• Breaking News

    මාධ්‍ය ඇන්දූ LPL ප්‍රෝඩාව ගැන අපේ හෙලිදරව්ව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි

    මාධ්‍යවේදීන් යනු රැයේ නොනිදා රැය පහන්කර රැයෙහි සිදුවූ දේ නිදාගත් ජනතාවට කියන්නා ලෙස පොත පතේ සදහන් වනවා. එය පොතට පමණක් සීමාකළ, ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් සිදුකරන්නේ අසා ලිවීම බව මනාව අනාවරණය කරන සිනමා සිත්තමක් මේ දිනවල තිරගත වනවා. ඒ ද නිව්ස් පේපර් චිත්‍රපටයයි. මේ කතාව එහි අපූරුවට ගෙත්තම් කර ඇත්තේ ඉන් සිදුවන ජීවිත හානියද පිලිබිඹු කරමින්. එවන් මාධ්‍යවේදීන් නිරුවත් කළ සත්‍යට බොහෝ සමීප ද නිව්ස් පේපර් චිත්‍රපට පිලිබද මතක් කළේ ඊට වෙළඳ දැන්වීමක් ලෙස නොවේ. එහි පෙන්වන කතාව මෙන් බොහෝ කතා ක්‍රීඩාව තුල ඕනෑ තරම් ඇති බව කීමටයි. ක්‍රීඩාවේ සිදුව ඇත්තේ හොරුන්ට හොරා කෑමට පහසුකම් සපයන්නා බවට මාධ්‍යවේදීන් පත්වීමයි. ඒ බෝතලයට හා විදෙස් සංචාර සදහා දක්වන ගිජු කමට පින් සිදුවන්නට බව සමාජයේ මතයක් පවතිනවා. එලෙස වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් කියා ගන්නා පිරිස වසන් කිරීමට උත්සාහය ගද්දී අප අනාවරණය කළ කරුණු දෙකක් ඊයේ තහවුරු වුණා. ඒ ක්‍රිකට් ආයතනයට සිදුවීමට ගිය නස්පැත්තිය හා ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙස සිදුකළ බොරුව අනාවරණය වීමයි. මේ ඒ පිලිබද සටහනක්.


    ලංකන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සියල්ල සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඊට විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් පැමිණීමට සැදී පැහැදී සිටින බව එහි දැක්වුනේ එතෙක් මෙතෙක් ලංකාවේ පැවති විශාලතම හා ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය වන බව සදහන් කරමිනුයි. එහෙත් මෙම තරගාවලිය නිවේදනය කළ දිනවලට පැවැත්වීමට නොහැකි බව කරුණු සහිතව සාක්ෂි සමගින් අනාවරණය කළ එකම මාධ්‍ය බවට පත්වූයේ Lankasportsnews අප පමණයි. මෙම තරගාවලියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බවත් රුපියල් ලක්ෂ 200 ක් හිතුමතේ මේ වන විටත් නිලධාරීන් දෙදෙනෙක්ට ලබාදීමට එකගවී අවසන් බවත් එහිදී අප හෙළි කළා. රොෂාන් අබේසිංහ මෙලෙස බදවාගත් එක් අයෙක් බව Lankasportsnews අප සිදුකළ හෙලිදරව් කිරීමෙන් පසු ඔහු එකදු දිනක් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පස් පාගා නෑ. ඒ නම කැතකරගත නොහැකි බව පවසමින්. එහෙත් බන්දුල දිසානායක ඊමේල් හතර අතට යවමින් කෙසේ හෝ ගානක් කඩා ගැනීමේ උත්සාහය අතහැරියේ නෑ. මේ ඒ පිලිබද අපගේ පෙර ලිපියයි. 


    ක්‍රිකට් LPL ප්‍රෝඩාවේ ලක්ෂ 200 ඉක්මවූ යටි මඩි ගැහිල්ලක් - Exclusive Exposed


    ඔවුන් බලාපොරොත්තු නොවූ ලෙස එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කළ පරිදි තරගාවලිය කල් දැමීමට පියවර ගන්නා බව මේ වන විට නිවේදනය කර අවසන්. දඹුල්ලේ සහෝදරයාගේ හෝටලයේ කාමර විකුණා ගැනීමට බලාපොරොත්තු වූ පිරිසට හුලං පමණක් බව ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා තහවුරු කර තිබෙනවා. ඒ ඔහු සහෝදරයාවත් අන්දන බව සනාථ කරමින්. මේ අතර අනෙකුත් පහසුකම් සපයා ගාන කඩා ගැනීමට මාන බැලූ සුජීව ගොඩලියැද්දටත් දත නියවීම පමණක් ඉතිරි වී තිබෙනවා. එමෙන්ම හෝටල් කාමර වෙන් කිරීමේ කොමිස් කාක්කා ලෙස ප්‍රසිද්ධ ට්‍රවිස් ප්‍රනාන්දු අස්සයා මැරුණු අසරුවකු මෙන් බලාගත් අත බලා සිටින්නේ කළකට පසු සාක්කු පුරවා ගැනීමට දුටු සිහිනය බලා සිටියදීම බොදවීම නිසයි. ක්‍රීඩාපිටි සදහා සේවකයන් සපයා ගානක් යටි මඩි ගැසීමට සිහින දුටු බද්‍රා සෙනවිරත්නටත් එය දවල් දුටු සිහිනයක් පමණක් වී අවසන්. මෙලෙස ලංකන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ගාන කපා ගැනීමට පිරිසක් උඩ බලා සිටියදී තරගාවලියේ නිල නොවන අධ්‍යක්ෂ ලෙස ඇද සිටි රවීන් වික්‍රමරත්න හා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සියල්ලන්ගේ ඇස් වසා ලොකුම කුට්ටිය සාක්කුවට දා අවසන්. තරගාවලි සැලසුම් වෙනුවෙන් කළ වියදම් හා ක්‍රිකට් නිලවරණ ඡන්ද මෙලෙස ඔවුන් උපයාගත් වත්කමයි.


    ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය පැවැත්වෙන බව නිවේදනය කළ දිනට පෙර සිටම වන්දිබට්ටයන් වන් බොහෝ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් ඒ ගැන පත්තර පිටු, රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රවෘත්ති ඉඩ පිරවූවා. ඒ ක්‍රිකට් ආයතන නිලධාරීන් වීරයන් බවට පත් කරමින්. එහෙත් අප එය මුලාවක් බව මුල සිටම කරුණු සහිතව අනාවරණය කළා. අපට පසු ඒ අනුව යමින් ඇග බේරා ගැනීමේ මාධ්‍ය වාර්තා කිහිපයක් ද පළවුණා. ඒ ක්‍රිකට් ආයතන සැලැස්මට අනුවමයි. එසේ තිබියදී මෙම වරප්‍රසාදන්ට යටවූ මාධ්‍ය ක්‍රිකට් ආයතනය තරගාවලිය කල් දමන බව නිවේදනය කිරීමත් සමග එසැන පුවතක් ලෙස වාර්තා කළා. ඒ ජනතාව මුලා කරමින්. මෙලෙස අප අපේම සහෘදයින් විවේචනය කරන්නේ මුදලට, බෝතලයට හා විදෙස් සංචාර ගැටේට හසුව ජනතාවගේ සත්‍ය දැන ගැනීමේ අයිතිය සමූහ දූෂණ කිරීමෙන් ගලවා ගැනීම සදහායි. එන්න ඇත්තට පසු ඇත්ත දකින්න කියා අප ඔවුන්ට ආරාධනා කරන්නේ සහෝදරත්වයෙනුයි. මෙලෙස මාධ්‍යවේදීන් බිලී බා ගත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත විදෙස් තරගාවලි ක්‍රිකට් ආයතන මුදලින් යාමට දෙන බව පවසා බව අප දන්නා බව ඔවුන්ට මතක් කරනු කැමතියි. මෙම වසරේ නොවැම්බර් මස මෙම තරගාවලියට පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රිකට් ආයතනය මෙහි පවසනවා. එහිදී ඔවුන් සිදුකිරීමට යන ප්‍රෝඩාව ඉදිරියේදී අප අනාවරණය කිරීමට තීරණය කළා. ඒ වන්දිබට්ට සේවයෙන් මිදී හැකිනම් ඒ පිලිබද හෝ වාර්තා කිරීමට සහෝදර මාධ්‍යවේදීන්ට ඉඩ ලබාදීම වෙනුවෙනුයි. ඒ පිලිබද සවිස්තරාත්මක වාර්තාව Lankasportsnews වෙබ් අඩවියෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.


    මෙලෙසම ලංකාවේ පළමු මාධ්‍ය වෙමින් අප නව රජය අමාත්‍යාංශ ගැසට් කිරීම නීති විරෝධී බව සාක්ෂි සහිතව අනාවරණය කළා. මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තරයේ තහනමට ලක්විය හැකි බවත් අප පැවසුවා. එහෙත් එම ගැසට් පත්‍රය උපුටා දක්වමින් බොහෝ මාධ්‍ය වාර්තා කළේ එය නව පිබිදීමක් බවයි. ඔවුන් රජයේ වැරැද්ද අහෝ සැපයි සැපයි කියමින් වන්දිබට්ටයන් සේ අනුමත කළා. එහෙත් රජයට ඇත්තටම ආදරේ නම් කළ යුත්තේ වැරදි එලෙසම පෙන්වා දීමයි. එවිට රජයට පස්ස බිම ඇණගෙන බිම බඩගාන්න නොවී වහාම වැරදි නිවරදි කරගත හැකියි. ඊට කොන්දක් මෙන්ම දැනුමක්ද අවශ්‍ය වනවා. වැස්සකට වත් දුවල නැති ක්‍රීඩා පිටියේ ඔස්තාර්ලා වීමට හදන පිරකගෙන් ඇත්තෙන්ම මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. එය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමකට සමාන කළ හැකියි. රජය මෙලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ගැසට් කිරීම පිලිබද අප පළකළ ලිපිය බලන්න.


    ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් ක්‍රිකට් ආයතනයට ICC තහනමක්? Exclusive Exposed


    අඩුව තියෙද්දී අත පුච්චා නොගන්නා ලෙස අප කළ අනාවරණයට අනුව රජය වහාම එම ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. මේ අනුව එය නිවැරදි කරමින් නව ගැසට් පත්‍රයක් මුද්‍රණය කර තිබෙනවා. එය රජයේ ඉතාම සාධනීය පියවරක්. වැරැද්ද පෙන්වූ සැනින් නිවැරදි කර ගැනීම. එය ඉදිරියටත් මෙලෙසම පවතිනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.


    මාධ්‍ය යනු සෑම විටම ඉදිරියෙන් සිටිමින් සමාජය යහපත් කිරීමට පෙරමුණ ගන්නා පිරිසයි. එම පිරිස හොරුන්ගේ ඔඩොක්කුවට වැටුන විට සමාජයම කුණුවනවා. දැන් අප ගතකරමින් සිටින්නේ එවන් යුගයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. හැමදාම හොරු හොරු කියමින් පාලකයා හදුන්වන කාලය නිමා කිරීමේ වගකීම ඇති පෑන හසුරවන මාධ්‍යවේදීන් රජයට සහය වීමට නම් දැන්වත් කරන හැම දේම හොදායි සැපායි කියමින් නොසිට මගපෙන්වන සැබෑ නියමුවන් විය යුතුයි. ඒ සදහා අත්වැල්බැද ගන්නා ලෙස අප සියල්ලන්ටම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහෙත් ලොක්කන්ගේ ඔඩොක්කුවේ හුරතල්වන කුක්කන් ඉන් මිදෙන දිනයක් හෝ කීමට දන්නේ උඩ සිටිනා දෙවියන් පමණයි.










    No comments