• Breaking News

    ගාල්ලට කොටා ශ්‍රී ලංකා ක්‍රිකට් හොට පටලා ගනී


    සමහර ක්‍රියා දකින විට ඔය ඉල්ලන් කන්න යන්නේ යැයි ඔබට සිතුනු අවස්තා ඇති. අනුන්ට කැපූ වලේ තමන් වැටුනා වගේ කියමනත් සිහිවූ සිදුවීම් මතක ඇතැයි සිතමි. මෙය කියවන විට කූඤ්ඤය ගැලවූ වඳුරා වාගෙයි කියන කියමනත් සිහිවේවි. ඔය සියල්ලටම වඩා ගැලපෙන්නේ මහ කකුලුවා පොඩි කකුලුවන්ට කෙලින් එන්න කියන කතාව ඔබට සිතෙන්න පුලුවන්. මේ උණපූර්ණය එවන් ක්‍රියාවක් සිදුකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කතා වස්තුවක් වෙතයි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය දැනුම් දෙමින් පවසා ඇත්තේ ගාල්ල ක්‍රීඩා සමාජයට ලබාදෙන සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට කටයුතු කරන බවයි. එමෙන්ම කිසිදු ක්‍රිකට් පරිපාලන කටයුත්තට මැදිහත් වීමත් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට කිසිදු අගතියක් සිදු නොකරන බවයි එහි දක්වා ඇත්තේ. මෙම සියල්ලට හේතු වී ඇත්තේ ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති තිලංග සුමතිපාල පාර්ශ්‍රවයට සහය ලබා නොදීමයි. මේ නිසාවෙන් දිගින් දිගටම පලි ගැනීමට පසුගිය කාලයේ ලක්වූ ගාල්ල ක්‍රීඩා සමාජයේ නිලවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිඛිතව දැනුම් දුන්නා. ඊට ප්‍රතිචාර දක්වමින් සාමාජිකයින් 112 ක් අත්සන් තැබූ ලිපියක් යොමු කරමින් ගාල්ල ක්‍රීඩා සමාජය පැවසුවේ මෙය සිය අභ්‍යන්තර කටයුතු සදහා අනිසි ලෙස මැදිහත්වීමක් බවයි. ඒ පිලිබද අපගේ වැඩිදුර තොරතුරු ඇතුලත් ලිපිය පහතින් කියවන්න.


    ක්‍රිකට් සාමාජිකයින් හොර සාමාජිකයන්ට එරෙහිව ගේම ඉල්ලයි - අලුත්ම කැරැල්ල මෙන්න


    මෙලෙස දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ගාල්ල ක්‍රීඩා සමාජය කටයුතු කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කළා. අනතුරුව යලි ලිපියක් එවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තහනම පනවා තිබෙනවා. කෙසේ වෙතත් ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති ගාල්ල ක්‍රීඩා සමාජය කොළඹින් පිට පළාතක ඇති පැරණිම ක්‍රීඩා සමාජයයි. එහි මෙවරත් සභාපති ලෙස කුමාර් සමරසිංහ පත්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වයස 19 න් පහළ ජාතික කණ්ඩායමට පසුගිය වසර පහ තුල පමණක් ක්‍රීඩකයින් 14 දෙනෙක් දායාද කිරීමට හැකිවූ බව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය පවසනවා. ඒ නිසි මූල්‍ය කළමනාකරණය මෙන්ම ක්‍රීඩකයන් සදහා අවශ්‍ය පහසුකම් ක්‍රමික සැපයීම හේතුවෙන් බව එහි මෙවර කමිටු සාමාජිකයෙක් Lankasportsnews වෙත කියා සිටියා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගාල්ල ක්‍රීඩා සමාජ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ පරීක්ෂණයක් සදහා එක් නොවූ බව පවසමින්. එහෙත් ක්‍රිකට් ආයතනය ලබාදුන් දිනයේ පැමිණිය නොහැකි බව සාමාජිකයින් ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබෙනවා. එසේ ලිපි ගණුදෙනු සිදුව පසුව කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා බවට පත්ව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සදහන්. කෙසේ වෙතත් මේ පිලිබද අධිකරණ ක්‍රියාවලියක් සිදුකර පහසුවෙන් ඔවුන්ට නිදොස් වී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ ක්‍රියාවලිය සම්පූර්ණ වැරදි බව පසුවෙන් සනාථ කළ හැකි බවයි එහි සාමාජික නීතිඥවරයෙක් lankasportsnews වෙත කියා සිටියේ. ඉදිරි දින කිහිපයේ එම ක්‍රියාවලිය සදහා අවතීර්ණ වීමට සමාජික නීතීඥයින් රැසක් කැමැත්ත පළකර ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිපියක් අවභාවිතා කිරීම පිලිබද තොරතුරුද අනාවරණය කිරීමට තමන් සූදානම් බවයි ඔහු කියා සිටියේ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලුගලේ ඔලුව ගහගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



    ගාල්ල ක්‍රීඩා සමාජයට මෙලෙස ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට හේතුව ක්‍රිකට් නිලවරණයේදී ජයන්ත ධර්මදාසට සහය ලබා දීමයි. එහෙත් මේ වන විට ජයන්ත සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයෙක් ලෙසයි. එහෙත් ඔහු තමන්ට ඡන්දය ලබාදී දන් ගෙඩියට ගිය ගාල්ල ක්‍රීඩා සමාජය පිලිබද නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනෙකුගේ කණගාටුවට හේතු වී තිබෙනවා. ගාල්ලේ වංචා සෙවීමත් සමගින් ක්‍රිකට් ආයතනය තුල සිදුව ඇති බවට අනාවරණය වූ මහා මූල්‍ය වංචා පිලිබද සියල්ලන් නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීමත් පුදුම සහගතයි. ක්‍රිකට් මුදල් විදෙස් ගිණුම් සදහා යොමුව අතුරුදන් වීම ගිණුම් වාර්තාවට හෝ ඇතුලත් නොවූ බව අප වාර්තා කළා.



    අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන් නෑ කියන්නේ මෙවන් ක්‍රියාවන් වලටයි. ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා සිදුකරන මෙවන් අත්තනෝමතික ක්‍රියාවන් නිසා සභාපති ශම්මි සිල්වා ක්‍රීඩා සමාජ අතර අපකීර්තියට පත්වන බව සටහන් කළ යුතුයි. ශම්මි දිනා ගනිමින් යන ක්‍රීඩා සමාජ බලයට මෙලෙස කලු පැල්ලම් එක් කිරීම හිටපු සභාපති තිලංග පාර්ශ්‍රවය නියෝජනය කරන මොහාන්ගේ බලාපොරොත්තුව බව පෙනෙන්නට තිබෙනවා. සාධාරණ හේතු නොමැති ගාල්ල තහනම් කර යලි එම නීතිය හකුලා ගන්න වන දිනය වැඩි ඈතක නොවන බව කිව හැකියි. ක්‍රිකට් ආයතනය එය සිදු නොකර අධිකරණයට එම තීරණය ගැනීමට ඉඩ නොතබනු ඇතැයි අපට සිතෙනවා. ඒ තිලංගගේ ගැට වලට ශම්මිව තැම්බීමට මෙතෙක් නොහැකිවීම නිසාවෙනුයි. මේ නිසාවෙන්මයි ශම්මි ක්‍රිකට් බලය අල්ලාගෙන රජ ගමනක යමින් ඇත්තේ.


    No comments