ක්‍රිකට් විශේෂ මහ සභාව උණුසුම් වෙයි - නිශාන්ත මොහාන්ගේ රෙදි ගලවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොව ඇති දූෂිතම ආයතන අතර පළමු තැන දිනා සිටියි. මුදලට තරග පාවාදීම් අතින් එම ස්ථානය දිනා සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් පවසා තිබෙනවා. මූල්‍ය වංචා අතින්ද පෙරමුණේ පසුවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවද පසුගියදා සාක්ෂි සහිතව ඔප්පු කළා. දේවාලයේ පැහැරූ කපුවා මෙන් ඒ කිසිවකට ශ්‍රී ලංකා රජයන් කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ නියෝ නියෝ ඉන්නවා හැරුණු විට වෙනත් කිසිවක් සිදු නොවන්නේ දේශපාලන බලය, මුදලට යටවීම නිසා විය යුතුයි. එවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පසුගිය වසරේ ගිණුම් අනුමත කිරීම සදහා පැවති විශේෂ මහ සභා රැස්වීම උණුසුම් වුණේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග වත්මන් ලේකම් මොහාන් ද සිල්වාගේ රෙදි ගැලවීමත් සමගයි. එහිදී නිරුවත් වූ මොහාන් සභාව අතරතුරදීම පැණ දිව්ව හැටි පිලිබද මෙතැන් සිට තිරය පිටුපස කතාව දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පසුගිය වසරේ ගිණුම් අනුමත කිරීම සදහා විශේෂ මහ සභා රැස්වීම පැවැත්වුණේ කොළඹ තරු පහේ හෝටලකදීයි. ඊට ක්‍රිකට් ආයතන අනුබද්ධ සංගම් රැසක් පැමිණ සිටියා. එහෙත් හිටපු සභාපති තිලංග සුමතිපාල පාර්ශ්‍රවය නියෝජනය කරන බොහෝ දෙනෙක් කර ඇර තිබීම කැපී පෙනුණා. තිලංග සුමතිපාලගේ චක් ගෝලයෙක් ලෙස සිදුවන දේ වාර්තා කිරීම සදහා පැමිණ සිටියේ සුජීව ගොඩලියැද්ද පමණයි. මීට පෙර මෙවන් මහ සභාවකදී හිටපු ලේකම් නිෂාන්ත රණතුංග සමග ගැටුමකට පවා සැරසුණු හිටපු ක්‍රිකට් විධායක කමිටු සාමාජික ප්‍රියන්ත සොයිසා වැන්නවුන් ආගිය අතක් නැති ආකාරයක් මෙහිදී දක්නට ලැබුණා. ඒ මේ වන විට සභාපති ශම්මි සිල්වා ක්‍රිකට් බලය අල්ලා අවසන් වීම නිසාවෙන් හිටපු සභාපති තිලංග පාර්ශ්‍රවය මෙලෙස කර ඇර සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස ආරම්භ වූ මහ සභා රැස්වීමේදී පෙර ගිණුම් තොරතුරු ඉදිරිපත් කිරීමේදී අක්‍රමිකතා වල දැමීමට පියවර ගෙන ඇති ආකාරය දක්නට ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් විදෙස් ගිණුම් සදහා බැරවීම හා ඊට උත්සාහ කිරීම් රැසක් පසුගිය කාලයේ වාර්තා වුණා. කෝප් කමිටුවේදී එහි තොරතුරු ඇතුලත් වුනේ රුපියල් මිලියන ගණනින් සටහන් වෙමිනුයි. එහෙත් ඒ කිසිවක් පිලිබද තොරතුරු ක්‍රිකට් මූල්‍ය වාර්තාවේ ඇතුලත් වූයේ නැහැ. මේ අනුව හිටපු ලේකම් නිශාන්ත රණතුංග මේ පිලිබද විමසා තිබෙනවා. එවිට ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ මොහාන් ද සිල්වායි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නිසි බලධාරියෙක් පත්කළ කාලයේ මේ වංචාව සිදුවෙලා තියෙන්නේ. අපිට ඒකට කිසිම වගකීමක් නෑ යනුවෙන් ඔහු පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය සමගින් උණුසුම් වූ රැස්වීමේදී තවත් සාමජිකයෙක් මතක් කර දී ඇත්තේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පත්කළ කමිටුවේ මූල්‍ය උපදේශක කමිටු සමාජික ලසන්ත වික්‍රමසිංහ වත්මන් භාණ්ඩාගාරික බවයි. ඒත් සමගින් නිශාන්ත රණතුංග ලේකම් මොහාන් ද සිල්වාට දෙහි කපා ඇත්තේ පැත්ත නොබලා හැරී දුවන්නටයි. ඒත් සමගින් සුදු කොඩි ඔසවමින් නැගී සිටි සභාපති ශම්මි සිල්වා මෙම පරීක්ෂණ සිදු නොවීමට රජය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID ) වගකිවයුතු බව පවසා තිබෙනවා.
මේ අතර ක්‍රිකට් ආයතන යලි පියවා ගත නොහැකි ගිණුම් තොරතුරු නොමැති රුපියල් 24,722,683.00 ක් හෙවත් රුපියල් ලක්ෂ 247 කට අධික මුදලක් කොලේ වසා ඉදිරියට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. එවිට හිටපු භාණ්ඩාගාරික නුෂ්කි මෙහොමඩ් එසේ සිදුකිරීමට විරෝධය පළකර පවසා ඇත්තේ එලෙස සිදු කිරීමට හැකියාවක් නැති බවයි. එවිට ක්‍රිකට් බලධාරීන් පෙනෙනවා දී ඇත්තේ ඊට විධායක කමිටු අනුමැතිය ඇති නිසා එය තමන් සිදුකරන බවයි. මින් කියවෙන්නේ කිසිදු වග විභාගයක් නැතුව ක්‍රිකට් ආයතනය වියදම් කරන අති විශාල මුදල් කන්දරාව පිලිබදයි. රුපියල් ලක්ෂ 247 කට අධික මුදලක් පිලිබද ගිණුම් තොරතුරු නොමැතිවීම එහි දූෂිත මූල්‍ය පරිපාලනය පෙන්නුම් කරන කැඩපතක් වනවා.
කොළඹ තරු පහේ හෝටලයක පැවති මෙම රැස්වීමට සැර බීම ( මදුවිත ) ගෙනවිත් ඇත්තේ සභාපති ශම්මි සිල්වාගේ ක්‍රීඩා සමාජය වන කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ( CCC ) බාර් එකෙන් වීම කැපී පෙනුණා. ක්‍රිකට් ආයතන හෝටල් වෙන් කිරීම සිදුකරන ට්‍රෙවිස් ප්‍රනාන්දු මෙවරත් මැදිහත් වී සිටියේ මෙම තරු හෝටලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිත්‍ය සාමාජිකත්වය යලි සපත කරමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිය උපන්දින සාද ඇතුලු පෞද්ගලික සියලු උත්සව නොමිලේ සිදුකර ගන්නේ ට්‍රෙවිස් ප්‍රනාන්දු හරහා මෙම තරු හෝටලයෙන්. හමුවට පැමිණි එක් සාමාජිකයෙක් lankasportsnews වෙත කියා සිටියේ නිශාන්ත කඩුව වනනකොට පූසෙක් ලෙස මොහාන් පැත්තකට වූවා මෙන්ම සංවිධාන කටයුතු සදහා පැමිණ සිටි ටනේෂ් බර්නාඩ් ඩයස් හා අරුණ ද සිල්වා ආදන් සේ ලිස්සා ගිය බවයි. සියල්ලන් තක් බීර් වී බලා සිටින අතරතුර මොහාන් අතුරුදන් වූ පරිදිම සියලු වංචා හා දූෂණ යට ගැසීමට වත්මන් පාලනය සමත් වූ බවත් ඔහු කියා සිටියා.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වත්මන් අගාධයෙන් ක්‍රීඩාව ගොඩ ගැනීමට අවංක වුවමනාවක් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. කටින් බතල හිටුවීමක් නොව ඇත්තෙන්ම එය තම දේශපාලන දිශානතියද වෙනස් කරන්නක් බවට පත්කර ගන්නා තුරු මේ රටේ ජනතාව සා පිපාසාවෙන් පෙලෙන බව මතක් කළ යුතුයි. හැකිනම් ක්‍රිකට් දූෂණයෙන් මුදවාගෙන පෙන්වන්න. එදාට රටේ ජනතාව දේශපාලන බේදයකින් තොරව ඔබව ඔසවා තබන බව අපට සහතික කළ හැකියි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් පිට බලයක් ගොඩ නැංවිය නොහැකි බවට වූ මතය පස්සක් කිරීමට මහින්ද රාජපක්ෂ සමත්වූයේ LTTE සංවිධාන පරාජය කර රට එක්සේසත් කිරීම නිසාවෙනුයි. එවක ජාත්‍යන්තර ප්‍රජාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද මතය බවට පත්ව තිබුනේ ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය වූ LTTE ය යුදමය පරාජයක් කළ නොහැකි සංවිධානයක් බවයි. එය අලියා ගිලපු දිවුලක් වන් පුස්සක් කිරීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත්වුණා. ඔහුගේ ජේෂ්ඨ පුත්‍රයා වන නාමල්ට පැවරී ඇත්තේ කිසිදා වෙනස් කිරීමට නොහැකි මූල්‍ය වංචා හිනිපෙත්තේ ඇති ලොව දූෂිතම ආයතනය වන ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමයි. අමාත්‍යවරයා රග්බි පිටියේ සිටම සිය ගජ මිතුරා බව තැන තැන කියමින් යන සභාපති ශම්මි පවසන ලෙසම ක්‍රිකට් ආයතනයට අත තැබීමට නාමල් අසමත් වෙයිද ? බැහැ කියපු දේ කළ රාජපක්ෂ ලේ ඇති නාමල් ක්‍රිකට් ආයතනයට කෙටි කාලීන අතුරු කමිටුවක් පත්කර දූෂණයෙන් මුදවා ගනීද ? මේ ගතවන්නේ දූෂණ පිටින් තබා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ආශිර්වාද සමගින් අතුරු කමිටුවක් පත්කිරීමට සුදුසුකම කාලයයි. එය අපතේ යවා අත පුච්චා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කකරයිද ? මේ ගැන රටම බලා සිටින බව අවසන් වශයෙන් සටහන් කළ යුතුයි.
No comments