ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් ක්‍රිකට් ආයතනයට ICC තහනමක්? Exclusive Exposed
පුදනකොටම කාපි යකා කියන කතාව ඔබ අසා ඇති. ඊට පනපෙවීමට නව රජය කටයුතු කර ඇත්තේ අමාත්‍යාංශ ගැසට් නිවේදනය නිකුත් කරමිනුයි. එහිදී අමාත්‍යාංශ 28 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 40 ක විශය පථයන් ගැසට් කර තිබෙනවා. එලෙස අමාත්‍යාංශයේ ව්‍යූහය සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා. එහෙත් එය ඇරඹුමම කදුලක් වී තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ආයතන පිලිබද කිසිදු අවබෝධයක් නැතුව ගැසට් කර තිබීම හේතුවෙන්. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තරයේ තහනමට ලක්වීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ ඒ පිලිබද විමසා බැලීමක්.
අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ භාරවන අමාත්‍යවරු හෙට (12) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මගුල් මඩුවේදී දිවුරුම් දීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු වෙනුවෙන් අමාත්‍යවරයෙක් පත්වීමට නියමිතයි. අමාත්‍යධූරය වෙනුවෙන් පවතින පොරය හා අමාත්‍යාංශයේ මෙවර විශය පථය ක්‍රීඩා හා තරුණ කටයුතු වනු ඇතැයි පළමු හා එකම වාර්තා කිරීම Lankasportsnews අප සිදුකළා ඔබට මතක ඇති.
ක්‍රීඩා අමාත්‍යධූරයට පොරයක් - මෙන්න සෙට් එක - Exclusive Exposed
කෙසේ වෙතත් මෙම අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ස්වාධීන ආයතනයක්. ඔවුන්ට ක්‍රීඩා අමාත්‍යාංශයට බැදීමක් නැති අතර වගකීමක් පමණක් තිබෙනවා. ක්‍රිකට් ආයතනයට බැදීම ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 68 ක් තිබෙනවා. ඉන් එකක් පමණයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. මෙලෙස පවරා ගැනීමෙන් එහි සම්පූර්ණ පාලනය ක්‍රීඩා අමාත්‍යාංශය සතුවනවා. එලෙස පවරා ගැනීමක් සිදු කරන්නේ අතුරු කමිටුවක් පත් කිරීමට අවශ්‍ය වූ විටයි. එහෙත් මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදීම එය සිදුකිරීම ආන්ඩුවේ නොදැනුවත්කමට සිදුවූවක් හෝ නොසැලකිල්ල මත සිදුවූවක් විය යුතුයි.
සියලු ක්‍රීඩා සංගම් සදහා ජාත්‍යන්තර සංගමයක් තිබෙනවා. එලෙස නොමැතිව හුදකලා වී ඇත්තේ එල්ලේ වැනි දේශීය ක්‍රීඩා කිහිපයක් පමණයි. ඇතැම් සංගම් සිදුකරන එකම කාර්යය වන්නේ විදෙස් සංචාර සදහා එක්වීමයි. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය වෙනුවෙන් පිහිටුවා ගත් සංගම්ද නැතුවා නොවේ. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෘජුව බැදී ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගයි. ක්‍රිකට් ආයතනයට මෙතරම් මුදල් හිමිවන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්. ඔවුන්ගේ තරගාවලි සදහා එක්වීම ප්‍රධානම ආදායම් මාර්ගය වනවා. මෙලෙස කටයුතු කිරීමට නම් ඒ ඒ රටවල ක්‍රිකට් ආයතන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති රීති සදහා අනුගත විය යුතුමයි. එසේ නොමැති වූ විට ඔවුන් සිය සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගන්නවා. එම නීති පද්ධතියේ ඇති ප්‍රධාන නීතියක් වන්නේ සංගමයේ ස්වාධීනත්වයයි. දේශපාලන අත ගැසීම් සිදු නොවිය යුතුයි. දේශපාලන අතගැසීම් සිදුවන විට සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගන්නවා. පසුගිය වසරේ ජූලි මාසයේ ලන්ඩන් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී එලෙස දේශපාලන අතපෙවීම් හේතුවෙන් සිම්බාබ්වේ තහනමට ලක්වුණා.
Zimbabwe Cricket suspended following ICC Annual Conference
මෙලෙස තහනමට ලක්වූවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුදල් හා ඔවුන්ගේ තරගාවලි සදහා එක්වීමට හැකිවන්නේ නෑ. එවිට එම ක්‍රිකට් ආයතනය බංකොලොත් වීම සිදුවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මෙලෙස තහනම් කිරීමේ අනතුරු ඇගවීම් 2015 වසරේදී සිදුවුණා. අනතුරුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීමට පියවර ගත්තේ. ඒ සමගින් පත්වූ තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොව දූෂිතම ක්‍රිකට් ආයතනය බවට පත් කිරීමෙන් පසු සමුගෙන ගියා. ඒ ගැටය තවමත් ලිගා ගැනීමට නොහැකි වී ඇත්තේ ඔහුගේ අනුගාමිකයන් බලය අල්ලා ගැනීම සමගයි. ඉතින් මේ ගැටය පරිස්සමෙන් නීත්‍යානුකූලව ලිහා ගත යුතුයි. අඩුව තියෙද්දී අත පුච්චා ගැනීමටයි ආන්ඩුව මෙම ගැසට් නිවේදනය ඔස්සේ සූදානම් වන්නේ. නයි රෙද්ද අස්සේ දාගෙන ඇති බව ආන්ඩුවට මෙලෙස අප සටහන් කරන්නේ පසුව කනෝ කනෝ කීයා පලක් නැති බව මතක් කරමිනුයි.
අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීමට පහසුයි. එහෙත් දශ්ඨ කළ විට ඉවසන් සිටිය නොහැකියි. එවිට විෂ ශරීර ගතව මියයාම හෝ කලක් අසාධ්‍යව දුක් විදීමට සිදුවීම නියතයි. ඉතින් ඊට පෙර අප මේ මතක් කිරීම ආන්ඩුවට සිදුකරන්නේ නයෙක් රෙද්ද අස්සේ දා ගෙන ඇතත් එය නිවැරදි කර ගැනීමට තවම ප්‍රමාද නැති බව කියමිනුයි. එමෙන්ම යලිත් සිහිපත් කළ යුතුව ඇත්තේ අඩුවත් ඔවුන් සතුව ඇති බවයි. ඉතින් අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ ඇයි. පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බහුතරය ජාත්‍යන්තරයට වලංගු නැති අවලංගු කාසියක් පමණයි. ඉතින් මේ වරද නිවැරදි නොවුනහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනම නතර කිරීමට සමත් ජගතෙක් නැති වනු ඇති. ඉතින් තවත් පමා නොවී මෙම ගැසට් නිවේදනය හකුලා ගන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තහවුරු කරන්න. එය සමගින් සූදු කෙලින්න එපා.
No comments