happy Dad ) ක්‍රීඩකයා වෙනුවටයි. මේ අනුව එම ක්‍රීඩකයා, පියාගේ අවශ්‍යතාව ඉටුකරමින් වැරදි තේරීම් සිදුකළ තේරීම් කමිටුවට උඩ පැන පැන කණට ගසමින් ලකුණු 190 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ මෙතෙක් කණිෂ්ඨ ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. කෙසේ වෙතත් වැරදි තේරීම් වන්දිය ගෙවමින් ශ්‍රී ලංකාවට තරගාවලිය නිමා කිරීමට සිදුවූයේ එහි 9 වන කණ්ඩායම ලෙසයි. හැපී ඩැඩ් ( Happy Dad ) ක්‍රීඩකයා මෙලෙස පෑල දොරින් කණ්ඩායමට රිංගීමට සමත්වූයේ ඔහුගේ පියා කළක් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති ලෙස කටයුතු කිරීමයි. මෙම ක්‍රීඩකයා ක්‍රීඩා කරන සෑම තරගයකටම පැමිණෙන පියා දිවා ආහාරයේදී හා තේ විරාමයේදී විනිසුරු කුටියට රිංගා ගන්නවා. ඉතින් කිසිම විටක මෙම ක්‍රීඩකයා දැවීයාමකදී විනිසුවෙක්ගේ ඇගිල්ල එසවෙන්නේ නැහැ. එමෙන්ම ඔහුට අභියෝගයක් වන වෙනත් ක්‍රීඩකයින් වෙනුවෙන් සැනෙකින් ඇගිල්ල එසවීමට විනිසුරුවන් සැදී පැහැදී සිටිනවා. එම සියළු උපදෙස් විරාමයේදී සැපයීමට මෙම පියා කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මේ නිසාවෙනුයි මෙම ක්‍රීඩකයාව හැපී ඩැඩ් ( Happy Dad ) ලෙස හදුන්වන්නේ.
මෙම අප කතා නායක හැපී ඩැඩ් ( Happy Dad ) ක්‍රීඩකයා මේ දිනවල හැව්ලොක්ස් පෙදෙසේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට එක්ව සිටිනවා. සැරෙන් සැරේ ලකුණු අතරට පිවිසීමට ඔහුට විනිසුරුවන් මනා සහයක් ලබා දෙනවා. පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් එලයිට් පැනල් හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වරම් වෙනුවෙන් නම්කරන විනිසුරු කණ්ඩායමේ ජේෂ්ඨ සාමාජිකයෙක්ද මෙම ක්‍රීඩකයා රැකීමට නිර්ලැජ්ජිත ලෙස පෙනී සිටියා. එම විනිසුරු මෙම ක්‍රීඩකයාගේ පාසලේ හා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙක් බවත් සදහන් කළ යුතුයි. එම සිදුවීමෙන් පසු මෙම ක්‍රීඩකයා පිලිබද Lankasportsnews අප මාධ්‍ය කණ්ඩායමට බොහෝ දෙනෙක් මෙම සිදුවීම වාර්තා කරන ලෙස ඉල්ලා සිටියා. දිගින් දිගටම මෙම සිදුවීම නිසා දක්ෂයින් කැපී, ගොට්ටන් මතුවන්නේ හොද වී යට ගොස් බොල් වී උඩ මතුවන්නාක් ලෙස බව පෙන්නුම් කරනවා. ඉතින් නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ තව දුරටත් පොරවෙන් කපන්න වන තුරු ලියලන්න ඉඩ නොදීමට අප තීරණය කළා.
විනිසුරුවන් ලෙස කුමාර ධර්මසේන හා රුචිර පල්ලිගුරු හැරුනුවිට වෙනත් කිසිවක් ජාත්‍යන්තර තලයට නොයන්නේ මෙවන් පීචන් විනිසුරුවන් නිසයි. බොහෝ පාසල් ක්‍රිකට් විනිසුරුවන් ලෙස කටයුතු කරන්නේ ද පාසල් පුහුණුකරුවන් හා ක්‍රිකට් භාරකරු ලෙස කටයුතු කරන ගුරුවරු පිරිසක්. ඔවුන් කාලයක් තිස්සේ තරග සොයාගෙන ගොස් විනිශ්චය කරනවා. ඒ තමාට ඕනෑ වාසි සහගත තරග පිලිබද අවධානය යොමුකර බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක්. පාසල් සම්මාන ලබාදීමේදී විනිශ්චය කරන්නේද මෙවන් විනිසුරුවන්. මේ වන විට එවන් සම්මාන උළෙලවල් රැසක් තිබෙනවා. එකම තරගාවලියක දක්ෂතා මත සම්මාන ලබාදෙන මේ සියල්ලේම හොදම ක්‍රීඩකයා එක් අයෙක් විය යුතුයි. අඩුම තරමේ සියල්ලම එක සමාන මට්ටමකට පැමිණිය යුතුයි. එහෙත් එකින් එකට සම්මාන දිනා ගන්නා ක්‍රීඩකයන් අහසට පොළව මෙන් වනවා. එය ලෝකයම හිනස්සන විහිලුවක් ලෙස අප දකිනවා.
මෙම වාර්තා කිරීමේදී අප බොහෝ පරිස්සම් වූ බව ඔබට පෙනෙනවා ඇති. ඒ ක්‍රීඩකයන් විනාස කිරීම නොව ඔවුන් රැකීමට Lankasportsnews අප බැදී සිටීම නිසාවෙනුයි. එහෙත් ගොම රිටි උඩ එමින් දක්ෂයින් කැපී යාමට ඉඩ නොතැබිය යුතු නිසාවෙන් අප මෙම අනාවරණය සිදුකළා. එහිදී කිසිවෙක්ගේ නම් ගම් නොකීමට අප පරිස්සම් වුණා. එහෙත් කණිෂ්ඨ ක්‍රිකට් පිටියෙන් ජේෂ්ඨ ක්‍රිකට් පිටියට පැමිණ ඇති මෙම ක්‍රිකට් විනිසුරු හෙලුවට වහාම තිත තැබිය යුතුයි. එසේ නොවන්නේ නම් මේ වන විට අප සතු මෙම හැපී ඩැඩ් ( Happy Dad ) ක්‍රීඩකයාගේ හා ඔහුගේ පියාගේ ඡායාරූප සමගින් නම් ගම් සියල්ල හෙලි කිරීමට අප පසුබට වන්නේ නැහැ. එමෙන්ම ඔවුන්ගෙන් පඩුරු ලබා ගන්නා විනිසුරුවන් පිලිබද තොරතුරුද නම්, ගම් සහිතව ඔබ හමුවේ තැබීමට අප පියවර ගන්නා බවත් කිව යුතුමයි. යහමින් මුදල් ඇති මෙම පියාගේ සල්ලි බලයට ක්‍රිකට් විනිසුරුවන් නැටවුනත් Lankasportsnews අපව මිලදී ගැනීමට සන්නාලියන් සේවය කරන එම ආයතනය විකුණා ලබාගන්නා මුදලටවත් නොහැකි බව අවසන් වශයෙන් සටහන් කිරීමට කැමතියි.
No comments